
එක්දින ජගත් තරගමාලාවකට සහභාගි වීම සඳහා බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. එහිදී බංග්ලාදේශ නව නායකයා ලෙසට ක්‍රියා කරන්නේ 30 හැවිරිදි තමිම් ඉක්බාල්ය. තමිම් වමත් ආරම්භක පිතිකරුවෙකි.
මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ නායකත්වය දරනු ලැබුවේ මෂ්රෆි මෝර්ටසා විසිනි. එහෙත් මෂ්රෆි (උපත 1983 ඔක්තෝබර් 05) ආබාධයක් නිසා ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන්නේ නැත. එමෙන්ම ඔවුන්ගේ සුපිරිතම ක්‍රීඩකයා වන ශකිබ් අල් හසන් ද මෙම සංචාරයට සහභාගි නොවේ. ඔහුට විවේකයක් ලබා දීමට එරටේ තේරීම් කමිටුව විසින් ද තීරණය කරන බැවිනි.
මෙවැනි හේතු නිසා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයකු ලෙසට තමිම්ට නායකත්වයේ වගකීම පවරන ලදි. ඔහු මීට පෙර ටෙස්ට් තරගයකදී බංග්ලාදේශ නායකත්වය දැරීය. ඒ 2017 වසරේදී නවසීලන්තයට එරෙහිවයි. කෙසේ වෙතත් ඔහු 2010 – 11 තරග වාරයේදී උපනායකයා වූයේය.
“ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන මෙම තරගමාලාව බංග්ලාදේශයට ඉතා වැදගත්. අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිප දෙනකුම ආබාධ සහ වෙනත් හේතු නිසා ආවේ නැහැ. මෙය අභියෝගාත්මක තරගමාලාවක්. ශ්‍රී ලංකාව සිය රටේදී ඉතා ශක්තිමත් කණ්ඩායමක්. ඒ වුණත් අතීතයේදි අප හොඳට ක්‍රීඩා කරලා තිබෙනවා. ඒ නිසාම මෙවරත් එය කරන්න පුළුවන්.” තමිම් තරගමාලාව ඇරැඹීමට පෙර පැවසීය.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අන්තර්ජාතික මට්ටමින් ක්‍රිකට් තරගමාලාවකට සහභාගී වීමට මෙරටට පැමිණි ටෙස්ට් වරම් සහිත ප්‍රථම කණ්ඩායම වන්නේත් මෙම බංග්ලාදේශයයි. ඔවුනට සපයා තිබෙන ආරක්ෂාව ගැනත් බංග්ලාදේශ නායකයා සෑහීමට පත් වී සිටියි. “අපිට ඉතාම ඉහළ මට්ටමින් ආරක්ෂාවක් සපයා තිබෙනවා.” තමිම් වැඩිදුරටත් පැවසුවේය.
මෙම වසර මුලදී නවසීලන්ත තරග සංචාරය අතරමැද දී අවලංගු කිරීමට බංග්ලාදේශයට සිදු වූයේය. ඒ ක්‍රයිස්ට්චර්ච් නුවර පිහිටි මුස්ලිම් පල්ලිවලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙනි. එහිදී තමිම් ප්‍රමුඛ බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ජීවිත බේරුණේ අනූනවයෙනි.
මෙවර ශ්‍රී ලංකා සංචාරයට පෙර බංග්ලාදේශය අවසන් වරට සහභාගී වූයේ එංගලන්තයේ සහ වේල්සයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියටයි. එහිදී දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වුයේය. ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට තිබූ තරගය වර්ෂාව නිසා අවලංගු විය.
මෙවර ලෝක කුසලාන තරගාවලිය පෞද්ගලිකව ගත් විට තමිම් ඉක්බාල්ට එතරම්ම සාර්ථක වූයේ නැත. ඔහුට ඉනිම් 08 කදී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 235ක් පමණකි. එහි සාමාන්‍යය 29.37කි. එහිදී වැඩිම ලකුණු සංඛ්‍යාව 62කි. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිවය. තමිම් දස්කම් අතර නොසිටීම බංග්ලාදේශයේ ලෝක කුසලාන ගමන කෙටි වීමට බලපෑවේය. ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවෙකි. එය ටෙස්ට්, එක්දින හෝ 20-20 තරග වූවත් වෙනස් වන්නේ නැත.
