බාල පොහොර ගැන පරීක්ෂණ දිගටම | Page 10 | සිළුමිණ

බාල පොහොර ගැන පරීක්ෂණ දිගටම

බාල යූරියා මෙට්‍රික් ටොන් 5000ක් රුපියල් දස ලක්ෂ 228ක කොමිස් මුදලක් ලබාගෙන මෙරටට ගෙන්වා ඇතැයි කියන සිදුවීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය හා පොහොර ලේකම් කාර්යාලය දිගටම පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.

මේ අනුව විවිධ පොහොර සමාගම්වල ඇති යූරියා පොහොර සාම්පල ජාතික පොහොර ලේකම් කාර්යාලීය තත්ත්ව පාලන අංශය මගින් දැන් පරීක්ෂා කරන බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් ‘සිළුමිණ’ ට කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලක් පොහොර හා කොමර්ෂල් පොහොර සමාගම් විසින් මේ පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ලබාදී ගොවීන්ට සහන පොහොර ලෙස නිකුත් කිරීමට කටයුතු කරමින් තිබිණි.

ඒ අතරතුර කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාට ලැබුණු තොරතුරක් අනුව එම බාල පොහොර තොගය බෙදාහැරීම නවත්වනු ලැබීය.

 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශද මත මේ පොහොර තොගය මෙරට ගෙන්වා ඇති බවත්, ඒ වෙනුවෙන් එම කමිටුවේ ඇතැම් නිලධාරීන්ට හා මේ ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට අදාළ පොහොර ගෙන්වූ සමාගම විසින් කොමිස් මුදල් ලෙස රුපියල් දස ලක්ෂ 228ක් දී ඇති බවත් වාර්තා වී තිබිණි. මේ අතර ඉදිරියේදීද මේ සමාගම් හා නිලධාරීන් එක්ව තවත් බාල පොහොර තොගයක් මෙරටට ගෙන්වීමට සූදානමින් තිබිණි.

 

 

Comments