චාඕ ප්‍රායා නදියේ සවාරියක් | Page 2 | සිළුමිණ

චාඕ ප්‍රායා නදියේ සවාරියක්

අප කොයි කවුරුත් ගෙවන්නේ ඉතා කාර්ය බහුල ජීවිතයකි. උදෑසන අවදි වූ මොහොතේ සිට නින්දට යන තෙක් විවිධ වැඩරාජකාරිවල නියැළෙන අපි සැවොම, විවේකයක් ලද විට කොහේ හෝ නිස්කලංක තැනකට ගොස් සුන්දර සතුටක් ලබන්නට ප්‍රිය කරති.

බොහෝ දෙනෙකු අපේ රටේ සුන්දර ස්ථාන කරා යන්නේ තම විඩාබර ජීවිතයට අස්වැසිල්ලක් ළඟා කරගන්නටය. එලෙසම තවත් පිරිසක් රට රටවල සංචාරය කරන්නේ වෙනස්ම ආකාරයේ අත්දැකීමක්, වින්දනයක් තම දිවියට එක් කරගන්නටය.

තායිලන්තයද එවැනි සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මනස්කාන්ත රාජ්‍යයකි. ලොව වැඩිම පිරිසක් සංචාරය කළ රට ලෙස පිට පිටම තුන් වතාවක් ප්‍රථම ස්ථානයට පත් වන්නට තායිලන්තයට හැකි විය. “ෆෝබ්ස්” සඟරාව 2018 වසරේදී කළ සමීක්ෂණයකට අනුව ලොව වැඩිම සංචාරක ආකර්ෂණය දිනූ රට ලෙස තායිලන්තයට ප්‍රථම ස්ථානය හිමි වී ඇත. 2018 වසරේ තායිලන්තය උපයාගෙන ඇති විදේශ විනිමය ඇමරිකානු ඩොලර් බිලියන 65කි. එය රුපියල්වලින් ට්‍රිලියන 12ක පමණ මුදලකි.

මේ සුන්දර තායිලන්තයේ කළ සංචාරයකි. තායිලන්තයට රාත්‍රියේ ගොඩ බසින සංචාරකයකුට මුළු තායිලන්තයම විදුලි ආලෝකයෙන් ආලෝකවත්ව බැබළෙන අයුරු ගුවන් යානයේ සිට අපූරුවට දැක බලාගත හැකිය. ලෝක සිතියමේ තායිලන්තය පිහිටි හැඩයටම මුළු රට පුරාම විදුලි එළි දැල්වේ.

තායිලන්තයේ අධිවේගී මාර්ග පද්ධතිය කහ පැහැයෙන් දිස්නෙ දිදී බැබළෙන්නේ රට පුරා එළා ඇති ස්වර්ණ සේල ලෙසින්ය.

ස්වර්ණ භූමි ගුවන්තොටුපළ ද අපූරු හැඩයකට නිර්මාණ කළ සුවිශේෂි අලංකාර ගුවන් තොටුපළකි. අක්කර 8000ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇති එය අන්තර්ජාතික සංචාරකයන් එහා මෙහා යන ලොව කාර්ය බහුලම ගුවන් තොටුපළ අතරින් එකකි.

විසල් කොන්ක්‍රීට් කණු මත ඉදිවූ එක් එක් දිශාවලට පැතිර යන ගුවන් මාර්ග පද්ධතියක් මුළු බැ‍ංකොක් නගරය පුරාම දැකගත හැකිය. තනි කොන්ක්‍රීට් කණු මත ඉදි වී ඇති නිසා පහළ ගමනාගමනයට කිසිදු බාධාවක් නැත. කණු දෙකක් මත ඉදිවූ මාර්ග යටින් ද වාහන ධාවනය කළ හැකි සේ ඉඩකඩ පිරිමසා ඉදි කර තිබීමද විශේෂත්වයකි. එමෙන්ම මගීන් හට පාර මාරු වීම සඳහා ගුවන් මගී පාලම් ඉදිකර තිබීමෙන්, මගීන්ගේ ආරක්ෂාවද, වාහන ගමනා ගමනයට එය මහත් රුකුලක් බව සටහන් කළ යුතුම කරුණකි.

