ජනකවියට හා මී මැසි පාලනයට පෙම් බැඳි සිළුමිණ උපකතුවරයා‍ පීටර් විජේසිංහ | Page 7 | සිළුමිණ

ජනකවියට හා මී මැසි පාලනයට පෙම් බැඳි සිළුමිණ උපකතුවරයා‍ පීටර් විජේසිංහ

“මිනිසාගේ එදිනෙදා ආහාරයට මෙන් ම විවිධ රෝග නිවාරණයට දීර්ඝායු ලැබීමට, ආහාර සංරක්ෂණයට ද ඖෂධ සඳහා ද වැදගත් වූ මී පැණි ලබාදෙන බිඟු සමූහයා මිනිසාට නැතිව ම බැරි බව පෙනෙයි.”

“මී මැසි පුවත” නම් කෘතිය කලකට ඉහත ලියූ පීටර් විජේසිංහ මහතා සඳහන් කර තිබුණි. ප්‍රවීණ පුවත්පත්කලාවේදී විජේසිංහ මහතා ජනශ්‍රැති, ජනකවි ගවේෂකයෙක් විය. ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ‘දිනමිණ’ හා ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩල සාමාජිකයකු වශයෙන් 1929 වර්ෂයේ දී ය. එවකට ඔහු සමඟ ලේක්හවුසියේ සිටි පත්‍රකලාවේ පතාක යෝධයන් වූයේ මාර්ටින් වික්‍රමසිංහ, පියසේන නිශ්ශංක, අයි.ඇම්.ආර්.ඒ‍. ඊරියගොල්ල, ජී.බී‍‍. සේනානායක, මීමන ප්‍රේමතිලක, ඩී.ඩබ්ලිව්. සේනාධීර ආදීන් ය.

තම පියා, තොරතුරු අන්‍යයන්ට හෙළිදරව් නොකර, අඥාතව සිටීම සිරිතක් කර සිටි බව විජේසිංහ මහතා ගේ වැඩිමහල් දියණිය ප්‍රවීණ ලේඛිකා භද්‍රා ඉන්ද්‍රානි විජේසිංහ අමරකෝන් අපට පැවසුවාය. ලේක්හවුස් කර්තෘ මණ්ඩලයේ සේවය කරද්දී, කර්තෘ මණ්ඩල සගයන්ට සිංහල - ඉංග්‍රීසි භාෂාවලින් කවි පද ලියා, අතින් අත යවමින් විනෝද වූ බවත්, ජී.බී. සේනානායක මහතාට නිදහස් පද්‍ය ලිවීමට ඒවා හේතු වූ බවත්, තාත්තා තම දියණියට පවසා තිබුණි. ඉංග්‍රීසි භාෂාව ගැන හසළ දැනුමක් ඇතිව සිටි තම පියා කවි ලියා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් බව ඇය අපට පැවසුවා ය.

1905 ජූනි 13 වැනිදා මාතර කඹුරුපිටියේ ගොඩෝකන්දේ ද නම් ගම් පියස්සේ උපත ලැබූ පීටර් විජේසිංහ අධ්‍යාපනය ලබා ඇත්තේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ ගාල්ලේ මහින්ද විද්‍යාලවලිනි. ඔහු ප්‍රකට ලේඛක මාතර ජස්ටින් විජයවර්ධන මහතා සමඟ මහින්දයේ අකුරු කළ බව පැවසේ. සිටිනාමලුවේ රතනජෝති හිමියන්ගෙන් සිංහල, පාලි හා සංස්කෘත භාෂා පිළිබඳ ප්‍රමාණික දැනුමක් ඔහු ලබා සිටියේ ය.

කඹුරුපිටියේ ගෝදාවේ පදිංචිව සිටි ඉඩම් හිමි වැවිලිකරුවකු වූ කොර්නේලිස් විජේසිංහ ගොඩෝකන්දේ මහ රාළහාමිගේත්, සිරිබද්දන හාමිනේ ගේත් කනිටු පුත්‍රයාය පීටර් විජේසිංහ. පීටර් විජේසිංහ තම විනෝදාංශය ලෙස මී මැසි පාලනයත්, ඕකිඩ් වගාවක් කළේය. සිළුමිණ පුවත්පතේ කතුවරයා වූ පියසේන නිශ්ශංක මහතා විසින් ‘දිනමිණ’ පත්‍රයට 1965 දී මීමැසි පාලනය ගැන ලියූ ලිපියක ඔහු ගැන ලිවීමට ද අමතක නොකළේ ය.

