නන්දිකඩාල් තරණය කර ලෝකය දිනාගත් පුදුකුඩුඉරිප්පුවේ දූවරු | සිළුමිණ

නන්දිකඩාල් තරණය කර ලෝකය දිනාගත් පුදුකුඩුඉරිප්පුවේ දූවරු

- මුළුමනින්බිඳ වැටුණු අධ්‍යාපනය යළි පටන්ගත්තෙ සෙට්ටිකුලම් කඳවුරේ දී... 
- අම්මා විඳින දුක දරාගන්න බැරිව ගෙදරින් පැනලා ගිහින් රස්සාවක් කරන්න හිතුවා 
- යුද්දෙන් තාත්තා මැරුණා... අම්මගේ අත නැති වුණා... ඉතිරි වුණේ හිතේ හයිය විතරයි.

ජාතික මට්ටමේ විභාගවල ප්‍රතිපල නිකුත් වීමත් සමගම අපට විවිධ කතා අසන්නට ලැබෙයි.

සමහර කතා ඉතාම ප්‍රිය ජනක කතා ‍ෙවනවා සේම තවත් සමහර කතා වලින් එළියට එන්නේ ඉතාම දුක්බර කතා පෙළකි.

කුමන කතා මැද හෝ ඕනෑම ජාතික මට්ටමේ විභාගයකින් ජය ලැබීම ඔවුන්ගේ අනාගතය තවත් හැඩ වැඩ කෙරෙන කැඩපතක් වන්නේය. විශේෂයෙන්ම අපොස උසස් පෙළ විභාගයෙන් ලබන විශිෂ්ඨ ජයග්‍රහණය ඔවුන්ගේ ජීවිතය මෙන්ම අනාගතය සම්පූර්ණයෙන්ම හොඳ පැත්තට කණපිට හැරවෙන සුබ ලකුණක් විය හැකිය.

2019 වසරේ පැවති අපොස උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රවිචන්ද්‍රන් යාලිනී ශිෂ්‍යාවට හැකි විය.

යාලිනී ශිෂ්‍යාවගේ ජයග්‍රහණය නිසා මුළු මුලතිව් දිස්ත්‍රික්කයටත් ඇය අධ්‍යාපනය හැදෑරූ මුලතිව් පුදුකුඩීඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයටත් විශාල ගෞරවයක් උදා වූවත් ඇය මේ ගමන පැමිණි ආකාරය ආපස්සට හැරී බලන විට මේ රටේ බොහෝ දෙනෙකුට එය විශාල පාඩමකි. එමෙන්ම පූර්වාදර්ශයකි.

“මම ඉපදිලා අවුරුදු හතරක් වෙනකොට තමයි අපේ අය යුද්දේට මැදි වෙලා අම්මගේ දකුණු අත අහිමි වෙලා තියෙන්නේ. මට ඒ සිද්ධිනම් හොඳට මතක නැහැ. අම්මා ඉස්පිරිතාලේ ඉන්නවා නම් හොඳට මතකයි. කාලයක් අම්මා ඉස්පිරිතාලේ ඉඳලා ගෙදර ආවා. ඒත් අතක් නැහැ. ඒක සිද්ධ වුණේ බෝම්බ පිපිරීමකට අහුවෙලයි. එදා අපේ ගෙදර ඔක්කොම අයගේ ජීවිත බේරිලා තියෙන්නේ පුදුම විදිහටයි.

මෙහෙම ඉන්න අතරෙදි මගේ තාත්තා දවසක් වැඩට ගියා ආපහු ආවේ නෑ කියලයි අම්මා අපිට කියලා තිබුණේ. තාත්තා රස්සාවට කළේ මේසන් වැඩයි. ටිකක් ඈතක වැඩට ගිය නිසා අම්මා හිතලා තිබුණා තාත්තා පහුවදා එයි කියලා. ඒත් ආවේ නෑ. එදා ඉඳලා අම්මයි අයියයි දෙන්නා එකතු වෙලා තාත්තව හෙව්වා. ඒත් තාත්තාවත් එදා තාත්තා වැඩට ගිය බයිසිකලේවත් හම්බ වුණේ නැහැලු.

මේ කාලේ බෝම්බ මොනවද යුද්දෙ මොකක්ද වෙඩි මොනවද මිනිස්සු මැරෙන්නේ කොහොමද කියලා මම දැනගෙන හිටියෙ නැති වුණාට හැමදාම අපි හිටිය පළාතේ යුද්දේ තිබුණු නිසා ටිකක් ලොකු වෙනකොට මට තේරුමක් ආවා යුද්දේ කියන්නේ මොකක්ද කියලා.

