අනුර කුමාරගෙන් චෝදනාවක් | සිළුමිණ

අනුර කුමාරගෙන් චෝදනාවක්

පසුගිය සතියේ පාර්ලිමේන්තු සභා ගැබේ කටයුතු පැවැත්වූයේ ආණ්ඩු පක්ෂයේ කිසිවෙකුගෙත් සහභාගිත්වයෙන් තොරවය. මන්ද ඒ වන විට ආණ්ඩු පක්ෂය පවසා තිබුණේ වත්මන් කථානායකවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම පාර්ලිමේන්තු කටයුතු වර්ජනය කරන බවයි. 27 මුළු දිනය පුරා පාර්ලිමේන්තු සභාගැබ තුළ ඇසෙන්නට වූයේ විපක්ෂයේ මන්ත්‍රීන්ගේ අදහස් දැක්වීම් පමණි. පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සභාවෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ විවාදයක් ලබා දෙන ලෙසය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ඊට පෙර සතියේ පාර්ලිමේන්තුවේ ඇති වූ අවාසනාවන්ත සිදු වීමෙන් හානියට පත් වූ පාර්ලිමේන්තුවේ දේපළ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. මෙහිදී කථානායකවරයා සඳහන් කළේ දැනටමත් ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භව ඇති බවයි.

29 උදෑසන 10.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමට මත්තෙන් පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු පහළ මාලයේ රැස්විම් ශාලාවේ පැවැත්වුණු අතර එයට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සහභාගීව සිටියේ නැත. මේ වෙනුවෙන් ඔවුන් පාර්ලිමේන්තුවේදී වෙනම ආණ්ඩු පක්ෂ රැස්වීමක් පැවැත්වූ අතර එහිදී ඔවුහු තීරණය කර ඇත්තේ එදිනත් සභාවේ කටයුතුවලට සහභාගී වීමෙන් වැළැකී සිටීමය. මේ අතර ඔවුන් විසින් මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වූ අතර ඔවුහු එහිදි ප්‍රකාශ කළේ නව අගමැතිවරයාගේ පත්වීමට විරුද්ධ ව යූඇන්පීය විසින් අභියාචනාධිකරණයට යොමු කර ඇති පෙත්සම හේතුවෙන් එදින විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ‘යෝජිත වත්මන් අගමැතිවරයාගේ වියදම් කප්පාදු කිරීමේ යෝජනාව‘ වැරුදි දෙයක් බවයි.

මෙදින සිදු වූ විශේෂ සිදුවීමක් වන්නේ නව ආණ්ඩුවේ ඇමැති ධුරයක් දරන ඇමැතිවරයකු වූ ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ මහතා පමණක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩු පක්ෂය තුළ තමන්ට හිමි අසුනේ වාඩි වී සිටීම දක්නට ලැබීමයි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලිය රතන හිමියන්ද අසුන් ගෙන සිටියේ විපක්ෂයේ අසුනකය. කථානායකවරයා සභාව ආරම්භ කළේ පසුගියදා සභා ගැබේ සිදු වූ කණගාටුදායක සිදුවීම්හි පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ තම අදහස් ප්‍රකාශ කරමිනි.

මෙදින කාගේත් අවධානය ඇතිව සිටි ඇමැති විජයදාස මහතා සිය කතාව ආරම්භ කළේ අසා සිටි අයගේ සිත්හි ඔහු කරන්නට යන දේ පිළිබඳ කුතුහලය මවමිනි.

“අද මේ රටේ දේශපාලන අස්ථාවරත්වය නිසා ජනතාව වික්ෂිප්ත වෙලා. මේවා ඉබේම ඇති වූවක් නොවෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ මූලික වගකීම පැවැරී ඇත්තේ පාර්ලිමේන්තුවට. අපි ජාතික රජයක් නිර්මාණය කළේ වසර 30ක යුද්ධයෙන් ඇති වු දේ යළි ඇති නොවෙන්නට...“

ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ දිගු කතාව අවසානයේ ඔහු ඉල්ලා සිටියේ කෙසේ හෝ මේ ප්‍රශ්නයට කථානායකවරයා හරහා විසදුම් ලබා දිය යුතු බවත්ය.

