
වෙනදාට වඩා වැඩි ගෝරනාඩුවක් වැව් පිටිය දෙසින් ඇසෙන්නට පටන් ගෙන හෝරාවක් දෙකක් ගත වී ඇත. සවස් වෙද්දී එකා පසු පස එකා බැගින් එකසිය පනහක් දෙසීයක් පමණ වන වනඅලි රංචු වැව් පිටියට පැමිණ නිහඬවම තණ පත් බුදීම මේ දිනවල සුලභ දසුනකි. ඒ අතරේ රැළෙන් කිහිපදෙනෙක් වැව දෙසට ඇදෙන්නේ වතුර පොදක් බොනු රිසියෙනි. එසැණින් ජලයෙන් නික්ම වැව් පිටිය වෙත ඇදී එන්නේ තණ කොළ කෑමටය. ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙද්දී එසේ අඩු වන වපසරියේ ඇති තෙතැති පසේ දියසීරාවට අලුත් තණපත් මෝදුවේ. සවස් කරේ වට වැහි අල්ලක් දෙකක් නිසා තණ පිටියේ මෝදු වන ළා තණ පත් අලින්ට මේ දිනවල රස බොජුනකි. වනයේ විවිධ ඉසව්වල සිට වැව් පිටිය කරා ඇදී එන වන අලි රංචුවලට සැරිසැරීමට මින්නේරිය ජලාශ පිටියේ ඕනෑවටත් වඩා ඉඩකඩය.
සුපුරුදු දින චර්යාව එසේ වුවත් අද නම් වන අලි රැලේ කිසියම් වෙනසක් දක්නට ලැබීම අප කාගේත් සිත්හි ඇති කළේ කුකුසකි. වනයේ සිට පිටියට එන වනඅලි ද වැව් පිටියේ විසිරී සිටින සෙසු සාමාජිකයින් වෙතට යති. සියලු වනඅලින් කවාකාරව රැළ මැදට වී සිටි ඇතින්නක වෙත ආරක්ෂාව සපයන්නාක් මෙන් පෙනේ. කිසි විටෙක හෝ රැළේ මැද සිටින අලින් පිටතට නොපෙනී ආවරණය කරමින් සිටීමට උත්සාහ ගන්නා බවකි. මේ නම් කලාතුරකින් නිරීක්ෂණයට ලක්කිරීමට ලැබෙන වනඅලින් සතු දුර්ලභ චර්යාවකි. ඇතින්නකට දරු ප්‍රසූතියකදී, අලියකු හෝ පැටවකු තුවාල ලැබ අසරණ වූ විටෙකදී හෝ පැටවුන් බාහිර අනතුරකින් ආරක්ෂා කිරීමට මෙන්ම මරණයකදී මෙවැනි හැසිරීම් වනඅලින් අතරින් දක්නට ලැබේ. මෙවැනි අවස්ථා යනු වන අලින් දුකෙන් සහ කෝපයෙන් සිටිනා අවස්ථා ලෙසද හැඳින්විය හැකිය.
අලි විලාප
වනඅලි රංචුවේ මැදට වෙන්නට සිටින අලියකුගේ ගෝරනාඩුවක් ඔය අතරේ නැඟී ආවේ මේ වනඅලි රැළේ සාමාජිකයකුට මොනයම් හෝ විපත්තියක් සිදුව ඇති බවක් අප සිත්හි ජනිත කරවමින්ය. ඔය අතරේ කවාකාරව එක්ව සිටි වන අලින් කෙමෙන් ඈත්මෑත් වන්නට විය. ඒ අතරේ එක දිගට ගෝරනාඩු කරමින් කවය මැදට වන්නට සිටි අලියකු පිටතට පැමිණියේ තවත් මහ හඬින් ගෝරනාඩු නගමින්ය. ඒ හඬේ ඇත්තේ කිසියම් වේදනාවකි. විලාපයකි. පිටතට පැමිණියේ ඇතින්නකි. ඇයගේ පැමීණීමත් සමඟ කවය මැදට වන්නට සිටි අනෙක් වනඅලිද එකා දෙන්නා බැගින් ඉවතට ඇදී ආහ. දැන් වනඅලින්ගේ විසල් උදර හා වංගෙඩි පා අතරින් මැද හොඳින් පෙනේ. අලි කවයේ මැදට වන්නට පුංචි අලි පැටවෙක් වැතිර හිඳී. හේ නිසොල්මන්ය. මේ පුංචි අලි පැටවා අසලට දිව යන ලොකු අලියා නොවැරදීවම මවු ඇතින්න විය යුතුය. සෙසු අලි දිගු සොඬවැල්වලින් පුංචි අලි පැටවා වැතිර සිටින දෙසට යන මවු ඇතින්නගේ හිසත් සොඬත් ස්පර්ශ කරන්නේ ඇගේ සිත සනසන්නට මෙනි. ඒ සියලු අස්වසාලීම් මැද ඇගෙන් දිස් වන්නේ කලබලකාරී හැසිරීමකි.