මම සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉගෙන ගත්තේ ගමේ ඉස්කෝලෙන්. දේවීපුරම් විද්‍යාලයේ. මගෙ තාත්තා නැති වුණාට පස්සේ අයියා තමයි කුළී වැඩ කරලා අපිට කන්න දුන්නෙත් මට ඉගැන්නුවෙත්. ටික කලකින් අයියත් මේසන් වැඩ පුරුදු වෙලා තාත්තා කල රස්සාවම කරන්න පටන් ගත්තා.

මම සාමාන්‍ය පෙළ විභාගේ අසමත් වුණා නම් හිතාගෙන හිටියේ මොනවා හරි රස්සාවක් කරලා ගෙදර අයව ජීවත් කරවනවා කියලයි. ඒ කාලේ අපිට ජීවත් වුණ පළාතට හරියට කරදර තිබුණා. අපි ගෙවල් අතඇරලා කැලේට ගියා. අවසානෙදි මුළු මුලතිව් පළාතෙම අය හිටියේ කලපුවක් අසලයි. පොඩි පොඩි කූඩාරම් ගහගෙන තමයි අපි හැමෝම ජීවත් වුණේ. කෑම බීම මොනවත්ම නැහැ. පාඩම් වැඩ කියලා මොනවත්ම කරන්න බැහැ. හැමතැනම සද්දේ ඇහෙනවා මිනිස්සු මැරෙනවා.

අවසානේදි මේ සේරම දාල නන්දිකඩාල් කලපුව හරහා පීනගෙන අපි ගොඩට ආවා. හමුදාව අපිට කන්න බොන්න දීලා අපිව වවුනියාවේ සෙට්ටිකුලම අනාථ කදවුරට අරන් ආවා. කඳවුරේ ටික දවසක් ඉන්නකොට ආයෙත් ඉගෙන ගන්න ලැබුණා. කඳවුර ඇතුළෙමයි ඉස්කෝලේ තිබ්බේ. දවල් රෑ දෙකේම වගේ ඉගැන්වූවා. අමතර පන්තිත් ඒක ඇතුළෙම තිබුණා. ගොඩාක් ගුරුවරු මේ අනාථ අය අතරේ හිටියා. ඒ අය හැම වෙලාවකම අපිට පාඩම් කියලා දුන්නා. එතනින් තමයි ආයෙත් ඉගෙන ගන්න ආසාවයි උනන්දුවයි ඇති වුණේ.

අපි ආපහු ගම්වලට ආවට පස්සේ මම පුදුකුඩීරීප්පු මධ්‍ය මහා විද්‍යාලයට ගියා. උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. මට අමතර පන්තිවලට යන්න බැරි වුණා. ලොකුම දේ තමයි සල්ලි නැතිකම. හැබැයි අපේ ගෙදර තත්ත්වය තේරුම් අරගෙන මට නිකන් උගන්වපු මට බැරි ගණන් හදන්න කියලා දුන්න ගුරුවරු ගොඩක් මේ අතරේ හිටියා. මට නම් කියන්න බැහැ. හේතුව කීප දෙනෙක්ම හිටියා. එක නමක් හරි අමතක වුණොත් මගෙ හිතට හරි නැහැ. කොහොම වුණත් ඒ සියලුම දෙනා මගේ මතකයේ ඉන්නවා.

මම මෙතෙන්ට එන්න නොවිඳපු දුකක් නැහැ. මට පහසුකම් තිබුණේ නැහැ. මම රෑට කනකොට හැමදාම අඬනවා. නිදියනකොටත් එහෙමයි. හැම දෙයක්ම අනුන්ගෙන් ඉල්ලගෙන තමයි මම මේ විභාගේ පාස් වුණේ. ඒ හැම දෙනාටම මම අනේකවාරයක් පින් දෙනවා. දැන් මගේ එකම බලාපොරොත්තුව අනාගතයේදී ගණකාධිකාරීවරියක් වෙලා මගේ අම්මා අයියා බලාගෙන රටට සේවයක් කරන්නයි. නිදහස් අධ්‍යාපනය කියන දේ වටිනාකම තේරුම් ගන්න මේ රටේ ඔක්කොම ළමයින්ටයි දෙමව්පියන්ටයි හිතන්න පුලුවන් හොඳම අවස්ථාවක් විදිහටත් මම මගේ විභාගය පාස් වීම දකිනවා.”

