කළු­නික යනු මිථ්‍යා­වක්ද? | සිළුමිණ

කළු­නික යනු මිථ්‍යා­වක්ද?

ගිය ඉරිදා සවස මහනුවර ‘රෝයල් මෝල්’ ශ්‍රවණාගාරයේදී ආචාර්ය සුදත් ගුණසේකරගේ කෘති කිහිපයක් එළි දැක්විණ. සුදත් ගුණසේකරට සහ මට ඇති සම්බන්ධතා බොහෝය. එකී උත්සවය අතර ලග්ගල, ලකේගල හා මීමුරේ යන ස්ථාන නාම නිතර කියැවිණ. මේ ලකේගල සම්බන්ධ පරණ කතාවකි.

නැගෙනහිර මාතලේ ගිරි කඳු පා මුල ගමක ගොවි පවුලක් ජීවත් විය. එකී ගොවියා කෘෂිකාර්මික කටයුතු අවසානයෙහි තණ උලා කෑම පිණිස සිය ගවයන් සිරිත් පරිදි තණ බිම කරා මුදා හැරියේය. තණ උලා කෑ ගවයන් ක්‍රමයෙන් උස් කඳු මුදුන කරා සේන්දු විය. අපේ ගොවියා පසුව ගවයින් සොයමින් එකී කන්ද තරණය කළේ ය. ඔහුට කඳු මුදුනෙහි සිහිල් දිය පිරි පොකුණක් ද ඒ අසල ම තමන්ගේ හරක් රංචුව තණ උලා කමින් සිටිනු දක්නට ලැබිණ. කන්ද නැඟීමේ වෙහෙසත් දිය හෙබෙහි පිහිටීමත් තම ගවයන් හමුවීම නිසා ඇතිවූ සතුටත් මිශ්‍ර හැඟීමෙන් මුසපත්වූ ගැමියාට වහා පොකුණට පැන දින නාන සිතක් පහළ විය.

පළමුව තමන් පිටුපසට බැඳ සිටි කොණ්ඩය මුදා හළ ඔහු සිය යට ඇඳුම ගලවා පොකුණට පැන්නේය. හැකි තරම් දිය බුං ගසා හෙතෙම පැන් පහසු විය. ජල ස්නානයෙන් පසුව හෙතෙම පොකුණ ඉවුරෙහි ඒ ඉරියව්වෙන්ම මද වේලාවක් නිරුවතින් හිටගෙන සිටියේය. ඒ හුළඟට සිරුරෙහි දිය වේළී යනතෙක්ය. පසුව සිය ඇඳුම ඇඳි ගොවියා ආපසු ගමන් යාම පිණිස ගවයන්ට පුරුදු විධානය නිකුත් කළේය. පොකුණ අසල වැවුණු සරු තණ නිල්ල අනුභව කරමින් සිටි ගව රංචුවට සිය ස්වාමියාගේ විධානය පවා නෑහෙන තරම් විය. තව දුරටත් කන්දේ රැඳී සිටිය නොහැකි ගැන ගැමියා පොකුණ අසල වැවී තිබුණු පඳුරකින් කෙවිටක් කඩා ගත් පසුව ගව රැළ ඔහුට පෙරටුව ගම්මානය දෙසට ගමන් ඇරඹීය.

ගමට ඇතුළුවූ හරක් රංචුව කිසිදු මෙහෙයවීමකින් තොරව සුපුරුදු පරිදි ගව ගාලට රොක් විය. ගොවියා කන්දේ පොකුණ අසලින් කපා ගත් කෙවිට පිළාකන්නට හේත්තු කර ගෙට ඇතුළු විය.

වෙනදා මෙන් බීමට යමක් හෝ නො ඉල්ලමින් ගෙට ඇතුළුවු සිය සැමියා දුටු ගැමි කාන්තාව මහත් වික්‍ෂිප්තව ඔහු දෙස බලා සිටියාය.

“මොකද උඹ මගේ දිහා අමුතුවට බලන්නේ” සිය බිරියගේ අමුතු බැල්ම දුටු ගැමියා විමසුවේ තරමක කෝපයෙනි.

“උඹලා හරි අමුතුයි. උඹලා මේ ගෙදරට මං ඇන්න ආ කාලේ වාගේ ඉලංදාරි පාටයි.” කිසි දවසක පාසල් නො ගිය ගැමි කත තමන් දන්නා ව්‍යවහාර භාෂාවෙන් සිය සැමියාගේ දුටු අමුත්ත විස්තර කළාය.

