මොකටද අපේ තාත්තාට ඇත්ත කිව්වෙ? | සිළුමිණ

මොකටද අපේ තාත්තාට ඇත්ත කිව්වෙ?

“මේ රටේ මිනිස්සු කොයි වෙලාවෙත් හිතන්නෙ මැරෙන්නෙ කොහොමද කියලා මිසක් ජීවත් වෙන්නෙ කොහොමද කියලා නෙමේ. වැළලෙන හැටි තමා ප්ලෑන් කරන්නෙ.. සතුටින් ජීවත් වෙන්නෙ කොහොමද කියලා හිතන්න කිසි ම වුවමනාවක් නෑ.”

ඇය වාහනය පණ ගන්වා ගත්තේ සුසුමක් හෙළමිනි.

“අමාලිව මැරි කරන්න කියලා මට ඔයාට බල කරන්න බෑ මල්ලි... ඒත් ආපහු ගියාට පස්සෙ හරි ඒ ගැන තව ටිකක් හිතන්න... මෙහෙ ඉද්දි ඔයාට එයාගෙ වටිනාකමක් නොපෙනුණත් ඒ රටේදී වැඩි වැඩියෙන් මතක් වෙයි...”

ඔහු කිසිවක් නොපැවසුවේය. ඔහුගේ අඳුරු දෙනයන අබියස එකිනෙකා වැලඳගත් යුවළකගේ රූ සලිත විය.

“කොහොම හරි අන්තිමේදී මට හොඳ යාළුවෙක් නැති වුණා. ආයෙත් ඉතිං මමී ජල්ලි අල්ලන්න පටන් ගනී...”

ඔහු විමතියෙන් දෑස අයා ගත්තේය.

“ඇයි ඉතිං ඕගොල්ලො අමාලි එක්ක තරහ වෙන්නෙ..?”

“අපි තරහවෙනවා නෙමේ මෝඩයෝ.. සිරිමාන්න අංකල් කීවා ආයෙමත් අමාලිව ගෙන්න ගන්න එපා කියලා ෆාමසියටවත් අපේ ගෙදරටවත්. අපි තවදුරටත් අමාලිව රහසින් හරි මීට් වුණොත් එයා පොලීසි යනවලු..”

ඔහු “රියලි?” යි ප්‍රශ්න කළේ අපමණ විමතියෙනි.

“මේ රටේ මිනිස්සු ප්‍රශ්න විසඳන්නෙ ආවේගවලට වහල් වෙලා මිසක බුද්ධියෙන් නෙමේ මල්ලි...”

“ෂහ්... හරි අපරාදයක්නෙ.. මං හිතුවෙ නෑ මේක මේ තරම් සීරියස් ප්‍රොබ්ලම් එකක් වෙයි කියලා..”

සොහොයුරාගේ පශ්චත්තාපයෙන් ඇයට සැනසෙන්නට නුපුළුවන.

“හිතන්න තිබ්බා මල්ලි.. ඔයා සෙල්ලම් කළේ තාත්තා කෙනෙක් එක්ක. තාත්තෙකුට දුවක් කියන්නෙ ජීවිතයක් නෙමේ ලෝකයක්... ඔයාට ඔය තරම් ආදරෙන් උන්නු සිරිමාන්න අංකල් එක මොහොතින් වෙනස් වුණේ තමන්ගෙ දුවට තියෙන අසීමිත ආදරේ හින්දා නේද...? ඔයාට මතක නැද්ද මල්ලි අපේ තාත්තා අපි‍ දෙන්නට කොයිතරම් ආදරෙන් හිටියද කියලා...”

“තාත්තා මට වඩා ඔයාට ආදරෙයි අක්කා...”

ඇය හිස සැලුවාය.

“අම්මා කෙනෙක් වගේ නෙමේ මල්ලි... තාත්තා කෙනෙක් රළුයි වගේ පෙනුණට එයාගෙ හිත ආදරෙන් පිරිලා ඉතිරිලා... අම්මා කෙනෙකුට හුඟාක් දේවල් දරා ගන්න පුළුවන්. ඒත් තාත්තා කෙනෙකුට ඒ ශක්තිය නෑ. හදවතින් අඬන තාත්තලා කොයිතරම් ඉන්නවද... කාටවත් පේන්නෙ නෑ... ඇහෙන්නෙ නෑ... කෑගහලා ඉකි ගහලා අඬන අම්මට වඩා තාත්තගෙ ඒ නිහඬ වැලපිල්ල මොන තරම් දුක්බරද කියලා කව්රුවත් දන්නෙ නෑ...”