යාලනි සිය කතාව කියන්නට වූයේ හැඬම්බරවය. යාලිනීගේ කතාව වීඩියෝ කරමින් සිටි මදියන්ට ඔහුගේ කැමරාව නතර කොට බලා සිටින්නට වූ වාර ගණන අනන්තය. මේ සෑම දෙයක් දෙසම බලාගෙන සිටි යාලිනීගේ මව වනිතා රවිචන්ද්‍රන් වරක සිනාසෙයි. තවත් වරෙක කදුළු සලයි. කෙසේ වූවත් කාලාන්තරයකට පසුව ඇය සාරියක් ඇද තිබුණේ සිය ජයග්‍රාහී දියණිය සමග පාසලට යන්නටය. යාලිනීගේ මව සාරි නොහැන්දේ ඇයගේ දකුණු අත නොමැති නිසා සාරිය ඇයට කරදරයක් වන නිසාය.මේ නිසා ඇය සෑම වැදගත් අවස්ථාවකටම ගවුමක් අඳින්නට පුරුදුව සිටියාය. යාලිනීගේ මව තම පවුලේ අතීත අමිහිරි මතකයන් සිහිපත් කරන්නට වුයේ වේදනාවෙනි.

''මුලතිව් පළාත තමයි යුද්දයේ භයානකම පළාත වුණේ. ගෙදර හිටියට වඩා අපි හිටියේ කැළෑවල් වලයි. කන්න නෑ. මොනවා හරි උයා ගත්ත දවසට කන්න නැති වුණු අවස්ථා එමට තිබුණා.

කොහොම හරි මගේ අත නැති වෙලා ගියා. මගේ මනුස්සයා ගෙදර හැම වැඩක්ම මට කරලා දීලා එයාම උයාගෙන එයාම මොනව හරි ටිකක් කොලේක ඔතාගෙන තමයි වැඩට ගියේ.

දුවට එයා හරි ආදරෙයි. එයා හැමදාම කිව්වේ අපේ පවුලට කවදා හරි වාසනාව ගේන්නේ මේ කෙල්ල තමයි කියලයි. එයා ඒක කොහොම කිව්වද දන්නේ නෑ. අද එයා හිටියා නම්......” මව විලාප නඟද්දි යාලිනී ඇය සැනසුවේ ද හඬමිනි. උසස් පෙළ විභාග ප්‍රතිපල පැමිණ සියල්ලෝම සතුටෙන් සිටි මේ රටේ කිසිම පාසලකදී දුකත් සතුටත් සමග මුසුවූ පුදුමාකාර හා අත්දැකීම් ගොන්නක් මේ අන්දමට විඳ ගන්නට අපේ මාධ්‍යවේදීන්ට අවස්ථාවක් නොලැබුණාට කිසිම සැකයක් නොමැත.

යාලිනීගේ මව යළිත් කියවන්නීය.

''මගෙ අතත් නැති වෙලා මහත්තයත් නැතිවෙලා ඉන්නකොට සංවිධානේ කොල්ලෝ ඇවිත් කිව්වේ අපිට උඹේ පුතාව බාර දීපන් කියලයි. මට මගේ කෙල්ල ගැන පුදුම බයක් ඇති වුණේ. මම උන්ට කිව්වා මේ කොල්ලා නැත්නම් අපිට කැඳවත් බොන්න විදිහක් නැහැ ඒක නිසා එයාව දෙන්න බැහැ කියලා. එක කොල්ලෙක් තුවක්කුවත් අරන් ගේ ඇතුළට ආවා. මම ඒකේ එල්ලුණා. ඌ වැටෙන්න ගියා. මම හිතුවේ මට වෙඩි තියලා කොල්ලව අරන් යයි කියලා. ඒත් අනිත් එකා කිවුවා ''යමන්... යමන් ..'' කියලා. දෙන්නම යන්න ගියා. ඉන් පස්සෙත් කීප වතාවක්ම උන් ආවා. පුතා එහෙ මෙහෙ වැඩට යන නිසා උන්ට පුතාව අහු වුණේ නැහැ.

හැබැයි මේ කෙල්ල ලොකු ළමයෙක් වුණ කාලෙත් යුද්දේ තිබුණ නම් මේ කෙල්ලට මෙහෙම ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. උන් මෙයාවත් අරන් ගිහින් සංවිධානෙට බඳවා ගන්නවා. මගේ මනුස්සයා කිව්ව කතාව අද ඇත්ත වුණා. මගේ යාලිනී අපේ පවුලටම වාසනාව ගෙනාවා. මට දැන් මැරුණට කමක් නැහැ.’’

