තාවකාලිකව ඉදිකිරීම් නතරවූ නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට උපදෙස් | සිළුමිණ

තාවකාලිකව ඉදිකිරීම් නතරවූ නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට උපදෙස්

කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ඉදිකිරීම් කටයුතු නතරවූ කොළඹගේ මාවත හා ටොරින්ටන් මාවත නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. 
 
නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ එම නිවාස ව්‍යාපෘති දෙක යටතේ නිවාස ඒකක 735ක් ඉදිකිරීමට නියමිත බවයි. මෙම නිවාස ව්‍යාපෘති දෙක ඉදිකෙරෙන්නේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේයි.
මේ සඳහා වැයවන මුදල සපයා ගැනීම සඳහා අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි.
 
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මුදල් අමාත්‍යංශය සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතය.
 
නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ 2010 වර්ෂයේ සිට මේ දක්වා නිවාස ව්‍යාපෘති 25ක් ආරම්භ කර ඉන් නිවාස ව්‍යාපෘති 23ක වැඩ සම්පූර්ණයෙන්ම අවසන්කොට ජනතා අයිතියට පත්කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
 
නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ වැඩ අවසන්වූ නිවාස ව්‍යාපෘති 23 යටතේ නිවාස ඒකක 14,049 ඉදිකර ඇති බවයි.
 
දෙමටගොඩ-මිහිඳුසෙන්පුර, ඔරුගොඩවත්ත-පුරදොර සෙවණ, බොරැල්ල- සිරිසර උයන, බොරැල්ල- මෙත්සර උයන, බ්ලූමැන්ඩල්-සිරිසඳ සෙවණ, වැල්ලවත්ත-ලක්මුතු සෙවණ, හේනමුල්ල-රන්දිය උයන, එදිරිසිංහවත්ත-සිරිමුතු උයන, ෆර්ගියුෂන් පාර- මුවදොර උයන, මාලිගාවත්ත-ලක්හිරු සෙවණ, සාලමුල්ල- ලක්සඳ සෙවණ අදියර 1 හා අදියර 2, ප්‍රදීපා මාවත- සියසෙත සෙවණ, බ්ලූමැන්ඩල්-ජයමඟ සෙවණ, මාලිගාවත්ත-ලක්සෙත සෙවණ, හේනමුල්ල-මෙත්සඳ සෙවණ, දෙමටගොඩ-සියපත් සෙවණ, හේනමුල්ල-සත්හිරු සෙවණ, කොලොන්නාව-සංහිඳ සෙවණ, හේනමුල්ල-මිහිජය සෙවණ, හේනමුල්ල-හෙළමුතු සෙවණ, හේනමුල්ල-රන්මිතු සෙවණ, පොල්හේන්ගොඩ - කොලොම්තොට සරසවි උයන එලෙස වැඩ අවසන්කර ඇති නිවාස ව්‍යාපෘතිවේ.
 
නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන්නකි. එහි මූලික අරමුණ වන්නේ කොළඹ නගරය තුළ තිබෙන අඩු පහසුකම් සහිත ජනාවාසවල පදිංචිකරුවන් සඳහා විකල්ප නිවාස පහසුකම් ලබාදීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම හා එම ඉඩම් විධිමත් ලෙස සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමය. 
 
කොළඹ නගරය සැලසුම් සහගත ලෙස සංවර්ධනය කරා ගෙනයෑමේ ප්‍රධාන අරමුණ පෙරදැරිව 2010 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව, රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය යටතේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුණි.
 
මෙය ස්වයං මූල්‍ය උත්පාදන මූල්‍ය ආකෘතියක් සහිත ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම අරමුණ විය.
ඒ අනුව මහා භාණ්ඩාගාරයෙන් ලබාගන්නා රුපියල් බිලියන 10ක ණයකර නිකුතුවක් මගින් ආරම්භක පිරිවැය දරනු ලැබීය. පසුව ව්‍යාපෘතිය සඳහා නිදහස්කර ගන්නා ඉඩම් නැවත නිවාස ඉදිකිරීම, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවීම, රක්ෂිත හා නගරයේ අලංකරණ කටයුතු සඳහා යෙදවීම තුළින් නාගරික සංවර්ධන ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් උත්පාදනය කර ගැනීමට සැලසුම් කර තිබුණි.
 
නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2010 සහ 2011 දෙවසර තුළදී සමීක්ෂණයක් සිදුකර ව්‍යාපෘතිය සඳහා සුදුසු වතු ජනාවාස 1500ක නිවාස ඒකක 68000ක හඳුනාගන්නා ලදී.
 
එලෙස වතු ජනතාව පුනස්ථාපනය කිරීම මගින් හඳුනාගන්නා අක්කර 900කට ආසන්න ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 300ක් නව මහල් නිවාස ඉදිකිරීමටත්, අක්කර 150ක් පොදු විනෝද කටයුතු සඳහා වෙන් කිරීමටත්, ඉතිරි ඉඩම් අක්කර 450ක ප්‍රමාණය මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම තුළින් නිවාස ඉදිකිරීම සඳහා මුදල් උත්පාදනය කර ගැනීමටත් මූලික සැලසුම් සකස්කර තිබුණි.

Comments