තරුණයාගේ උගුර සිරවී තෙරපී ගියේය. සිය ‍සොයුරිය මේ සා සංවේදී බව ඔහු මින් පෙර දැන නොසිටියේය. ඔහු ඇය වෙතින් දුටුවේ දක්ෂ ව්‍යාපාරික කාන්තාවක් පමණි.

“මම සිරිමාන්න අංකල් එක්ක තරහ නෑ මල්ලි. තාත්තා කෙනෙක් විදියට එයා වැරදි නෑ.. එයා හරි.. පොලීසියට කුදලාගෙන යන්න තරම් ඔයා වරදක් කළේ නෑ තමා. ඒත් එහෙම දෙයක් කළා කියලවත් මට සිරිමාන්න අංකල් එක්ක තරහ වෙන්න බෑ.. අකමැත්තෙන් වුණත් මට අමාලිව රස්සාවෙන් අස් කරන්න වෙනවා.. අමාලිගෙ තාත්තගෙන් මම දකින්නෙ අපේ තාත්තමයි මල්ලි..” 

ඔහු සුසුමක් හෙළුවේ මේ සියල්ලට වරදකරු කවුදැයි සිතමිනි.

“එහෙනම් අක්කා මා එක්ක තරහ ඇති.. මං හින්දනෙ මේ අමිහිරි දේවල් සේරම...”

ඇය සිනාසෙන්න තැත් කළාය.

“ඔයා අමාලිව මැරි කරන්න කැමති නම් හැම දේම මිහිරි වෙයි... ඒත් ඒකෙන් ඔයාගෙ ජීවිතේ මිහිරි වෙයිද අමිහිරි වෙයිද කියලා ඔයාටම හිතාගන්න බැරි නම් අපි මේ ගැන තවත් කතා කරලා වැඩක් නෑ මල්ලි..”

නිවෙස වෙත ළඟා වෙත්ම ඔහු තුළ හට ගත්තේ තමා එහි තව වැඩි දවසක් නොසිටින බව ය. හැකි තාක් ඉක්මනින් ආපසු යා යුතුය. අක්කා තමා වටහා ගත්තද අම්මාගේ අනුමැතිය ලබා ගැනීම අසීරු වනවා නිසැකය. ඇගෙන් සමු නොගෙන හෝ පිටත් විය යුතුයැයි ඔහු තීරණය කළේය.

වෙනදා මෙන් නිවෙස නිහඬ නැත. ශ්‍රීමා සහ අමාලි යකා නටන බව පීටර් පැමිණිලි කළේ නොමනාපයෙන් නොවේ. මහත් මනාපයෙනි.

“දෙන්නා අද බෝනික්කො වෙලා..” යි ඔහු කාංචනා වෙත ළංව පැවසුවේ පහත් හඬිනි. රහසක් හෙළිදරව් කරන කලෙක මෙනි.

“‍මොකක්ද?”

ඒ හෙළිදරව්ව නොවැටහුණු කාංචනා මහත් කුහුලින් ප්‍රශ්න කළාය.

“බෝනික්කො වගේ ඇඳගෙන.. අනේ මංදා අපේ ලොකු නෝනට වගේ ම අර පුංචි නෝනටත් ටිකක් පිස්සු වගේ.. අපේ රමේෂ් මහත්තයාට හරියන්නෑ නෝනා ඒ ගෑනු ළමයා. ඔහොම උඩ පැන පැන දඟල දඟලා කොහොමද පවුලක් පන්සලක් වෙන්නෙ...?”

අමාලි හමුවන්නට පසුබෑ රමේෂ් කාමරයට වැදුණේය. ඇය සමඟ කතා බහ කොට මේ අවුල ලියා ගැන්ම වඩා හොඳ බව සිතුණ ද ඔහු කිසිවෙකු සමඟ කතා කරන්නට ප්‍රිය නොකළේය. කුලුපග සේවකයාගේ බැල්ම ද නුදුටු විලාසයෙන් දොර වසා ගත්තේය.

