මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද | සිළුමිණ

මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (30) වීදි සංචාරය කරයි.
 
දළදා මාලිගාව අබියසින් උතුරු දිශාභිමුඛව රාත්‍රී 7.03ට පිටත් වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන්ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.
 
පෙරහර ගෙවදීමෙන් පසු දළදා මාලිගාවේ පෙරහර සතර මහා දේවාල පෙරහර සමඟ අස්ගිරිය ගෙඩිගේ රාජමහා විහාරය (ආදහන මළුව) වෙත ගොස් පෞරාණික චාරිත්‍රානුකූලව පෙරහර කරඬුව එහි තැන්පත් කරනු ලබයි.
 
පසුව සතර මහ දේවාල පෙරහර යළි දේවාල වෙත පැමිණ දේව පූජා පැවැත්වීමෙන් අනතුරුව දිය කැපුම් මංගල්‍යය සඳහා කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ තොට වෙත ගොස් දියකැපුම් මංගල්‍යය සිදු කරනු ලබයි.
 
දිය කපුම් මංගල්‍යය හෙට (31) අලුයම් කාලයේ සිදු කිරීමෙන් පසු සිවු මහා දේවාල පෙරහර කටුකැලේ ගණදෙවි කෝවිල වෙත පැමිණෙයි.
 
එහිදී පූජා පැවැත්වීමෙන් අනතුරුව දේවාල පෙරහර මහනුවර නගර සභා මංසන්ධිය වෙත ගොස් ගෙඩිගේ විහාරයෙන් ගමන් ආරම්භ කරන දළදා මාලිගාවේ පෙරහර හා සම්බන්ධ වෙයි.
 
දළදා මාලිගාවේ පෙරහර හා එක් වන සතර මහා දේවාල පෙරහර ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට පැමිණ මාලිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කොට ගෙවදීමත් සමඟ මෙවර මහනුවර ඇසළ මංගල්‍යය නිමාවට පත්වෙයි.
 

Comments