“සති අන්තයෙහි බොහෝ වාරවල ඩී.ආර්. විජයවර්ධන මහතා (ලේක්හවුස් අධිපති) පීටර් විජේසිංහ මහතා සමඟ මේ සඳහා (මී මැසි පාලනය) ගල්පොකුණේ වත්තට ගියේ ය. විජේසිංහත්, එකල ගුණතිලක මහතාගෙන් මී මැසි පාලනය ගැන ගුරු හරුකම් ගෙන, මී මැසි පොදි සෑදීම, මී පොදිවලින් රජ මැස්සී අල්ලාගෙන මී බැන්දවීම් ආදිය ගැන මී මැසි පාලන කර්මාන්තයෙහි ශූරතා ඇතිව සිට මස්, මාළු නොකන උපාසක තාලේ සන්සුන් තරුණයෙකි. විජයවර්ධන මහතා වි‍ජේසිංහ ගැන දැන ගත්තේත් ගුණතිලක මහතාගෙන් විය හැකිය.

ගල් පොකුණවත්තට ගොස් පැමිණි සෑම විටම ඔහු විජයවර්ධන මහතා මී මැසි පාලනය ගැන දක්වන ඕනෑකම ගැනත්, ඒ වත්තේ එම කර්මාන්තය දියුණු වන අන්දම ගැනත්, විජයවර්ධන එයින් ලබන ප්‍රීතිය ගැනත්, අප සමඟ කීම ද පුරුද්දක් කරගෙන සිටියේය. එසේ නැති දවස්වල අප සමඟ කීමට ඔහු වෙන මොකක් නමුත් රසවත් සිද්ධියක් මතක තබාගෙන ආවේ ය.

1948 දී ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගෙන එවකට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂව සිටි එච්.ඒ.ජේ. හුළුගල්ලේ මහතාගේ ඉල්ලීම පරිදි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ලෙස පත්විය. එ් දෙපාර්තමේන්තුව ආරම්භ කළ ප්‍රථම සිංහල ප්‍රකාශනය වූ ‘ශ්‍රී ලංකා’ සඟරාවේ සංස්කාරක වූයේ විජේසිංහ මහතා ය. රජයේ ප්‍රවෘත්ති මෙන් ම සාහිත්‍ය රසයෙන් සපිරි සඟරාවක් වී එය ජනප්‍රිය වූ අතර ඒ මහතා 1948 සිට 1964 දක්වා සංස්කාරක ධූරය දැරුවේ ය. විජේසිංහ මහතා මේ කාලය තුළ ජනකවි හා ජනශ්‍රැති ආශ්‍රයෙන් කතා පුවත් මඟින් හෙළිවන අපූරු ජීවිත පුවත් ලිපි අතුරින් ලිපි 122 ක් එකතු කොට සංස්කරණය කර සරසවි ප්‍රකාශයක් ලෙස 2017 දී එතුමාගේ දියණිය භද්‍රා ඉන්ද්‍රානි අමරකෝන්ට හැකි වූවා ය. “පැරණි සිංහල ජීවිත පුවත්” නම් මේ කෘතියේ ප්‍රධාන මාතෘකා හයෙන් කියවෙන්නේ සිංහලයන්ගේ ජන සංස්කෘතික ඉතිහාසයයි. එහි එන මාතෘකා මෙසේ ය.‍

1. වැව් කෙත, දාගැබ හා බැදුණු පැරණි සිංහල ජන ජීවිතය

2. පැරණි සිංහල ගම හා ගැමි පවුල

3‍. පැරණි සිංහල ජීවිත පුවත් හා පවුල් සබඳතා

4. ගැමි දිවි පැවැත්ම සහ ජීවන වෘත්තීන් (ගොවිතැන)

5. පැරණි ගැමි සමාජයේ වූ වෙනත් ජීවන වෘත්තීන්

6. පැරණි ගැමි සමාජයේ විවිධාංග

මෙම සංග්‍රහයෙහි ජන කවි 812 ක් ඇතුළත් වීම තවත් විශේෂයකි.