තායිලන්තයේ කිසිදු පොලිස් නිලධාරියකු මාර්ගයේ වාහන හසුරවන අයුරු අප දුටුවේ නැත. එමෙන්ම කලබලකාරි බැංකොක් නගරයේ රථවාහන නළා තොරතෝංචියක් නැතුව ශබ්ද කරන අයුරු ද අසන්නට ලැබුණේ නැත.

ගුවන් තොටුපළේ සිට පතායා බලා යෑමට මාර්ග කිහිපයකි. අධිවේගි මාර්ග පද්ධතියෙන්ද, දුම්රියෙන්ද, ගුවනින්ද පතායා වෙත යා හැකිය. ගමන ආරම්භයේ සිට අවසානය වන තෙක්ම අප ගමන් කළ වාහනයේ රියැදුරු කිසිම වි‍ටකත් වාහනයේ නළාව ශබ්ද කළේ නැත. ඔහුට ඉදිරියෙන් ධාවනය වූ වාහනය කුමන හේතුවකට වේගය අඩාළ කළත් පසුපස සිටි අපේ රියැදුරු, නළාව ශබ්ද නොකොට අනෙකාගේ අවශ්‍යතාවකට ඉඩ දී බලා සිටියේය.

පතායා නගරයට අප ඇතුළු වූයේ රාත්‍රියේදීය. මුළු පතායා නගරයම සැණකෙළි භූමියක් ලෙස නෙක වර්ණ විදුලි බුබුළුවලින් අලෝකවත්ව බැබ‍ළෙමින් තිබූ අයුරු මනරම්ය. බැලූ බැලූ සෑම අතම සංචාරක හෝටල්ය. හෝටල්, සුපිරි වෙ‍ෙළඳ සල්, නයිට් ක්ලබ්, ස්පා, බාර් මේ සියලු අංගවලින් පතායා නගරය පරිපූර්ණය. මධ්‍යම රාත්‍රිය වන තෙක්ම පතායා නගරයේ තැන් තැන්වල සංචාරය කළ අපි හෝටලයට පැමිණ විවේක ගතිමු.

පසුදා උදෑසනින් අවදි වූ මා පාසල් යන දරුවෙකු දැකගැනීමට බොහෝ වේලාවක් බලා සිටියත් එවැන්නකු දැකගැනීමට නොහැකි වීම ගැන කුතුහලයක් ඇති විය. පතායා නගරය සංචාරක අවශ්‍යතා සඳහාම නිර්මාණය කළ නගරයක් නිසා එහි සාමාන්‍ය නිවාස නැති බවත්, කුඩා දරුවන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන්ද එහි නැති බව පසුව දැන ගන්නට ලැබිණි.

නැවුම් මලින් සැකසූ කුඩා මල්ගොටු රැගත් පාපැදිකරුවන් උදෑසනම පතායා නගරයේ දැකගත හැකිය. ඔවුන්ගේ මල් මිලදී ගන්නේ කඩ සාප්පුවල කටයුතු ආරම්භ කිරීමට පැමිණෙන පතායාහි රැකියා කරන්නෝය. ඔවුන් ඒවා මිලදී ගෙන ආගමික වතාවත් කරන අතර ඊට පසුව පැමිණෙන කසළ එකතු කරන ලොරියකින් ඒ සියල්ල නැවත එක් රැස් කර මඟ දෙපස පවිත්‍ර කරයි.

පතායා වෙත බොහෝ තරුණ තරුණියන් පැමිණෙන්නේ ස්කූටර් වලිනි. පාර පුරා නෙක නෙක විලාසිතා වලින් සැරසුනු තරුණියන් ස්කූටර්වල නැගී තම සේවා ස්ථානවලට යන අයුරු ද විචිත්‍රවත් දර්ශනයකි.