බොහෝ විට ක්‍රිකට් විචාරකයන් සහ ක්‍රිකට් ලෝලීන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව ගැන එකඟ වන පොදු මතයක් ඇත. එනම් එරටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය මේ වන විට ගත කරමින් සිටින බවයි. ඒ ගැන පුදුම වීමට දෙයකුත් නැත. එනම් එරටේ ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම නායකයා, පිතිකරුවා, පන්දු යවන්නා, කඩුලු රකින්නා සහ තුන් ඉරියව් ශූරයා සමකාලීනව වත්මනදී ක්‍රීඩා කරන බැවිනි. මේ අනුව නායකයා සහ පන්දු යවන්නා වන්නේ මෂ්රෆි මෝර්ටසාය. කඩුලු රකින්නා වන්නේ මුෂ්ෆිකර් රහීම්ය. තුන් ඉරියව් ක්‍රීඩකයා ශකිබ් අල් හසන්ය. පිතිකරුවා තමිම් ඉක්බාල්ය.
තමිම් සතුව බංග්ලාදේශ ජාතික වාර්තා කිහිපයක්ම ඇත. එරට වෙනුවෙන් ජගත් (ටෙස්ට්, එක්දින සහ 20-20 ) ලකුණු 10,000 ඉක්ම වූ ප්‍රථමයා ය. ටෙස්ට් ලකුණු 1000 අඩුම ඉනිම් ගණනකදී (19) වාර්තා කළ බංග්ලාදේශ පිතිකරුවාය. එමෙන්ම ටෙස්ට් ලකුණු 1000 රැස් කළ ළාබාලතම ලොව තෙවැනි පිතිකරුවාය. ඔහුට ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවේ සචින් තෙන්දුල්කාර් සහ බංග්ලාදේශයේම මොහොමඩ් අශ්රෆුල්ය.
එංගලන්ත ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කළ දෙවැනි බංග්ලාදේශ ක්‍රීඩකයාය. මෙහි මුල් තැන ශකිබ් අල් හසන්ටය.
ටෙස්ට්, එක්දින සහ 20-20 තරගවලදී ශතක රැස් කළ ප්‍රථම සහ එකම බංග්ලාදේශ පිතිකරුවාය. එරටේ වැඩිම ටෙස්ට්, එක්දින සහ 20-20 ජගත් ලකුණුලාභියාය. එමෙන්ම එරටේ වැඩිම ජගත් ශතකලාභියාය. 20-20 ජගත් තරගවලදී ලකුණු 1000 රැස් කළ ප්‍රථම බංග්ලාදේශ පිතිකරුවාය. එමෙන්ම එරට වෙනුවෙන් ටෙස්ට් ලකුණු 3000 සහ එක්දින ජගත් ලකුණු 5000 රැස් කළ දෙවැනියාය. තමිම් සිය 200 වැනි එක්දින ජගත් තරගයට සහභාගී වූයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදීය. එක්දින ජගත් ලකුණු 6000 ක් රැස් කළ ප්‍රථම බංග්ලාදේශ පිතිකරුවාය. එක් ක්‍රීඩාංගණයකදී එක්දින ජගත් ලකුණු වැඩිම ගණනක් රැස් කළ පිතිකරුවාගේ ලෝක වාර්තාවත් තමිම් සතුය.
හෙතෙම 2007 -18 අතර කාලයේදී ඩකා, මිර්පුර් හි පිහිටි ෂියර් බංග්ලා ජාතික ක්‍රීඩාගණයේදී එක්දින ජගත් ලකුණු 2619 ක් රැස් කිරීමට සමත් වී සිටියි. ඒ ඉනිම් 77 ක දීය. ඊට ශතක 05 කි. අර්ධ ශතක 17කි.
තමිම් විසින් බිඳ හෙළනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය සතුව තිබූ වාර්තාවයි. සනත් ද ප්‍රහාරාත්මක වමත් පිතිකරුවෙකි. සනත් 1992 – 2009 අතර කාලයේදී කොළඹ, ඛෙත්තාරාම, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එක්දින ජගත් ලකුණු 2514ක් රැස් කර තිබුණේය. ඒ ඉනිම් 70 කදීය.