යාලිනීගේ මවත් යාලිනීත් මාරුවෙන් මාරුවට වරෙක ඉකි බිදිමින් තවත් වරෙක සිනාසෙමින් මේ කතාබහ කරණ අතරවාරයේ මුලතිව් පුදුකුඩීඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ තවත් මුල්ලක තවත් විශාල කතා බහකි. ඒ අපොස උසස් පෙළ විභාගයේදී කලා අංශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබුණේද එම විද්‍යාලයේම ශිෂ්‍යාවකි. ඇය නමින් එස්.සුදර්ශනීය.

විෂය ධාරාව කුමක් වූවත් විභාගයෙන් ලද ප්‍රතිපලය කෙසේ වූවත් මහා යුද්ධය නිසා මුලතිව් පළාතේ වැසියන්ගේ ජීවිත වලට ලැබී තිබුණේ එකම එක ප්‍රතිපලයකි. ඒ ඔවුන් යුද අනාථයින් වීමත් යුද්ධයෙන් ආදරවන්තයින් මිය ගොස් ඔවුන් අසරණ වී සිටීමත්ය.

සුදර්ශනීගේ කතාවද යාලිනීගේ කතාවටම සමාන වූවත් ඒ කතාවේ ඇති වෙනත් අසමානතා පමණක් අපි එහි සටහන් කරමු.

''මගේ තාත්තා යුද්ධ කාලේ කාලතුවක්කු උණ්ඩයක් පිපිරිලා මැරිලා තියෙන්නේ. මේක සිද්ධ වුණා කියන්නේ මම පොඩි කාලෙදිමයි. මට නම් මතකයක් නැහැ. අම්මා තමයි මට මේවා කියලා තියෙන්නේ.

පවුලේ හිටියේ මම විතරයි. අපි එදා ඉදලම හරීම දුප්පත් පවුලක්. අදටත් එහෙමයි. අපේ තාත්තා මැරුණේ ගෙදරමයි. කාලතුවක්කු උණ්ඩය වැටිලා අපේ ගෙදර ගිණි අරන් තියනවා. තාත්තා ඒ ගින්නත් එක්කම මැරිලා අලු වුණා කියලයි අපේ අම්මා කිව්වේ.

අපි හිටිය ගෙදර ගිණි ගත්තට පස්සේ අම්මා මාවත් අරන් මාමලාගේ ගෙදර ගියා. එහෙ ඉන්න කාලේදි තමයි ආයෙත් යුද්දේ දරුණු වෙලා අපි සේරම නන්දිකඩාල් කලපුවෙන් එහාට ගිහින් තියෙන්නේ. යුද්දේ ඉවර වෙනවත් එක්කම අපිත් වවුනියාවේ අනාථ කදවුරට ගියා. ඒ කාලේ මට හොඳට මතකයි. මම ඉගෙන ගත්තේ කඳවුර ඇතුළේ තිබුණේ ඉස්කෝලේ.

තාත්තා නැති වුණු දා ඉදලා අම්මා කළේ කුළී වැඩ. එක වැඩක් කියලා නැහැ. මහා ගිනි අව්වේ මගේ අම්මා කුඹුරු වල වැඩ කළා. පස්සේ අම්මට අසනීප වුණා. ඊට පස්සේ අම්මා කලේ මේසන් වැඩ කරණ අයට බදාම අනන්න වතුර අදින එක. මගෙ අම්මා මේ විඳින දුක බලාගෙන ඉන්න බැරුව මම එක සැරයක් ගෙදරින් පැනලා කොහේ හරි යන්න ඕනේ කියලා හිතුවා. එහෙම හිතුවේ මොනවා හරි රස්සාවක් කරන්න ඕනේ කියලා හිතාගෙනයි. මම මේ කතාව මගේ යාලුවට කිව්වා. යාලුවා කිව්වා උඹ හොඳට ඉගෙන ගනින් ඔහොම පිස්සු වැඩ කරන්න එපා කියලා. එයා ගිහින් අපේ පන්තියේ සුදර්ශන් සර්ට කියලා තිබුණා මගේ කතාව. සර් පහුවදාම අපේ ගෙදරට ආවා. ඇවිත් මගේ අඩුපාඩු ගැන කතා කලා. අම්මා විස්තරේ කිව්වා. මම පන්ති ගියේ නැහැ. හැම ගුරුවරයෙක්ම මට උදව් කළා. විභාග ළංවෙන කොට මම ලොකු විශ්වාසයකින් වැඩ කළේ. හැමදාම පන්ති යන ළමයින්ට වඩා මගේ ලකුණු ඉහළ මට්ටමක තිබුණා. මම පාස් වෙන බව මම දැනගෙන හිටියා. ඒ වුණාට මම හිතුවේ නැහැ මුලතිව් පළාතෙන්ම මම පළවෙනියා වෙයි කියලා. මගේ තාත්තා ඉන්න තැනක ඉදාල අම්මටයි මටයි ආශිර්වාද කරනවා ඇති කියලා මට හිතෙනවා. මගේ අම්මා හරීම ධර්මානුකූලයි. හැමදාම කෝවිල් යනවා දෙවියන්ගේ ආශිර්වාදය ඉල්ලනවා. ඒ ආශිර්වාදයත් අපට ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරණවා. මගේ ඉස්කෝලෙට ගෞරවයක් අරගෙන දෙන්න පුලුවන් වීම ගැන මට සන්තෝෂයි.”දෑසේ නැගි කඳුළක් පිස දමමින් සුදර්ශනි පවසන්නීය.