පිටත සිට මේ වනඅලි හැසිරීම් දෙස බලා සිටින අපට සිතෙන්නේ අලි පැටවා කිසියම් විපත්තියකට මුහුණ පා ඇති බවත් මවු ඇතින්න මේ හදිසි විපතේ දුකින් පීඩාවට පත්ව කෑ මොර ගසනා බවකි. අලි මව සහ පැටවාට විපතක් බව දැනගත් අලි රැළ දෛනික හුරු පුරුදු අතහැර ඔවුන් දෙදෙනා සමීපයේ පසු වන්නේ දුක බෙදා ගැනීමට මෙනි.
වනඅලි රංචුව මැද වැතිර ගත්වනම පසුවූ වනඅලි පැටවා දෙසට ළංවූ මවු ඇතින්න යැයි සිතිය හැකි ඇතින්න තම ඉදිරි පාදයෙන් සියුම් ලෙස පැටවා සොලවන්නට වූයේ වැතිර ගත් පැටවා අවදි කරන්නට මෙනි. නමුත් පැටියා නිසොල්මනේම වැතිර ගත් වනමය. පෙනෙන හැටියට නම් මේ පැටවා ගැඹුරු නින්දක සිටින්නා සේය. මීළඟට හැඩිදැඩි ඇතින්නක් ඔවුන් දෙදෙනා අසලට ගොස් වැතිර සිටින පැටවා සොඬඟින් ඉව කරන්නට වූවාය. ඇය ළයෙහි සිර කර ගත් මහා සුසුම් පොදක් පැටවා දෙසට පිඹ හැරියේ යම් බලාපොරොත්තුවක් ඇතිව විය යුතුය. නමුත් අලි පැටවාගේ බාහිර රෝමකූප එම සුළඟින් සැලෙනු මිස අලි පැටවා වැතිර සිටි ඉරියව්වනම් වෙනස් නොවීය. ඒ බව වටහා ගත් වැඩිහිටි ඇතින්න සියුම් කුංචනාදයක් නඟා තම සොඬ මවු ඇතින්නගේ බඳ වටා යවමින් තමන් වෙත ළං කර ගත්තේ සිදුව ඇති දේ මේ ළාබාල මවට පහදා දෙන්නාක් මෙනි.
මිනිස් කුයිල ඉව වැටී
විපතට පත් අලිමවගේ ශෝකීරාවය වන අලින්ගේ කෑ මොරදීම් අතරේ වුවද පැහැදිලිව අවබෝධ කර ගත හැකිය. මේ නම් නිදා ගෙන සිටිනා පැටවා අවදි කර ගත නොහී කෑ මොර ගසනා මවකගේ කෑ මොරයක් නොවන බව වනයේ කල්ගත කරන කෙනකුට නොරහසකි. ඒ පිළිබඳ විපරම් කර බැලිය යුතුමය. වනසතුන් විපතට පත් වූ කල ඒ ගැන සොයා බලා පිහිටවීම වනජීවී සංරක්ෂණ නිලධාරීන් සතු වගකීමකි. එවැනි අවස්ථාවන්හීදී ඔවුන් තම ජිවිත පවා පරදුවට තබමින් රුදුරු වනසතුන් අභිමුවට ගොස් විපතට පත් සතුන් ගැන සොයා බලමින් පිහිට වන්නේ තමන්ගෙන් ඉටු විය යුතු වගකීමක් හා යුතුකමක් සේ සිතමිනි. එවැනි රාජකාරිවලදී දිවියෙන් පවා සමුගත් වනජීවී නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි බවද සිහිපත් කරන්නේ ඔවුන්ට කෘතගුණ දැක්විමක් වශයෙනි.