ක්‍රිකට් පවුලක්
තමිම් ඉක්බාල් ඛාන් 1989 වසරේ මාර්තු මස 20 වැනිදා උපත ලැබීය. ඒ වරාය ආශ්‍රිත නගරයක් වන චිතගොංහීදීය. වමත් පිතිහරඹයට අමතරව දකුණතින් පිට දඟ පන්දු යැවීමටත් ඔහුට හැකියාවක් ඇත. ඔහුගේ උස අඩි 5 අඟල් 10 කි.
ඔහුගේ මවුපියන් වනුයේ ඉක්බාල් ඛාන් සහ නුස්රාට්ය. සොහොයුරිය උරුෂාය. සොහොයුරා නෆීස් ඉක්බාල්ය. ඔහුගේ පියා ඉක්බාල් සිය පුතුන් වෙනුවෙන් කුඩා ක්‍රිකට් තරගමාලා සංවිධානය කළේය. එමඟින් ඔහු බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ ක්‍රිකට් දක්ෂතා වැඩි දියුණු කිරීමටයි. එය සාර්ථක වූයේය. ඒ මෙම අයියා මලෝ දෙදෙනාම සිය රට නියෝජනය කරමින් අන්තර්ජාතිකව ක්‍රිකට් ක්‍රීඩා කිරීම නිසාය.
නෆීස් ඉක්බාල් (උපත 1985 ඔක්තෝබර් 31) දකුණත් පිතිකරුවෙකි. තවද දකුණතින් මද වේග පන්දු යැවීය. හෙතෙම 2003 -06 දක්වා බංග්ලාදේශය වෙනුවෙන් තරග කළේය. එහිදී ටෙස්ට් තරග 11, ලකුණු 518, වැඩිම 121, ශතක 01, අර්ධ ශතක 02, උඩපන්දු 02කි. එක්දින ජගත් තරග 16, ලකුණු 309, වැඩිම 58, අර්ධ ශතක 02, උඩපන්දු 02කි.
ඉක්බාල් සොහොයුරන්ගේ මාමා වූයේ අක්රම් ඛාන්ය. ඔහු (උපත 1968 නොවැම්බර් 01) දකුණත් පිතිකරුවෙකි. දකුණතින් මද වේග පන්දු යැවීය. ඔහු බංග්ලාදේශ එක්දින නායකයෙකි. 1998 – 03 දක්වා ක්‍රීඩා කළේය. ඊට ටෙස්ට් තරග 08, ලකුණු 259, වැඩිම 44, උඩපන්දු 03කි. එක්දින ජගත් තරග 44, ලකුණු 976, වැඩිම 65, අර්ධ ශතක 05, උඩපන්දු 08කි.
“තමිම් තමයි වඩා දක්ෂයා. ඔහුට අවුරුදු 12 හෝ 13 දී විතර ඉනිමකදී ලකුණු 148 ක් රැස් කළා. එහි පුදුමය තමයි තමිම්ගේ කණ්ඩායමට තරගය ජය ගැනීමට අවශ්‍ය වී තිබුණු ලකුණු ගණන වූයේ 150 ක් වීමයි.” මෙසේ තමිම්ගේ ක්‍රිකට් දිවියේ අපූරු දස්කමක් ගැන හෙළි කළේ වැඩිමහල් සොහොයුරු නෆීස්ය.
පසු කලෙක අන්තර්ජාතිකව සුපිරි ක්‍රිකට් තරු බවට පත් වූ බොහෝ ක්‍රීඩකයන් සහභාගී වූ මුල්ම ජගත් තරගාවලිය බවට පත් වූයේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියයි.
තමිම් ද මෙම අත්දැකීම ලැබීය. ඒ 2006 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරමිනි. මෙයට සහභාගී වූ බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම පසුව අන්තර්ජාතික තරග වරම් ලැබූහ. ඊට නායක මුෂ්ෆිකර් රහීම්, මෙහ්රාබ් හොසෙයින්, ඩොලර් මහ්මුද්, කම්රුල් ඉස්ලාම්, රකිබුල් හසන්, ශකිබ් අල් හසන්, ෂම්සුර් රහ්මාන්, සුහ්රාවාඩි ෂුවෝ සහ තමිම් අයත් වෙති.
2006 වසරේදීම තමිම්ට වසරක කාලයක් සඳහා සී ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුවක් ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේය. ඒ ඔහුගේ හැකියාව ඔවුහු හොඳින්ම හඳුනාගෙන සිටිය නිසාය.