“බොරු නො කියා ඉඳින් ගෑනියේ.” සිය ඇඹණියගේ ඉලංදාරි කතාවෙන් සිත් අවුල්වූ ගැමියා එසේ කීවේ වෙන කියන්නට යමක් නැති හෙයිනි. එසේම තම අඟපසඟ දෙස බැලූ ගැමියාට සිය බිරිය කියන කතාවේ අමුත්තක් දක්නට ලැබිණ. තමන් තිරිහන්වී ඇතැයි ඔහුට සිතිණ. ඉන්පසුව ගැමියා කල්පනා කරන්නට පටන් ගත්තේ තමන්ට සිද්ධ වූ ඇබැද්දිය කුමක්ද කියාය. සැමියා ගවයන් සොයා ගිය ගමන මුල සිට සවිස්තරව අසා දැනගත් ඇය වහා නැඟී සිටියේ අමුතු ජවයකිනි.

“උඹලා නාල තියෙන්නේ අනෝතප්ත විලෙන්වත්”දැයි බිරිය විමසුවේ විස්මය ඵළවා ගත නො හැකිවය.

“කෙහෙල්මල් අනෝතප්ත විල. මං හරක් පාරේ ගියේ ලකේගල පැත්තට” සැමියාගේ ගමන හාරා අවුස්සා බැලු ගැමි ගැහැනියට සැමියා පැන් සැනහුණු පොකුණ අසල පඳුරකින් කෙවිටක් කඩා ගත් විත්තිය ඇසූ සැණින් මතකය අවදි විය.

“කෝ ඒ කෙවිට...........” කලබලවූ ගැමි ගැහැනිය වහා ගෙයින් එළියට පැන කෙවිට හේත්තු කළ තැනට දිව ගියාය. එහෙත් එහිවු කෙවිටක් නැත.

“කෝ උඹලා ගෙනා කෙවිට” මොකක්දෝ හෙළිදරව්වකින් පරලවු ගැමි ගැහැලිය තම සැමියාගේ උරිහෙන් අල්ලා සොලවමින් විමසුවාය. ගැමියා වහා තමන් කෙවිට හේත්තු කළ තැනට දිව ගියේ ය. එහෙත් ගැමියා කන්දේ පොකුණ අසල පඳුරෙන් කඩාගෙන ආ කෙවිට එහි පෙනෙන්නට නො තිබිණ.

“මං ඒක මෙතන තිබ්බෙ. දැන් ඒක එතන නැහැනේ.”

යමක් තේරුම්ගත නොහුණු ගැමියා තෝන්තුවාවෙන් බලා සිටියේ ය. සිය ඇඹණිය කියනාකාරයට තමන් තිරිහන්වී ඇති බවට කිසිදු සැකයක් නැත. පොකුණෙන් නෑ පසුව වියළෙන්නට පිට මත හෙළා ගත් සිය දිගු කොණ්ඩය නීල වර්ණයෙන් බබළනු ඔහුට දක්නට ලැබිණ. එහි ඉදී පැසී ගිය එකදු කෙස් ගසක් හෝ දක්නට නොවිණ. ඔහු සිය කෙහෙවල්ල අත ගා බැලුවේ අදහාගත නොහැකි විස්මයෙනි. රැලි වැටී මහලුව තිබුණු දෑත් දෙපා ඉලන්දාරි කාලයේ මෙන් විය.

“ඇයි දෙයියනේ උඹලා ඒ කෙවිට මගේ අතර නො දුන්නේ. ඒක උඹලා කඩාගෙන තියෙන්නේ හාස්කම් තියෙන පඳුරකින්.” පිල්කඩ මත හිඳගත් ගැමි ගැහැනිය සිය නිකට අත්ලෙහි රඳවා විස්සෝපයෙන් බලා සිටියාය. තම සැමියා ගෙනා කෙවිට තමන්ට ස්පර්ශ කිරීමට නො හැකිවීම ගැන ඒ ගැමි ගැහැනියට වඩාත් දුක හිතෙන්නට ඇත. එකී කෙවිට ස්පර්ශ කළ සැණින් තම සැමියා කොපමණ තිරිහන් ව සිටියාදැයි හරියටම දුටුවේ ඇය පමණි.

අර ගැමියා කෙවිටක් ලෙස ගෙදරට ගෙනැවිත් තිබුණේ කළුනික කෝටුවකි. කළුනික යනු සිතූ පැතූ සම්පත් ලබාදෙන දුර්ලභ ඖෂධයක් බව අනාදිමත් කාලයක සිට මෙරටේ පැවති විශ්වාසයකි. මේ කතාව මා මුල් වරට කියවන ලද්දේ 1982 වසරෙහි ප්‍රකාශයට පත් කරන ලද ඓතිහාසික මාතලේ නම් ප්‍රකාශනයෙනි. ඉන් බොහෝ කලකට පෙර කළුනික, නරි අං හා නාග මාණික්‍ය වැනි දුර්ලභ වස්තු ගැන විවිධ කතා මට අසන්නට ලබිණ.