භද්‍රා අමරකෝන් පවසන්නේ තම පියා කොළඹ රැකියාවට ආ මුල් ම කාලයේ දී සිටම තාත්තා අප්‍රකට ජනකවි හා ජනශ්‍රැති පුවත් එකතු කළ අතර විවේක කාලයෙහි කොළඹ නාගරික පුස්තකාලය, කෞතුකාගාර පුස්තකාලය හා රාජකීය ආසියාතික පුස්තකාලයේ පැරණි පොත් සඟරා සහ පුස්කොළ පොත් කියවමින් අවශ්‍ය තොරතුරු රැස් කර ගත් බවයි.

මෙරට සිට කීර්තිමත් සිවිල් නිලධාරියකු වූ වරෙක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා හා ශ්‍රී ලංකා පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ද වූ ඇම්.‍ෙජ්. පෙරේරා මහතා මෙසේ ජනකවි රැස් කිරීම පිළිබඳව පීටර් විජේසිංහ මහතාව දිරිමත් කොට ගිවිසුමක් මත පුස්තකාල සේවා මණ්ඩලයට බඳවා ගත්තේ ය. එතැන් සිට ඔහු ජනකවි ජනප්‍රවාද , සිරිත් විරිත් ආදී නා නා ජන සාහිත්‍ය අංග පිළිබඳ විවිධ විෂයයන් යටතේ තොරතුරු ගවේෂණය කොට ග්‍රන්ථ කිහිපයක් රචනා කළේ ය. “ඌවේ ජනකවි” සංග්‍රහය ඉන් එකකි. විජේසිංහ මහතා ලියූ අත්පිටපත් අතර ‘ලංකාවේ ග්‍රාම නාම ඉතිහාසය’, ‘වැව් බැඳි රාජ්‍යය’, ‘පුරාණ සිංහල වී ගොවිතැන’, ‘ලංකාවේ වනමල්’, ‘ලක්දිව දෙවිවරු’, ‘කුරහන් ගොවිතැන’, ‘මී මැස්සෝ’ ආදී විවිධ ක්ෂේත්‍ර ගැන ලියූ ලිපි වෙයි. ඔහු ලියූ අත්පිටපත් 65 ක් පමණ පුස්තකාල සේවා මණ්ඩලයේ ජනශ්‍රැති අංශයේ සුරැකිව පවතී.

1965 වසරේ නැවත ලේක්හවුස් ආයතනයට බැඳුණු විජේසිංහ මහතා ‘බුදුසරණ’ පත්‍රයේ කතුවරයා විය.

පීටර් විජේසිංහ මහතා මේ ලියුම්කරු හඳුනා ගත්තේ අහම්බෙනි. 1985 ජූනි මස ‘කල්පනා’ සඟරාවට අප හිත මිත්‍ර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පියසේන වික්‍රමගේ ලියූ ‘පීටර් විජයසිංහ: ජන කවි මී වද බැඳි පුරෝගාමියා’ ලිපියෙනි ඒ. එදා ඒ ලිපිය සමඟ පළ වූ පීටර් විජේසිංහ මහතාගේ ඡායාරූපයෙන් මා දැක ගත්තේ පින්බර මුහුණක් සහිත සුදු මේස් බැනියමක් ඇඳි බොහෝ ඇසූ පිරූකම් ඇති ගැමියකුගේ රූපකායකි. ඔහු තම ලියන මේසයේ ඇති බූමි තෙල් ලාම්පුවකින් යමක් ලියයි. පසුබිමේ ඇත්තේ ඔහුගේ පුස්තකාලයේ පොත පත ය. එවකට ඔහු ඇසූ එක් වියට පිවිස තිබුණි. ‘මිනිස් ජීවිතය බොහෝ කොට කාව්‍යයක් බඳු ය” යන සුප්‍රකට චින්තක ලින් සුතදංගේ කියමනකට විජේසිංහ සමාන කරන පියසේන වික්‍රමගේ ‘ඔහු පුරාවෘත්තයක් බඳු’ යැයි පවසා තිබුණි.

පීටර් විජේසිංහයන් ගැන තොරතුරු හිඟය. ඔහු නමින් සැඟවී සිට කළ කී දෑ අනුව පුරාවෘත්තයකට සම කිරීම ඉතා සුදුසු ය. පවුලේ දරුවන් තිදෙනෙකි. වැඩිමහල් දියණිය කියන්නේ, ‘‍ඔහු කියා ඇත්තේ තමා ගොවියකු, ගැමියකු ලෙස හඳුන්වන ලෙසය. ඇය කියන්නේ ගැමියකු, ගොවියකුට වඩා, ගැමි සංස්කෘතිය හා ගොවිකම ගැන තාත්තා හසළ බුද්ධියක් ලැබූවේ කෙසේද යන්න තමාට විමතියක් ඇති කළ බව ය.