පතායාහි විවිධ ක්‍රියාකාරකම් හා බැලීමට, රසවිඳීමට ඇති තැන් රාශියකි. එයින් බොහෝ දෙනෙක් යන්නේ කොරල් දූපත වෙතය. හෝටලයෙන් උදෑසන ආහාරය සප්පායම් වූ අපි අධිවේගී මෝටර් බෝට්ටුවල නැඟී කොරල් දූපත වෙත ගියෙමු.

මුහුද මැද පිහිටි ජැටියකට ගොඩවී, පැරෂූට් එකක නැගී, ඉහළ අහසට ගොස් අපූරු අත්දැකීමක් ලබන්නටත්, මුහුද යටට කිමිදී ගොස් මුහුදු පතුලේ පය තබා මුහුද යට එහා මෙහා ඇවිදිමින් කොරල් පර නැරඹීමටත්, විසිතුරු මත­්ස්‍යයන් නැරඹීමටත් එහිදී සංචාරකයන්ට අවස්ථාව උදාවේ. මුහුද යටට කිමිදී එහි අසිරිය නැරඹීමට ලැබීම ජීවිතයට ලැබෙන අපූරු අත්දැකීමකි.

කොරල් දූපතේ වැල්ල සුදු පැහැතිය. ජලය විනිවිද පෙනෙන නිල් පැහැයෙන් යුක්තය. කොරල් දූපතේ ජල ක්‍රීඩා රාශියකි. එමෙන්ම කෑම, බීම සහ තායිලන්තයේ අත්කම් රැසක් ඇති කඩ සාප්පු රාශියක් වෙරළ තීරය දිගට පිහිටා ඇත. කොරල් දූපතේ සංචාරය කරන අයට ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක රස මිහිර විඳීමට අවස්ථාව නොමිලේ සලසා ඇත. එමෙන්ම පතායාහි රාත්‍රියේදී පැවැත්වෙන සංදර්ශන කිහිපයක. ඉන් එකක් පතායා සේසොංග් පාරේ ග්‍රෑන්ඩ් තියටර් හී පැවැත්වෙන ඇල්කසර් සංදර්ශනයයි. අනෙක ටිෆ්නි සංදර්ශනයයි.

තායි අලන්ග්කර්න් ශාලාවේ පැවැත්වෙන අලංකාර නර්තන සංදර්ශනයද විශේෂයි. එය මීිටර 70ක දිග වේදිකාවක පැවැත්වෙන අතර ප්‍රසංගය අවසන් වූ විට රංගන ශිල්පී ශිල්පිනියන් සමඟ එකට හිඳ සමරු ඡායාරූප ගැනීමට ද ප්‍රේක්ෂකයට අවස්ථාව උදා වේ.

පතායා මැණික් ප්‍රදර්ශනාගාරය නැරඹීමට ඇති තවත් අපූරු ස්ථානයකි. තායිලන්තයේ පැරණි පතල් කර්මාන්තය නිරූපණය කරන ප්‍රදර්ශනාගාරයක් එහි ඇත. කුඩා දුම්රියක නැඟී අඳුරු පතලක් තුළට ගොස් ඒවා නැරඹීමට සංචාරකයින්ට අවස්ථාව සලසා ඇත.

TO SRIRACHA TIGER ZOO වෙත ගොස් කොටින් සමඟ එකට හිඳ ඡායාරූප ගැනීමටද, කොටි පැටවුන්ට කිරි පෙවීමට ද ඔබට හැකි වෙයි.

තායිලන්තයේ වඩාත් ආකර්ෂණය දිනූ විනෝද උයන ඩ්‍රීම් වර්ල්ඩ්ය. එහි අපූරු උද්වේගකර විනෝද ක්‍රීඩා රාශියකි. එමෙන්ම චමත්කාරජනක ඡායාරූප ගත හැකි විසිතුරු, අලංකාර, විචිත්‍රවත් ස්ථාන ද එහි නිර්මාණය කර ඇත. SNOW TOWN වෙත ගොස් හිම ක්‍රීඩා කිරීමට ද සීතලේ ආශ්වාදය විඳ ගැනීමට ද හැකිය.