හීන් බණ්ඩා රත්නායක කලක් ලග්ගල වැව් ලේකම් සහ හදිසි මරණ පරීක්‍ෂක ආදි තනතුර දැරූ අපේ වැඩිහිටි ඥාතියෙකි. එතුමා පැරණී ජනශ්‍රැති වාහකයෙකි. ලකේගල මුදුනේ කළුනික ඇති බව ඔහු විශ්වාස කළේය. ලග්ගල වැව් ලේකම් මහත්තයාට අනුව ලකේගල මුදුනෙහි කුඩා පොකුණක් ඇත. ඒ පොකුණ ඉවුරෙහි කොළ අතු හිඟ ඉපල්ලක් වැනි නොවැඩුණු පඳුරක් ඇත. ඒ පඳුර මත කුරුල්ලෙක් වසා සිටී. කුරුල්ලා වසා සිටිනකොළ අතු හිඟ ඒ ඉපල්ලක් වැනි ගස කළුනික ගසකි. මේ කතාව ඔහුට කියා ඇත්තේ ලග්ගල ප්‍රදේශයේ ජිවත්වූ පැරණි වැඩිහිටියෙකි.

ඉහත කී කතාවට පාදක වූ ගම්මානය පිහිටා තිබුණේ නැගෙනහිර මාතලේ ගිරි කඳු පා මුල ය. ඓතිහාසික ලකේගල පිහිටා ඇත්තේ ද, නැගෙනහිර මාතලේ කඳු රෑන අතර ය.

අපට ආවේණික අනේක විධ ජනශ්‍රැති අපමණය. එකී ජනශ්‍රැති තුළ ගැබ්වුණු මානව සහ සමාජ විද්‍යාත්මක විෂය බද්ධ ගැඹුර කිසිවෙකුට ඉවත දැමිය නො හැකිය. අපේ සමහර ජනශ්‍රැති බොහෝ අසා සිටීම මෙන්ම එහි පවත්නා ශාස්ත්‍රීය අගය විමසා බැලීම බොහෝ ඉවසිල්ලෙන් කළ යුතුව ඇත. හේතුව ඒ තුල පවත්නා ඇදහිය නොහැකි අවියත් භවය බොහෝ විදග්ධ හේතුඵල වාදීන්ට දිරවිය නො හැකි ය.

ජන සමාජය තුළ අනන්ත කතා සහ විශ්වාස නිතර මුවග රැව්පිළිරැව් දෙයි. ඒවා ජනශ්‍රැති ලෙස රෝපණය වීමට දිගු කලක් ගත වේ. ජනශ්‍රැති නිර්මාණය වන්නේ අපගේ ජන විඥානය සහ ගැමි ජීවිතයෙහි හරය පාදක කොට ගෙන ය. ගොපල්ලා පිළිබඳ කෘෂිකාර්මික ගැමි පෙදෙස්වල මුල් බැසගත් විශ්වාසය එවැන්නකි. කෘෂි ජීවිතයට බද්ධ ගව සම්පත් ආරක්‍ෂා කර ගැනීමට අද්භූත බලයක් ආරෝපණය වීම නිසා දිගු කලක් තිස්සේ භාවිතාවු විශ්වාසයකි. අත්දැකීමකි.

මෙහි විස්තර කෙරෙන කළුනික සමහර විට හිතලුවක් විය හැකිය. එහෙත් මේ හරහා ගෙනෙන පණිවුඩය කුමක්ද? ආයුර්වේදයෙහි අදත් ඉල්පෙමින් පවත්නා ශාක ඖෂධ ගුණය පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමකි. ජීව ප්‍රාණ නමින් හැඳීන්වූ කුඩා පැළෑටියක් දැක ඇත. එකී ජීව ප්‍රාණ ශාකයේ සිහින් කොළ පැය විසිහතර පුරාවට හැකිළෙමින් දිග හැරෙමින් සක්‍රීයව ප්‍රාණවත්ව පවතී. නිදිකුම්බ ශාකය හැකිළෙන්නේ ස්පර්ශය නිසාය. එහෙත් ජීව ප්‍රාණ ශාකයේ ක්‍රියාවලිය කිසිදු ස්පර්ශ කිරීමක් නො කළද නිරන්තරව සිදුවේ.

Comments