පීටර් විජේසිංහ මහතාගේ සොහොයුරිය වූ ලුසී පලිහවඩන මහත්මියගේ පුතා වූ මහින්ද පලිහවඩන මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු ශාස්ත්‍ර පීඨාධිපති මහාචාර්යවරයෙකි. මහාචාර්ය පලිහවඩන සංස්කෘත භාෂා පඬිවර‍යකි. මහාචාර්යවරයා තම මාමා ගැන කියන්නේ මේ කතාවය.

“පීටර් විජේසිංහ මහතා මගේ මෑණියන්ගේ එක් කුස උපන් බාල සොහොයුරා ය. එවකට තිස් හැවිරිදි වියේ සිටි පීටර් මාමා සාධකය සහිතව ජාතික ඇඳුම ඇඳ සෙරෙප්පු දමා අප නිවසට එනු මා දුටුවේ කුමාරයකුගේ පැමිණීමක් විලසිනි. සිය සොහොයුරිය සමඟ නෑදෑ හිතවතුන් පිළිබඳ ව දීර්ඝ සංවාදවල යෙදුණු මාමා කුඩා අපට “Grimm’s Fairy Tales” වැනි පොත්වල කතාන්තර කියා දෙමින් මහත් සතුටක් හා විනෝදයක් ලබා දුන්නේ ය.

කිසියම් කෙනෙකු මාමාට උදව්වක් කළා නම් එය ඔහුගේ සිතෙහි ගලේ කෙටූ අකුරක් මෙන් රැ‍ඳෙන්නේ ය. සිය පියාණන් වූ කඹුරුපිටියේ ගොඩෝකන්දේ රාළහාමිගේ අභාවයෙන් පසු ඇති වූ දුෂ්කර සමයෙහි මගේ මෑණියන්ගෙන් තමාට ලැබුණු සැනසීම ගැන ඉතා කෘතවේදී වූ මාමාට ඇයගේ දරුවකුට මනා අධ්‍යාපනයක් ලබාදීමට මහත් ඕනෑකමක් පැවතියේ ය. එක්තරා බුද්ධි පරීක්ෂණයකින් පසු මේ වරප්‍රසාදය සඳහා මාමා මා තෝ‍රා ගත්තේ ය. ඒ අනුව තම සිත් ගත් අධ්‍යාපනඥයකු වූ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා විදුහල්පති ධූරය දැරූ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට මා ඇතුළත් කිරීමට ය, මාමා තීරණය කර තිබුණේ. වර්ෂ 1947 දී මා ලංකා විශ්වවිද්‍යාලයේ බී.ඒ. උපාධිය ලබාගෙන රැකියාවකට යන තෙක් ම මාමා මේ භාරධූර කාර්ය සතුටින් ඉටුකර ගියේ ය.

මහාචාර්ය පලිහවඩන මහතා කියන ආකාරයට ඉතා කාරුණික කෙනකු වූ මාමා කිසි විටෙකත් මස් මාළු අනුභව කළේ නැති බවත්, ඔහුගේ ඉල්ලීම පිට තම මෑණියන් ද පවුලේ දරුවන් සියලු දෙනා නිර්මාංසාහාරික දිවි පෙවෙතට යොමු කර තිබූ බැවින් තමාට එය අමුත්තක් නොවූ බව ය. විජේසිංහ මහතාගේ අනෙක් සියලු ගති පැවතුම් ද හිංසකත්වයෙන් තොර හා සරල බවින් පිරිපුන් ඒවා වුවද, ඒ කිසිවක් අනුන්ට දැන්වීම ඔහු ‍රුචි නොවූ බවත් ඒ සියල්ල ඔහුට ස්වාභාවිකවූ අව්‍යාජ ගති පැවතුම් බවත් මහාචාර්යවරයා පවසා තිබූ අතර අදිකාරම් මහතා ඔහුට ප්‍රිය වූයේ මාමා තුළ ද මෙවැනි ගති ලක්ෂණ පැවති නිසා බව නිසැක බව කියයි. පීටර් විජේසිංහ මහතා පැරණි සිංහල ජීවිත පුවත් සහ පවුල් සබඳතා ශීර්ෂයෙන් ලියා ඇති ‘මනමාලකම’ නම් ලිපියෙන් සමාජ විද්‍යාත්මක පැත්තක් හෙළි වෙයි.

