“වෙදැස 2018” ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ | Page 6 | සිළුමිණ

“වෙදැස 2018” ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද “වෙදැස 2018” වෛද්‍ය ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ  වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.

“25 වසරක විදුදය වෙදැසින් සුවැති දැයක්” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණ වන්නේ යහපත් කායික, මානසික, සාමාජීය සෞඛ්‍ය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමයි.

ප්‍රදර්ශනය අද සිට දෙසැම්බර් 08 වනදා දක්වා පැවැත්වෙන අතර එම සෑම දිනකම කාලීන තේමාවන් ඔස්සේ සංවාද, දේශන, වාර්තා වැඩසටහන් ඇතුළත් සෞඛ්‍ය සන්නිවේදන වැඩසටහන් සංවිධානය කර තිබේ.

එමෙන්ම මානසික සුවය සහ යහපැවැත්ම තේමා කරගනිමින් සෑම දිනකම සතිමත් බව වෙනුවෙන් විශේෂ උපදේශන මණ්ඩලයක් මඟින් සැසිවාර පැවැත්වීම නියමිතය. මීට අමතරව මෙම ප්‍රදර්ශනයට සහභාගීවන්නන්ගෙන් තෝරාගත් පිරිසකට නොමිලේ විවිධ වෛද්‍ය පර්යේෂණවලට යොමුවීමට අවස්ථාව සලසා තිබෙන අතර විශේෂයෙන්ම වර්තමානයේ වසංගත තත්ත්වයට පත්ව ඇති බෝ නොවන රෝග වළක්වා ගැනීම පිළිබඳව මෙම ප්‍රදර්ශයේ දී වැඩි අවධානයක් යොමු කෙරේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ ජයග්‍රාහක සිසුන්ට තිළිණ පිළිගැන්වීම ද මෙහි දී සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, වෛද්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන යන මහත්ම මහත්මීන් සහ ආචාර්ය මහාචාර්යවරුන්, සිසුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

Comments