මුලතිව් පුදුකුඩීඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එස්,ඩේවිඩ් මහතා අප හා පැවැසුවේ මෙවැනි කතාවකි.

“යුද්දෙන් පස්සේ අපේ විද්‍යාලයට ගෞරවයක් ලැබුණු පලමු අවස්ථාව මේ තමයි. යුද්දෙට පෙර ළමයි විභාගෙන් පාස් වෙලා විශ්වවිද්‍යාලේ ගිහින් තියනවා. ඒත් දිස්ත්‍රික්ක මට්ටමින් පළමු අවස්ථාවක් ලැබුණු පලමු අවස්ථාව මේකයි. අපිට ආඩම්බර වෙන්න පුලුවන් කලා අංශයෙනුත් වාණිජ අංශයෙනුත් කියන දෙකෙන්ම අපිට පළවෙනි අවස්ථාවන් ලැබුණ එක ගැන. යුද්දෙට පාසල විනාශ වෙලා ගියා. යළිත් අලුතෙන්ම පටන් ගත්තා. ගුරුවරු වගේම ගොඩනැගිලිත් අලුත්. ඉන්න ළමයිනුත් මැරිලා ඉපදුණු ළමයි. මේ නිසා මේ අයව විභාග වලින් සමත් කරවන්න ගොඩාක් අමාරු පරිසරයක තමයි මේ ළමයි දෙන්නා ජයග්‍රහණයන් අරගෙන දීලා තියෙන්නේ.

මේ පාසල්වල පහසුකම් අඩුයි. යාපනයට වවුනියාවට සාපේක්ෂව උතුරු පළාතේ නොදියුණු පාසල් කියලා තමයි මේ පාසල් හඳුන්වන්නේ. රජයේ ඉහල බලධාරියෙක් කියලා කෙනෙකුට ඇවිත් තියෙන්නේ හිටපු ආණ්ඩුකාර සුරේන් රාගවන් මහත්තයා විතරයි. වෙන අවධානයක් නැහැ. පළාතේ අධ්‍යාපන බලධාරින් මේ ගැන වෙහෙසෙනවා. මොනවා හරි අඩුපාඩුවක් තිබිලා හමුදාවට කිව්වම ඒක එයාලා ඇවිත් කරලා දෙනවා. සමහර දාට ඉස්කෝලේ එන ළමයිනුත් හමුදාවේ ට්‍රැක්ටර්වල නැගලා තමයි එන්නේ.

වෙනත් පළාත්වල පාසල් බර් රථ කියලා වෙනම බස් රථ වෙන් කරලා තිබුණට මෙහෙ ඒහෙම නැහැ. පාරේ යන බස් එක තමයි හැම දේකටම යොදා ගන්නේ. ඒක නැති දාට එක්කෝ ළමයි ඉස්කෝලේ එන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ අය පයින් හෝ පාරේ යන වාහනේක එන්න ඕනේ. සල්ලි තියන ළමයි යාපනයට වවුනියාවට ටියුෂන් යනවා. එහෙම වාතාවරණයක ඉඳගෙන තමයි මේ දරුවෝ දක්ෂතා පෙන්නුවේ.’’ විදුහල්පතිවරයා තම පාසලේ දරුවන්ගේ දක්ෂතා අගයමින් පවසන්නේය.

කුමන බාධක අවහිරතා තිබුණ ද තමන්ට යාමට ඇති ඉලක්කය කරා යන්නට අධිෂ්ඨානශිලිබව ඇත්නම් යා හැකිය. එවන්නන් කොහිදැයි කෙනෙකු ඇසුවොත් අපට එක එල්ලේම සුදර්ශනි හා යාලිනි පෙන්විය හැකිය. වැදූමවට. ඉගැන්වූ ගුරුවරුන්ට ණය නැති, ඉගෙන ගත්ත පාසලට, රටට ආඩම්බර විය හැකි දැරියෝය.

රසුල දිල්හාර ගමගේ

Comments