මින්නේරිය ජාතික උද්‍යානයට අනුයුක්තව සේවයේ නියුතු වනජීවී සංරක්ෂණ නිලධාරීන් ද මේ මොහොතේ සූදානම් වන්නේ මේ නිසොල්මනේ පසුවන වනඅලි පැටවා පිළිබඳ විපරම් කර බැලීමටය. විවෘත තණ පිටියක එවැන්නක් කිරීම ද අපහසුය. මන්ද යත් සුළං හමනා දිශාව ද නිශ්චිත වන්නේ නැත. මෙතෙක් අලි රැළ සිටි පැත්තේ සිට වනජීවී නිලධාරීන් සිටි දෙසට හමා ගිය සුළං, එක්වරම අනෙක් පසට ගමන් කරන බව වැටහුණේ මිනිස් කුයිලය දැනී වන අලින් යළිත් අලි පුංචා වටකරගත් නිසාය. දැන් නම් අලි පැටවා තබා මවු ඇතින්නවත් නොපෙනේ. වනඅලි රැළේ නායකත්වය හිමි වන්නේ පරිණත ඇතින්නකටය. ඈ මුළු රැළම මෙහෙයවන්නීය. වටේට සිටින්නේ හයිකාර ඇතින්නන් බවනම් ඒකාන්තය. ඇතින්නියෝ දිඟු සොඬ ඇන්ටෙනා මෙන් ඉහළට ඔසවමින් සුළං පහර ඉව කරමින් මිනිස් කුයිල ඉව කරති.
වනඅලින් සිටින විවෘත තණ පිටිය දෙස වනයේ ගස් අතරේ සිට කොතෙක් වෙලා බලා සිටියත් මේ අලිපවුරේ නම් සෙලවීමක්වත් නැත. එහෙත් සුළං හමනා අත කෙසේ වුව විපතට පත් අලි පැටවාට පිහිටවීමටනම් එතැනට ළංවිය යුතුය. අප වනඅලින් සිටින දෙසට ළං වත්ම රැළේ සාමාජිකයින් අතරේ යම් නොසන්සුන් තාවක් ඇති විය. රැළ මැද්දේ සිටින මවු ඇතින්නියගෙන් වඩාත් ප්රකෝපකාරී හැසිරීමක් පෙනේ. ඇතින්න මහා හඬින් කුංච නාද කරමින් අලි කවයෙන් ඉදිරියට දිව ආවේ ප්‍රහාරයකට මෙනි. ඇගෙන් පළවන්නේ භයංකර ලීලාවෙනි. නගුට රිටක් මෙන් උඩට දික් කරගෙන සොඬ අග මුවේ රුවා ගෙන විසල් උදරය පුම්බා ගත් ඈ දකිද්දී සිතුණේ මිනිස් කුයිල දැනුණු දෙසට දුවවිත් මේ දැන් ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි කියාය. නමුත් සිදු වුයේ නොසිතූ දෙයකි. මදක් ඉදිරියට දිව ආ ඇතින්න හිටිවනම නතර වූවාය. ආපසු හැරුණු ඇය එක් වරම අලි කවය මැදට යළි දිව ගොස් බිමට පාත් වෙන අන්දම අප බලා සිටියේ පුදුමයෙනි. නමුත් එතැනින් පසුව සිදු වන්නේ කුමක්දැයි අපට නොපෙනේ. සෙසු වන අලි යළිත් වරක් ඈ වටකර ගත්හ.