තවත් මාස කිහිපයක් ගත විය. තමිම් අන්තර්ජාතික තරග වරම් ලැබීය. එතැන් සිට මේ දක්වාම සාර්ථකව සිය රට වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට ඔහුට හැකි වී තිබේ. ටෙස්ට් තරග 58, ලකුණු 4327, වැඩිම 206, ශතක 09, අර්ධ ශතක 27, උඩපන්දු 14
එක්දින ජගත් තරග 201, ලකුණු 6871, වැඩිම 154, ශතක 11, අර්ධ ශතක 47, උඩපන්දු 52. මේ ශ්‍රී ලංකා තරග මාලාව ඇරැඹීමට පෙරය. 20-20 ජගත් තරග 75, ලකුණු 1613, වැඩිම නොදැවී 103, ශතක 01, අර්ධ ශතක 06, උඩපන්දු 18.
ටෙස්ට් ඉනිමක ඔහු රැස් කළ වැඩිම ලකුණු ගණන වනුයේ 206කි. ඊට විනාඩි 448 කි. පන්දු 278කි. 4 පහර 17කි. 6 පහර 7කි. එය ඔහු රැස් කළේ පාකිස්තානයට එරෙහිව කුල්නාහී ෂෙයික් අබු නාසෙර් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයේ දෙවන ඉනිමේදීය. මේ තරගය 2015 වසරේ අප්‍රේල් 28 සිට මැයි 02 දක්වා පැවැත්වීය. තරගයට ජය පරාජයක් නැත. තරගයේ වීරයා වූයේත් ඔහුමයි.
ශ්‍රී ලංකාවට එරෙහිව තමිම්ට තවමත් ටෙස්ට් ශතකයක් නැත. ඉනිමක වැඩිම ලකුණු ගණන 82කි. එය ජයග්‍රාහී ඉනිමකි. 2017 වසරේ මාර්තු 15 සිට 19 දක්වා දෙරට අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්වූයේ කොළඹ පි. සරා ඕවල් ක්‍රීඩාංගණයේදීය. තරගයෙන් ජය ගැනීමට බංග්ලාදේශයට දෙවන ඉනිමේදී ලකුණු 191 ක් රැස් කර ගත යුතු විය. තමිම්ගේ අගනා පිතිහරඹය නිසාම කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට ඔවුනට හැකි වුහ. ප්‍රථම ඉනිමේදීත් තමිම් ලකුණු 49ක් රැස් කර ගෙන තිබිණි. ඒ නිසාම ඔහු තරගයේ වීරයාත් විය.
එක්දින ජගත් තරගයකදී ඔහු රැස් කළ වැඩිම ලකුණු ගණන 154කි. ඊට පන්දු 138, 4 පහර 7, 6 පහර 6කි. මේ තරගය 2009 වසරේ අගෝස්තු මස 16 වැනි දා පැවැත්වූයේ සිම්බාබ්බේට එරෙහිව බුලවායෝ නුවර කුවීන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදීය. තරගයෙන් ජය ගැනීමට බංග්ලාදේශයට ලකුණු 312 ක ඉලක්කයක් ලැබී තිබිණි. තමිම්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා කඩුලු 04ක ජයක් හිමිවිය. තරගයේ සම වීරයාත් තමීම්ය.
මෙවර ශ්‍රී ලංකා තරගමාලාව ඇරඹීමට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ජගත් තරගයකදී තමිම් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු ගණන වන්නේ 127කි. ඒ 2017 වසරේ මාර්තු 25 වැනි දා රංගිරි දඹුල්ල ජගත් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයේදීය. එම ඉනිමට පන්දු 142කි. 4 පහර 15කි. 6 පහරකි. තරගයෙන් ලකුණු 90 ක ජය බංග්ලාදේශයටයි. තමිම් තරගයේ වීරයාය.
20-20 ජගත් තරගයකදී ඔහු රැස් කළ වැඩිම ලකුණු ගණන නොදැවී 103කි. ඊට පන්දු 63කි. 4 පහර 10කි. 6 පහර 5කි. ඕමානයට එරෙහිව මෙම තරගය පැවැත්වුයේ ඉන්දියාවේ දරම්ශාලා නුවර හිමාචාල් ප්‍රදේශ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදීය. ඒ 2016 වසරේ මාර්තු මස 13 වැනිදාය. ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව බංග්ලාදේශයට තරගයෙන් ලකුණු 54ක ජයකි. තමිම් තරගයේ වීරයාය.