පමණට වඩා තොල් හා නිය රතුකොට විලවුන් ගල්වා සිටි ශ්‍රීමා ද අමාලි ද වර්ණවත් කුඩ ඉහලාගෙන විශාල විසිත්ත කාමරයේ අලංකාරයට යම් කිසි අපූර්වත්වයක් එක් කරති.

“ඇයි මමී මේ?” කාංචනා අසහනයෙන් පසුවෙන බව පෙනී ගියද අමාලි පුළුල් සිනාවක් පෑවා ය.

“ඔයත් බෝනික්කෙක් වෙන්නකෝ ඔහොම මූණ එල්ලගෙන ඉන්නෙ නැතුව.”

ශ්‍රීමා ඒ යෝජනාව ඉත සිතින් අනුමත කළාය.

“එන්න.. මම ඔයාව ලස්සනට මේකප් කරන්නම්..”

කාංචනා සෝපාව මත කඩා වැටුණාය.

“අද විතරයි අමාලි ඔයාට අපේ මමීත් එක්ක කෝලම් කරන්න වෙන්නෙ.”

වහා කැලඹෙන මවට ඇසෙන ලෙස එසේ කීම වරදකැයි ඇයට කල්පනා නොවීය. ඒ නිසාම වික්ෂිප්තවූ බෝනික්කියන් දෙදෙනාට සියල්ල හෙළි කළාය. අවසන් ප්‍රතිඵලය ඔවුන් බෝනික්කියන්ගෙන් යක්ෂණියන් බවට පෙරළීමය. දෙදෙනාම කලින් කතිකා කැර ගත්තා වාගේ දිව ගියේ රමේෂ්ගේ කාමරය වෙතය. දොර අගුළුලන්නට ඔහුට අමතක වීම නිසා ඒ වර්ණ ගන්වන ලද නිය සහිත දිගු ඇඟිලි දහයකින් ගැහැට ලබන්නට දොරට සිදු වූයේ නැත.

ඇඳ මත වැතිර හුන් තරුණයා මේ කාන්තා ආගමනයෙන් පුදුමයට පත් විය. ඔහු ඉතා ‍ඉහළින් අගය කළ සිරිත් විරිත් නොසලකා හැර තිබිණ. දොරට තට්ටු කරන්නට තරම්වත් කාන්තාවන් සදාචාර සම්පන්න නොවූ බැවිනි.

ශ්‍රීමා සිය පුත්‍රයාගේ දෙපයින් ඇද්දාය.

“මො.. මොකද මේ...? මමි...?” යි ඔහු අපමණ විස්මයෙන් කෑ ගැසුවේය.

“මොන මෝඩයෙක් ද මේ? මොකටද අපේ තාත්තාට ඇත්ත කිව්වෙ? ඇත්තට ම ඔයාට මොළේ ඇත්තෙම නැද්ද රමේෂ්..?”

ශ්‍රීමා සමඟ එක්ව අමාලි ඔහු ඇ‍ඳෙන් බිමට ඇද දැමුවාය.

“මහ ලොකුවට අනුන්ට බණ කියනවා.. තමුන්ට දෙයක් වෙන්නම ඕන මුනිවරයා අතුරුදහන් වෙලා ඇත්ත මනුස්සයා එළියට එන්න...”

ඇය ඔහු නිර්දය ලෙස විවේචනය කරමින් තල්ලු කළාය. ශ්‍රීමා වෙත ඒ තරම්වත් කරුණාවක් නොතිබිණ. ඇය ඔහුට පහර දුන්නාය.

“කොයි වෙලාවක හරි තමුන් ආපහු පැනලා යයි. මේ කෙල්ලත් නැතිව මං මෙතන පාළුවේ මැරිලා යයි. ඇයි මේ තරම් ‍හොඳ ගෑනු ළමයෙක්ව මැරි කරන්න බෑ කිව්වෙ?” යි පුන පුනා අසමින් ඇය සිය දෑතේ සවිය නොමඳව විදහා දැක්වූවාය.

ලබන සතියට‍...

Comments