ප්‍රෙකා්පකාරී වූ ඇතින්න
මද වේලාවක් රැඳී සිටිද්දී නායක ඇතින්න නැඟූ කුංචනා හඬට අවනත වෙමින් පිටත කවයේ වන අලි කීපදෙනෙකු එහාමෙහාවෙත්ම ඒ හිඩැසින් දුටුදෙයින් මෙපමණ වේලාවක් අලි රැළේ හැසිරීම් දෙස අවධානයෙන් බලා සිටි අපි සැවොම මවිත වීමු. මව් ඇතින්න සොඬෙන් ඔසවා ගත් යම් දෙයක් පරිස්සමෙන් ඔසවා ගෙන ඉදිරියට පැමිණෙමින් සිටින්නීය. පෙර තිබූ ආවේගකාරී බව වෙනුවට ඈ වෙතින් ප්‍රදර්ශනය වන්නේ පරාජිත ස්වරූපයකි. හීන් හඬින් කැඩුණු ඉකියක් නඟමින්ම ඇය ඔසවා ගෙන ආයේ පුංචි පැටවාගේ සිරුරය. ඇතින්න සොඬින් පැටවා ඔසවා ගෙන සිටි ආකාරයෙන් පෙනුණේ ඒ පැටවා ජීවයෙන් තොර වූවකු බවය.
ඇතින්න තම සොඬෙන් පැටවාගේ නගුට තදින් ග්‍රහණය කර ගෙන ඔසවා ගෙන හිඳියි. පැටවාගේ කුඩා හිස පහතට වැටී ඇත. මවගේ ගමනට අනුව පැටවාගේ පුංචි සොඬ ඒ මේ අත සෙලවේ. පැටවා මිය ගොස් ඇතිවා නිසැකය. එසේ මිය ගොස් ඇත්තේ අලුත උපන් අලි පැටයෙකි. පැටවා මියගොස් සිටින බව දැන දැනත් ඇතින්න පැටවා අත නොහැර යන්නේ මවු සෙනෙහස නිසාය. පැටවා සුපුරුදු පරිදි තමන් අසල දැවටෙමින්, කිරි බුරුල්ලට හොඬ නොතබන බව දැන දැනත් ඇය තමන් යන සෑම තැනකටම මේ ආකාරයට පුංචි අලි පැටවා රැගෙන යන්නීය. ඇය ආහාර බුදිද්දීද පැටවා තම සිරුරුරේ ගෑවෙමින්ම තබා ගන්නීය.
ඇතින්නක සනසන වන අලි
ඒ පැටවා මළ පැටවකු බව ඒත්තු ගැන්වීමට උත්සාහ කළද ඉන් ඵලක් නොවන බැව් වටහා ගෙනදෝ වැඩිහිටි ඇතින්නියෝ දරු වියෝවෙන් දුකට පත් මවු ඇතින්නට කිසිදු හෝ විරුද්ධත්වයක් නොපෙන්වති. නමුත් ඇතුම් විට ඒ බව වටහා දීමට උත්සාහ ගන්නා ආකාරයක්ද රැළේ පරිණත ඇතින්නන්ගේ පෙනේ. එවැනි අවස්ථාවන්හීදී ඊට එකඟ නොවන මවු ඇතින්න නුරුස්සනා හඬින් කෑ මොර නඟන්නීය. එවිට ඇය කරන්නේ පැටවා නඟුටෙන් ඔසවා ගෙන දිව යෑමය. මේ දෙස දෙස බලා සිටි අපට සිතුණේ ඇතින්න කුළුදුලේ පැටවකු බිහි කළ අත්දැකීම් අඩු මවක විය යුතු බවයි. එබැවින්දෝ රැළේ සෙසු සාමාජිකයෝ මවු ඇතින්නට ඇත්ත ඒත්තු යන තෙක් කල් මරමින් සිටිති.
