තහනම් පළිබෝධනාශක භාවිතය ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි | සිළුමිණ

තහනම් පළිබෝධනාශක භාවිතය ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

අන්තර්ජාතික තහනම් කරන ලද කෘමිනාශක හා වල්නාශක ඇතුළත් පළිබෝධනාශක වර්ග 40ක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන බවට සඳහන් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පසුගියදා අනාවරණය කර තිබිනි.
 
මෙම කාරණය සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ පිළිබඳව තමන්ට කඩිනමින් වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.
 
කෘෂිකර්ම අමාත්‍යාංශය මේ සම්බන්ධව කළ විමසීමක දී පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අන්තර්ජාතික තහනම් කර ඇති පළිබෝධ නාශක මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබා දී නැති බවත්, පරිසර යුක්ති කේන්ද්‍රය පවසන පරිදි අදාල වාර්තාව ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව තමන්ට සොයා බැලීමක් කළ හැකි බව ද හෙතෙම අවධාරණය කළේය.
 
රජය විසින් තහනම් කර තිබෙන පළිබෝධනාශක රට තුළ අලෙවි කිරීම, බෙදාහැරීම හෝ භාවිතා කිරීම තහනම් බවත් කිසියම් පුද්ගලයෙක් එය උල්ලංඝනය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ලේකම් කාර්යාලයට බලය පවරා තිබේ.
 
 
 
 
 
 
 
 
 
 
 

Comments