සමාජය ආකෘතිකව හා ව්‍යූහාත්මකව වෙනස් කරන නව ව්‍යස්ථාවක් නිර්මාණය කරගැනීමත් ඊට සුජාතභාවයක් ලබාගැනීමත් අතිශය වෙහෙසකර ක්‍රියාවලියකි. මෑත ඉතිහාසය ගත් කල 2015දී ජනාධිපතිවරයා වටා ඒකරාශි වූ මහජන අභිලාශයන් තුළ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවද තිබිණි. අදද පවතී. එහෙත් යථාර්ථය වන්නේ එවැනි ව්‍යස්ථාවක් සඳහා මේ මොහොත තුළ මහජන පිළිගැනීම ලබාගැනීම අතිදුෂ්කර ක්‍රියාවක් බවයි.
සැබැවින්ම නව ව්‍යවස්ථාවක් සදහා මහජන විශ්වාසය ලබාගැනීම දුෂ්කර වූයේ මේ වන විට දේශපාලනයේ ඇතිව පවතින අලුත් සංකේන්ද්‍රණය තුළ නොවේ. 2015 ජනපතිවරණය ජය ගත් මොහොතේ පවා එවැන්නකට මහජන විශ්වාසයක් ඇතිව නොතිබිණි. එසේම ව්‍යවස්ථා කර්මාන්තය සඳහා ග්‍රාමීය මට්ටමට ව්‍යවස්ථා කෙටුම්පත්කාරකයන් ගියේද අවලංගු වූ දේශපාලන සංකල්පයක් පෙරදැරි කරගෙනය.
නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසීම කල් ඉකුත් වූ දේශපාලන සංකල්පයකි. මහජනතාව දේශපාලනික වශයෙන් ව්‍යවස්ථා කර්මාන්තය සඳහා මුහුකුරා ගිය අදහස්වලින් පරිපූර්ණ නැත. බුද්ධිමත්ව කල්පනා කරන්නේ නම් මහජන අදහස් විමසිය යුත්තේ දේශපාලන නායකයන්ගෙන් හා දේශපාලන පක්ෂවලිනි. රාජ්‍ය පරිපාලනයේ දේශපාලන හැඩරුව හඳුනන්නේ මහජනතාව නොවේ; එය මනා ලෙස තේරුම් ගන්නේ දේශපාලකයෝය; දේශපාලන පක්ෂයි.
නොහැකියාව තේරුම් ගැනීම
කිසියම් ව්‍යවස්ථාවක් ජන සමාජය තුළින් ගෞරවය හා විශ්වාසය දිනාගන්නේ ව්‍යවස්ථාවේ අඩංගු දෑ සම්බන්ධ දේශපාලන අවබෝධයකින් නොවේ; ඔවුන් ඊට එකඟ වන්නේ තම ජනජීවිතයට බලපාන සාධක මත ආණ්ඩුව කෙරෙහි පවතින ගෞරවය හා විශ්වාසය නිසාය. 1978දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමාජ සුජාතකරණය කරන්නට එවකට ආණ්ඩුවට හැකි වූයේ ආණ්ඩුව කෙරෙහි පැවැති මහජන ගෞරවය නිසාය.
ව්‍යවස්ථා කර්මාන්තයේදී වැඩවසම් මහජන ආකල්ප පරාජය කිරීම අනිවාර්ය සාධයකි. එහෙත් ශක්තිමත් නොවන දේශපාලන බලයකින් වැඩවසම් ආකල්ප පරාජය කිරීම අපහසු කරුණකි. මහජනතාව අතර වැඩි ඉල්ලුමක් තිබුණේ සමාජ ප්‍රතිසංස්කරණවලටය. ඒ අනුව ආන්තිකකරණය වූ ජනකොටසට මෙන්ම අතරමැදි පන්තියේ ජනකොටසටද ආර්ථික වශයෙන් ශක්තියක් දිය යුතුව තිබිණි. ආර්ථික පීඩනයට ලක්ව දුක් විඳන සමාජ කණ්ඩායම් හමුවට ගොස් ව්‍යවස්ථාවකට මහජන වරමක් ඉල්ලා සිටීම භයානකය.එහෙත් දෑවුරුද්දකුත් හමාසයක ඇවෑමෙන් සමාජය අලුතින් කේන්ද්‍රගත වීමට පටන්ගෙන තිබේ. ඊට හේතුව: ගෙන එන්නට යෝජිත අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් උරණව සිටින සමාජ කොටස් මහින්ද රාජපක්ෂගේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදි කෑගැහිලි තුළ දෑස් නිලංකාර කරගනිමින් සිටී. එමෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ නොකිරීම නිසා ආණ්ඩුව සමඟ වෛරයකින්ද සිටී. මේ මොහොත තුළ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ස්ථාපිත කිරීම මහත් උභතෝටිකයක්ව පවතී. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ සමාජයේ ප්‍රතිසංස්කරණවාදි ප්‍රජාතන්ත්‍රවාදි මහජන කොටස සම්මුතික ආණ්ඩුවෙන් ඈත් වෙමින් සිටීමයි. අනෙක් හේතුව වන්නේ රාජපක්ෂවාදි විසකුරු දේශපාලන බලවේග විසින් ගම් නගර සිසාරා යන පරිදි ජාතිවාදය ඇවිස්සීමයි. සමාජ වටිනාකමකින් යුක්ත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණයන්ට මිනිසුන් කැමැති වෙනවාට වඩා වැඩි වේගයකින් එම මිනිසුන්ගේ අධ්‍යාත්මය තුළ පවතින ගූඪ ආසාවන් වටා පෙළගැසීම තාර්කිකය. ඒ අනුව රාජපක්ෂවාදි විසකුරු බලවේග විසින් අවුස්සන අශ්ලීල හා ම්ලේච්ඡ ජාතිවාදය වටා මිනිස්සු එක් රොක් වෙති.