තායිලන්තයේ ටුක් ටුක් හෙවත් ත්‍රී රෝද රථ ද විශේෂය. ඒවා එකම හැඩයකට නව්‍යකරණය කර ඇත. ඔවුන් පාරේ සිටින පුද්ගලයන් වෙත එබී ‘හයර්’ ඉල්ලන්නේ නැත. ඔවුන් ඉතා විනීතව එම සේවාව සපයන අතර සෑම ත්‍රී රෝද රථයකම ඔහුගේ අනන්‍යතාව ප්‍රදර්ශනය කර ඇත. එලෙසම ටැක්සි සියල්ලක්ම විවිධ වර්ණ වලින් වර්ණ ගන්වා තිබේ. ඒවා එක් එක් පළාතට විවිධ වර්ණවලින් වර්ණ ගන්වා තිබීමද විශේෂත්වයකි. එයින් ඒවා කොයි පළාතට අයිති ටැක්සි රථයක් දැයි හඳුනා ගත හැකිය.

රාත්‍රියේ අප චාඕ ප්‍රායා ගඟ අසබඩට ගියේ ඩිනර් කෲස් එකට ගොඩ වීමටය. සියලු දෙනා ජැටිය අසලට රැස්වී බලා සිටියේ තම තමන්ට නියමිත චාරිකාව යෑමට නෞකාව පැමිණෙන තුරුය. ගඟ දෙපස ඇත්තේ සංචාරක කර්මාන්තයටම රුකුල් දෙන වාණිජ ස්ථානයි. ඒ අතරම ඔවුන්ගේ පෞරාණික වටිනාකම් ඇති සුවිසල් විහාරස්ථානද පිහිටා ඇත. වට් අරුන් පන්සල එවැනි විශාල අලංකෘත පන්සලකි. එමෙන්ම වට් පෝ පන්සලත් ඒ ළඟම පිහිටි ප්‍රධාන මාළිගාවත් රාමා අට කම්බි වැල් පාලමත් අසිරිමත් ස්ථානය. රාත්‍රියේ ඩිනර් කෲස් හී රාත්‍රී භෝජනය භුක්ති විඳිමින් එම දර්ශනීය ස්ථාන දැක බලාගැනීමට සංචාරකයන්ට අවස්ථාව උදා කර ඇත. ගං ඉවුරේ ඇති Asiatiqve නයිට් මාර්කට් අක්කර 12ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇති තායිලන්තයේ විශාලතම විවෘත සාප්පු සංකීර්ණයකි.

පැය දෙකකට ආසන්න කාලයක් එම සුන්දර අත්දැකීම විඳගත් අපි නැවතත් “රිවර්සිටි” හෝටලයේ ජැටියට සේන්දු වූවෙමු. හෝටලය ඉදිරිපිට ඇති රථවාහන ග‍ාලේ අප එන තෙක් රියැදුරු බලා සිටියේය. තායිලන්තයේ වාහන ගාල් කරන අංගණවල නතර කොට තබන සියලු වාහන හෑන්ඩ් බ්‍රේක් තද නොකොට නවතා තබා යෑම විශේෂත්වයකි. ඒ ක්‍රමය නිසා අනිසි ලෙස නවතා තබා යන වාහන පහසුවෙන් එහා මෙහා කිරීමට අවස්ථාව අනෙක් අයට උදා වෙයි.

අවසන් දිනයේ අප ගියේ තායිලන්තයේ විශාලතම වෙ‍ෙළඳපොළ වන චටුචක් මාර්කට් එක වෙතය. එහි වෙ‍ෙළඳසල් 15,000ක් ඇත. ලක්ෂ දෙකකට අධික පිරිසක් සතිපතා එක් රොක් වන චටුචක් වෙ‍ෙළඳපොළ ලොව විශාලතම වෙ‍ෙළඳපොළ බවයි පැවසෙන්නේ.

 

Comments