“මිනිහා නොමිනිහා හඳුනාගත නොහෙන හිමිදිරි වේලාව, හිරු රැස් චණ්ඩ වන මද්දහන් වේලාව, මළ හිරු පාත් වන ගොම්මන් වේලාව, රෙදි අඳින, උනන වේලාව, කෙහෙ බඳින කෙහෙ උනන වේලාව යන මේ වේලාවල් ද, දෙමංසල, තුන්මංසල සුසානය, හඬාබස්නා දිය ඇල්ල යන මේ අවදානම් තැන් ද යක්ෂ අමනුස්ස පිසාචරාදීන්ගේ නිරන්තර ඇහුම් බැලුම්වලට ගොදුරු වන දේ හැටියට පුරාණ සිංහලයා සැලකුවේ ය.

මළ හිරු බැස යන වේලාවෙහි නිශාචාරාදීහු සැරි සරති යැයි විශ්වාස කළ හෙයින් ගම් ගෙවල දරු දැරියෝ විශේෂයෙන් ම එවැනි නපුරු වේලාවල තනි තණ්ඩලේ බිතක්කනටවත් නො බැසීමට පරෙස්සම් ව‍ූහ.

දිනක් පිටිසර දනව් වැසි යෞවනියක් මොන යම් හේතුවක් නිසා දෝ කුඩුපිට්ටු ගඳ වහනය වෙමින් පැවති මළ හිරු බැස යන පිශාචර වේලායෙහි ගෙයින් බැහැර ව ලහි ලහියේ ගමනක යෙදී සිටියා ය‍. උස් වූ රන් වන් සිරුරින් යුතුව ළෙල දෙන පිරි පුන් තන කරඬු ඇති ව ගමන් ගත් මේ යුවතිය දුටු එක්තරා ඔදමත් යක්ෂයෙක් ඇය පසුපස ගමන් කරන්නට විය.

යක්ෂයා මඳ දුරක් ගමන් කොට ඇය හා කතාවට වැටීමට උත්සාහ කොට බැරි වූයේ, වචනයෙන් තබා ඇස් කොන් බැල්මකින් පවා සඟහ ලබන්නට බැරි වූයේ, නුරා සල්ලාල බසින් මෙසේ ඇය ඇමතුවේ ය.

රතට රතයි රන්වන් බඳ මට පෙනෙ න

උසට උසයි මහතයි හරියට තිබෙ න

බසට මගේ වදනක් දුන්නොත් සොඳි න‍

ළඳුනි කොහෙද නුඹ සිටිනා නවාතැ න

එකල සමාජයෙහි තරුණියක් සමඟ පෙම්බස් හුවමාරුවකට පැන්තොටේ දී ළි තොටේදී හෝ වෙලේ කොළ බැඳීමක දී හෝ යන්තමකට අවසරයක් ලැබුණ ද ඒ ඉතා විරල වශයෙනි.

එහෙත් තරුණියකට ඕනෑම වේලාවක තනියම වුව කාන්සියට කවුරුත් නැතිව විලිබය නැති ඇණවුමකින්, කෙළි කවට නුරා තෙපුලකින් හෝ ගැහැට නොවිඳ මහ මග නිර්භයව යා හැකිව තිබුණේ ය. ඒ හෙයින් බලාපොරොත්තු නොවූ පරිදි මේ ඇසූ නුසුදුසු නුරා වදනින් හිත හිරිකිත කරගත් ගැමි සුන්දරිය තමාගේ පිළිකුල ඔහුට මදකුදු නොහඟවා මෙසේ පාර කියා යන්නට ගියා ය.