සාමාන්‍යයෙන් වනඅලි ඇවිද යමින් ආහාර බුදිමින් සංචාරක දිවි පෙවතක් ගත කිරීමට ප්‍රිය කරති. මෙවැනි අනපේක්ෂිත අවස්ථාවකදී වුව රැළේ සුපුරුදු දින චර්යාවට බාධා එල්ල වෙද්දී අලි රැළක සාමාජිකයන් දක්වන්නේ අසතුටකි. එවැනි අවස්ථාවන්හීදි රැළේ සුපුරුදු දින චර්යාවට මෙවැනි සාමාජිකයන් බාධාවක් නොවනු පිණිස තනියෙන් හැසිරිමට වනඅලි පෙලඹෙති. අලි පැටවුන් වනජීවී නිධාරීන්ගේ භාරයට පත් වන්නේ පැටවාගේ මවගේ වියෝවීමෙන් පසු එවැනි පැටවුන් රැළෙන් ප්‍රතික්ෂේප වීම හේතුවෙනි. මවු කිරි අහිමිවන එබඳු පැටවුන් දින ගණන් වනයේ අතරමං වෙමින් කුසගින්නෙන් පීඩිතව දුර්වලව හමුවන අවස්ථා එමටය. පුංචි පැටවුන් මිය ගිය පසුව ඒ පැටවා සමඟ දවසක් දෙකක් ගත කරන මවු ඇතින්න තත්ත්වය වටහා ගැනීමෙන් පසු මියගිය පැටවා අතහැර යළිත් රැළේ සාමාජිකයින් සමඟ එකතුවීම සාමාන්‍ය සිදුවීමකි.
පැටවා මිය ගිය අලුත ඒ අසලම ගැවසෙමින් මළ පැටවා තම සිරුරේ ගෑවෙමින්ම තබා ගනිමින්, යන යන තැන ඔසවා ගෙන යන මෙවැනි ළාබාල ඇතින්නන් ගැනද වාර්තා වන අවස්ථා නැතිවා නොවේ.
මින් වසර කිහිපයකට පෙරාතුව මෙබඳුම සිද්ධියක් නිරීක්ෂණය කළ වනජීවි නිලධාරියෙක් තමා ලද අත්දැකීම මා හා විස්තර කළේය. “එක දවසක් මං කැලේ ඇතුළේ යද්දි තනිවූ ඇතින්නක් දැක්කා. එවැනි ඇතින්නන් හමුවීම සාමාන්‍ය දෙයක් වුවත් මේ ඇතින්නගේ යම් අමුත්තක් මට පෙනුණා. ඇතින්න හිටියේ තණ කොළ කමින්. ඇතින්නගේ පැත්තකින් ගෝනි පඩංගුවක් වගේ දෙයක් මං දැක්කා. මේ ඇතින්න හැම වෙලේම මේ ගෝනි පඩංගුව හොඬෙන් ඉව කරනවා. මං හුළං අතබලා ඇතින්නට ළංවෙලා විපරම් කළා. ඇතින්න ඉන්න පැත්තෙන් මට ආවේ කුණු ගඳක්. ළංවෙලා බලද්දි දැක්ක දෙයින් මං පුදුම වුණා. ඇතින්නගේ පා මුල ගෝනියක් වගේ තිබුණේ මැරුණු පැටවෙකුගේ කුණක්. ඒක වේලිලා ගිහින්. පැටියා මැරිලා කියා දැනදැනත් ඇතින්න යන යන තැන මළකුණ අරන් යනවා. ඒ ඇතින්න රැළෙනුත් වෙන්වෙලා.”
මෙවන් සිදුවීම් දකිද්දී අපට සිහිපත් වනුයේ අලුත උපන් බිලිඳුන් මහමඟ අතැර දමා පැන යන අපගේ ඇතැම් මවුවරුන්ය. එවන් කලෙක වන සතුන්ගේ මෙවැනි හැසිරීම් අපට කියා පාන්නේ වන සතුන්ගේ මව් සෙනෙහේ අරුමය නොවේද?
සේයාරූ - රෝහිත ගුණවර්ධන