එහෙත් සිංහල-දකුණට වඩා දෙමළ-උතුර සිටින්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ පිපාසාවකිනි. ඔවුන්ගේ ආර්ථික පීඩිතභාවය හා දේශපාලන පීඩිතභාවය වෙනම වෙන් කර නිරීක්ෂණය කිරීම අපහසු කරුණකි. දෙමළ ජනතාව මේ මොහොතේදීද ඉල්ලා සිටින්නේ දේශපාලන ප්‍රතිසංස්කරණයකි. එනිසා දෙමළ සමාජ අවකාශය තුළ නව ව්‍යවස්ථාවක් සදහා සුජාතභාවයක් ලබාගැනීම සරල කරුණකි.
ව්‍යවස්ථා වෙනසකට සිංහල
බෞද්ධ සමාජයේ අනුමැතිය
සමාජයේ පවතින මැද පන්තිය ආණ්ඩුව සමඟ පසු වන්නේ කේන්තියෙනි. ආණ්ඩුව දේශපාලන වෙනස්කම් පසෙක තබා ආර්ථික වෙනස්කම් කරන්නට යෑමත්, ඒ ආර්ථික වෙනස්කම් නිසා මැද පන්තිය පීඩනයට පත් වීමත් ඊට හේතුවයි. ධනපති පන්තිය තුළ බහුල ලෙස නියෝජනයක් පවතින්නේද සාම්ප්‍රදායික ධනපතියන්ට නොව, ධනය ඇති සමාජ තීරුවටය. ඒ ධනය ඇති සමාජතීරුව බොහෝ විට ගනුදෙනු කරන්නේ හා සබඳතා පවත්වන්නේ ආණ්ඩුව සමඟ නොවේ. ආණ්ඩුවට පවා ඔවුන් සමඟ සබඳතා පවත්වාගෙන යෑමට ශක්තිමත් මිතුරු බලවේගයන් නැත. අතිවිශාල කළු ආර්ථිකයක් පවත්වාගෙන යමින් මේ ධනවත් සමාජතීරුව ශක්තිමත් කළේ මහින්ද රාජපක්ෂයි. එනිසා ඔවුන් ආණ්ඩුව සමඟ සබඳතා පවත්වන්නේ නැත. ආණ්ඩුව සමඟ යහපත් මිතුරුකම් පවත්වන්නේ සාම්ප්‍රදායික ධනපති පන්තිය පමණි.
ආන්තික සමාජතීරුවේ කෝපය
ඊළඟට සමාජයේ ශක්තිමත් ජනකොටස වන්නේ ආන්තික සමාජතීරුවයි. ග්‍රාමීය සමාජයේ ආන්තික ජනකොටස ජීවත් වන්නේද බරපතළ අපහසුවකිනි. ජීවන වියදම ඉහළ නැඟීම අතිසාර්ථක නිසා ඔවුන් ජීවත් වන්නේ දැඩි කම්පනයකිනි. එනිසා ඔවුන් ආණ්ඩුවේ කටයුතු දෙස බලා ඉන්නේ කෝපයෙනි.
2015 ජනවාරි 08 වන විට ලාංකික සමාජය දේශපාලනිකව කේන්ද්‍රගත වී තිබුණේ මීට වෙනස් අයුරකිනි.
ඒ තුළ සිංහල-බෞද්ධ සාතිශය බහුතරය මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතිය හා බද්ධව සිටියහ. ඊට හේතුව වූයේ ඔහු නිරත්තරයෙන් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය වෙනුවෙන් පෙනී සිටි නිසාය. ඊට වඩා අඩු කොටසක් මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි අතර, දෙමළ හා මුස්ලිම් ජන කොටසේ සාතිශය බහුතරය පෙනී සිටියේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙනි. ඒ අනුව සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී හා නිදහස් අභිලාශයන් වෙනුවෙන් බහුතරය පෙනී සිටි අතර, ඊට වඩා අඩු සුළුතරය පෙනී සිටියේ ආඥාදායකත්වය වෙනුවෙනි.
ආණ්ඩුවේ මිතුරු බලවේග ඉතා වේගයෙන් ආණ්ඩුව හැර යමින් සිටින අතර, මහින්ද රාජපක්ෂගේ මිතුරු බලවේග යළි ඔහු වටා ගොනු වෙමින් සිටී. ආණ්ඩුව ක්ෂණිකව බිඳවැටීමේ තර්ජනයක් තවමත් නැත. එසේම මහින්ද රාජපක්ෂ ක්ෂණිකව නැඟී සිටීමක්ද කිසිසේත් සිදු වන්නේ නැත. එහෙත් මේ අලුත් දේශපාලන ප්‍රවණතාව නිසා සමාජය වර්ගවාදය තුළ ගිලී යෑම ඉක්මන් වෙමින් තිබේ. ඒ ඇවිළෙන ගින්නට පිදුරු දමන්නේ නන්නත්තාර රාජපක්ෂවාදී දේශපාලනයයි.
සමාජ කතිකාවකින් තොර
ප්‍රතිසංස්කරණ
එහෙත් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමකින් තොරව ශ්‍රී ලංකාවට අනාගතයක් නොමැත. එනිසා දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයට විසඳුම් දීම උපරිමයෙන් සම්පූර්ණ කළ යුතුව තිබේ. කරන්නට අපහසු දේ පසෙක තිබියදී, කරන්න හැකි දේ කිරීම දෙමළ ජනතාව විසින් තේරුම් ගන්නා බවට සැකයක් ඇති කරගත යුතු නැත.