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේ නොසිටියද යම් අවස්ථාවන්හි යූඇන්පී මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාදවිවාදද ඇති විය. විශේෂයෙන්ම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් අරලිය ගහ මැදුරේ සිටිමින් පොදු දේපළ අයථා ලෙස පරිහරණය කරන බව එයින් එක් චෝදනාවක් විය. මුලින්ම මේ චෝදනාව එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතාය. “මෙය සැලසුම් සහගතව දියත් කළ අර්බුදයක්. මේවා සාකච්ඡා මේසයකින් විසඳාගත නොහැකියි. රටේ ව්‍යවස්ථාවට ජනාධිපතිවරයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා යටත්. කවුරු ජනාධිපති එක්ක සාකච්ඡා කළත් කමක් නැහැ. ඒත් අපි නම් යන්නේ නැහැ. මේක කුමන්ත්‍රණයක්. කුමන්ත්‍රණ සාකච්ඡා මේසයක විසඳීම පුදුමයක්...“ අනුර කුමාර දිසානායක මහතාගේ කතාවට යූඇන්පියෙන් දැඩි බාධා එල්ල වන්නට විය.“

පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්ද සභාව අමතද්දී නැඟුණේ ඝෝෂාවකි.

“එජාපයත් සමඟ එකතු වෙලා අලුත් ජනාධිපතිවරයෙක් පත් කරන්න අපි ලොකු කැපකිරීමක් කළා. පහුගිය ආණ්ඩු කාලයේ මුළු කොළඹම කැසිනෝ පුරයක් කරන්න යෝජනාවක් ආපු වෙලාවේ ආණ්ඩුවේ ඉඳන් ඊට විරුද්ධව ඡන්දය දුන්නේ මම විතරයි. අදත් මම මගේ හෘදයසාක්ෂිය රට වෙනුවෙන් ප්‍රකාශ කරනවා. මේ ඇතිවී ඇති ව්‍යාකූලත්වය ජනාධිපතිට බැන වැදීමෙන් විසඳා ගන්න බෑ. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර සමමිතිකත්වයක් නැති තැන ව්‍යාකූලත්වයක් නිර්මාණය කරනවා.“

දෙපැත්තටම බලපාන සාධාරණ තත්ත්ව මතු කරද්දි උන් වහන්සේගේ මේ කතාවට විටින් විට බාධා කළේ යූඇන්පී මන්ත්‍රිවරුය. කතාවක් කිරීමේ අපේක්ෂාවෙන් නොව ඡන්දය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවෙන් පැමිණි දොස්තර රාජිත සේනාරත්න මහතාද දැඩි කතාවක් කළ අතර මේ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව එළඹියේ හරියටම දහවල් 12.20ට පමණි. ඇමැති විජයදාස රාජපක්ෂ මහතා හා අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව ගියේය. ඔවුන් දෙදෙනා ඡන්දය දීමේ අවස්ථාව පහසුවෙන් මඟහැරියහ.

ඡන්දය ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට පැවැත්වෙන බව නිවේදනය කරමින් සීනුව නාද වන්නට විය. මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මෙන්ම මන්ත්‍රි රාජිත සේනාරත්න යන මහත්වරුන් විසින් ඡන්දයට පෙරාතුව සියලු දෙනාගේ සහභාගිත්වය ඇත්දැයි විටින් විට පරීක්ෂා කර බලනු දැකිය හැකි විය. බහුතරයක් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඇඟිලි සලකුණු කිරීමෙන් ඡන්දය ප්‍රකාශ කළ අතර එසේ නොවූ කිහිප දෙනෙකුගේ ඡන්දය ප්‍රකාශ වුයේ ‘පක්ෂයි‘ යන හඬිනි. මෙසේ අගමැති මුදල් කප්පාදු කිරීමට විපක්ෂ යෙන ආ මේ යෝජනාව ඡන්ද 123කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය. මේ අතර පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂයට සමඟ එක්තු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතාද මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළේය. මේ යෝජනාවට විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය භාවිත කර නොතිබිණි. පාර්ලිමේන්තුවේ කටයුතු නැවතත් පසුදිනට කල් තැබිණි.

30 වැනිදා උදෑසන 10.30ට නැවතත් ඇරඹි පාර්ලිමේන්තුවේ කටයුතුවලදී තවත් යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කරගන්නට විපක්ෂයට හැකි විය. ඒ ජනරජයේ අරමුදල්වලින් ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට හා රාජ්‍ය ඇමැතිවරුන්ටත් ඔවුන්ගේ කාර්යමණ්ඩලය වෙනුවෙනුත් මුදල් අනුමත කිරීමට ලේකම්වරයාට ඇති බලය අහෝසි කිරීමේ යෝජනාවයි. මේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ අතර රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ස්ථීර කරන ලදි.

මේ යෝජනාව ඡන්ද 122කින් සම්මත වූ අතර, පාර්ලිමේන්තුව දෙසැම්බර් 5 වැනිදාට කල් තැබිණි.

Comments