ශ්‍රී ලංකාවට එරෙහිව ඔහුගේ 20-20 වැඩිම තරග ලකුණු ගණන 50කි. ඊට පන්දු 42කි. 4පහර 4කි. 6 පහර 2කි. ඒ 2018 වසරේ මාර්තු 16 වැනිදා ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ 06 වැනි තරගයේදීය. එහිදී බංග්ලාදේශයට කඩුලු 02ක ජයකි. ගත වූ කාලයේදී තමිම් ක්‍රීඩා කර ඇති ලෝක කුසලාන තරගාවලි ගණන 10කි. ඒ පන්දු ඕවර 50 හෙවත් එක්දින 2007, 11, 15 සහ 19 තරගාවලියන්ට ය. එමෙන්ම 20-20 ලෝක කුසලාන 2007,09,10,12, 14 සහ 16 තරගාවලියන්ටය.
තමිම් මේ වන විට අන්තර්ජාතික අත්දැකීම් රැසක්ම සහිත ක්‍රීඩකයෙකි. ඒ විවිධ රටවල කණ්ඩායම්වලට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම නිසාය. බංග්ලාදේශ ඒ, චිතගොං කොට්ඨාසය, චිතගොං කිංග්ස්, ඩුරොන්ටෝ රාජ්ෂාහි, චිතගොං වයිකිංග්ස් (බංග්ලාදේශය), පුනේ වොරියරිස් (ඉන්දියාව), නොටිංහැම්ෂයර්, එසෙක්ස් (එංගලන්තය), වෙලිංග්ටන් (නවසීලන්තය), කොමිලා වික්ටෝරියන්ස් (බංග්ලාදේශය), වයඹ යුනයිටඩ් (ශ්‍රී ලංකාව), ශාන්ත ලුෂියා ෂුක්ස් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්), පෙෂවාර් ෂල්මි (පාකිස්තානය), ස්පින් ගාර් ටයිගර්ස්, නාන්ගාර්හාර් ලෙපර්ඩ්ස් (ඇෆ්ගනිස්තානය), අයි. සී.සී. ලෝක XI, ආසියානු XI තමිම් මේ දක්වා ක්‍රීඩා කළ කණ්ඩායම්ය.
තමිම් පැහැදිලිවම බංග්ලාදේශයේ ජාතික ක්‍රීඩා වීරයෙකි. ඔහුට දැන් වගකීමත් වැඩිය. ඒ හෙතෙම එක්දරු පියකු නිසාය. 2013 වසරේදී ඔහු විවාහ වූයේ අයේෂා සිදිකා සමඟිනි. ඔවුන්ගේ පුතු ආර්හාම් මෙලොව එළිය දුටුවේ 2016 වසරේදීය. තමිම් සහ සිදිකාගේ විවාහ උත්සවයට 1991 -96 සහ 2001 – 06 අතර බංග්ලාදේශ අගමැතිනිය වූ කාලිඩා ෂියා මහත්මියත් සහභාගී වුවාය.
ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව තමිම්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන්නේ පාපන්දුය. එම ක්‍රීඩාවේ සුපිරිතම ආර්ජන්ටිනා තරු යුගලය වන දියාගෝ මැරඩෝනා සහ ලියොෙනල් මෙසි ඔහුගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයෝය. තමිම්ගේ ප්‍රියතම පිතිකරුවා සහ පන්දු යවන්නා ආසියාතික රටවල වීම විශේෂත්වයකි. ප්‍රියතම පිතිකරුවා ශ්‍රී ලංකාවේ සනත් ජයසුරියයි. පන්දු යවන්නා පාකිස්තානයේ ෂහිඩ් අෆ්රිඩිය. එනයින් රටක් ලෙස අප අන්තර්ජාතිකව අවදානමකට මුහුණ දී සිට ඉන් ගොඩ එමින් සිටින මේ මොහොතේ ශ්‍රී ලංකා භූමියට පා තැබූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද සිය දෙවන තරගයට සහභාගී වේ.