උසට උසයි උස පොල් ගහ තිබෙන තැන

රතට රතයි ඵල ගින්දර පෙනෙන තැන

බසක් නැතිව ගොළු ළමයෙක් අඬන තැන

එතන තමයි මම සිටිනා නවා තැන

 

ගැමි සුන්දරියගේ රූප සුරාව තම නෙත් පූකුරුවෙන් බඩ පුරහම බී මන් මත්ව සිටි යක්ෂතෙම ඇය කියූ මං සලකුණු බලා නිසංසල රාත්‍රී යාමයෙහි මහත් වූ සොම්නසින් යුතුව එහි ගියේ ය. එහෙත් අවාසනාවක මහත ගම් දැරිය කී මං සලකුණු අනුව ඔහු ගියේ අලුත පැටවෙකු වදා සිටි දිවි දෙනකු වෙසෙන ගල් ලෙනකට ය. මේ මනමාල ගමනින් හේ දිවිදෙනට ගොදුරු විය.

“බසක් නැතිව ගොළු ළමයෙක් අඬන තැන” යනුවෙන් මෙහි සඳහන් වෙනුයේ දිවිදෙනගේ පැටවා ය.

“ඌවේ ජනකවි” නම් විජේසිංහ මහතා ලියූ කෘතියේ ඌව ඉතිහාසය දැක්වේ.

“දැනට ඌව නමින් පවත්නා දේශය පාලි මහ වංශයෙහි දැක්වෙන්නේ ‘හූවවට්ඨ (හුවරට) යනුවෙනි. මෙය රුහුණු මහ රටේම කොටසක් ලෙස පැවැත්තේ ය. ‘හූව’ යන නාමයේ සම්භවය පිළිබඳ මත රැසක් ඇතත් අවුරුද්දේ එක් කාලයක් තුළ මේ ප්‍රදේශය මැදින් හමා යන චණ්ඩ මාරුතයක් කරණ කොට ඇතිවන හූ හඬ නිසා මේ නම ඇතිවී යැයි විශ්වාස කරනු ලැබේ.

උසින් සිය දහස් ගණනට ද බෝ වේ‍

එමෙන් පහත රටටත් සුපිහිටි යා වේ

තදින් එන සුළං හඬ සලකා හූ වේ

පෙදෙන් නම යෙදුණ බව පවසත් ඌ වේ

ලංකාවේ පළාත් අතරින් උස් වූ භූමි ඛණ්ඩයක සුවිසල් කඳු වැටි අතරින් ‘හූ’ යන අනුකරණයෙන් පීරා ගෙන එන සැඩ සුළං නිසා ‘හූව’ නොහොත් ‘ඌව’ යයි මේ පෙදෙසට නම් වැටුණු සැටි ජනකවියා මෙසේ තමන්ට හුරු පුරුදු සරල බසින් අපට පහදා දෙයි.

පීටර් විජේසිංහ මහතා ජීවිතයේ අසූ එක් විය ඉක්මවා සිටියදී හදිසි හෘදයාබාධයකින් දරුණු ලෙස වේදනා විඳිමින් සිටියදීත්, තම පියා 1986 පෙබරවාරි 13 වැනි දින ජීවිතය හැර ගියේ ද, තෙරුවන් නමැද අවසන් සිල් පදයේ හඬ වා තලයට මුසුවීමත් සමඟ බව දියණිය භද්‍රා ඉන්ද්‍රාණි පැවසුවාය.

තම පියාගේ අත් පිටපත් සංරක්ෂණය කරන ඇය පියා ලියූ පොත් සංස්කරණය කරමින් පීටර් විජේසිංහ නාමය ජීවත් කරන්නීය. උපාධිධාරිනියක් වූ ඇය නවකතා කතුවරියක් වෙයි. J. Penry Lewis ගේ List of Inscriptions on Tombstones and Monuments in Ceylon කෘතිය ඇය විසින් “ලංකාවේ සොහොන් ස්තම්භ හා ස්මාරක” නමින් පරිවර්තනය කළ අතර “ඉක්බිති ඒ මාලිකාවෝ” නවකතාව ද ලියා නිර්මාණ සාහිත්‍යයට එක් වූවාය. භද්‍රා ඉන්ද්‍රාණි විවාහ වූයේ හිටපු විභාග කොමසාරිස්වරයකු වන ඒ.එම්.ආර්.බී. අමරකෝන් මහතා සමඟය.‍

අම‍රකෝන් මහතා ලේක්හවුස්හි හිටපු ප්‍රධාන පරිපාලන නිලධාරි (කර්තෘ මණ්ඩල) හා පරිවර්තන කෘති ලියූ සරත් අමරකෝන් මහතාගේ වැඩිමහල් සොහොයුරා ය.

 

ඡායාරූප පිටපත් කිරීම

- ලාල් සෙනරත්

Comments