මුල් වතාවට තනියම නුවර යන්න පිටකොටුවෙන් බස් එකකට නැග්ගෙ එදා. පැය දෙකහමාරක් විතර ගමන් කරල පේරාදෙණියට එන කොට පරිසරයේ වෙනස හොඳට ඇඟට දැනුණා. මට හිතෙන්නෙ ඒ වෙනස දැනෙන්න පටන් ගත්තෙ ගනේතැන්න හන්දිය පහුවෙලා කඩුගන්නාව කන්ද නඟින කොටයි. ගලහ හන්දියෙන් බැහැල කැම්පස් එක පැත්තට යන බස් එකකට නැග්ග මා සෙනෙට් එක ළඟින් බස්සවන්න කියල කොන්දොස්තරට කිව්ව. කොන්දොස්තර ඔළුව වනල එකඟතාව පළ කළා. නමුත් බස් එකේ සිටි මගේ වයසෙ විතර නාඳුනන සහෘදයෙක් "මචං කැම්පස් එකට මේ බස් එකේ යන්න බෑ. මේක මගින් හරවනව. ගලහ යන බස් එකක පලයන්" කියල කිව්ව.
ඒ නාඳුනන සහෘදයගෙ වචනෙ ඇත්ත නැත්ත මම දන්නෙ නැතත් ඒ බස් එකෙන් බැහැල ගලහ යන බස් එකක නැගල කොන්දොස්තරට කිව්වට පස්සෙ මිනිහ මා එක තැනකින් බැස්සුව. එතකොට මට කියනව ඇහුණ "ඒ.ටී. එක ළග බහින්න" කියල. සෙනෙට් එක හොයාගෙන ගිය මට අදාළ නිලධාරිය මුණ ගැහුණ. රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට තෝරාගෙන තිබුණ මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට බඳවා ගන්න කියන එකයි මගේ ඉල්ලීම වුණේ. ඒ සඳහා හුවමාරුවක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට තෝරාගෙන තිබුණු එහෙත් රුහුණු විශ්වවිද්‍යාලයට යන්න කැමැති වුණු අයෙකුගෙ ලිපියක් ද මා රැගෙන ගියා.
මගේ අවශ්‍යතාව අපහසුවකින් තොරව ඉෂ්ට වුණේ ඔහුට වඩා මගේ ලකුණු වැඩි වූ නිසාත් ඒ වනවිටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ එකඟතාව මා ලබාගෙන තිබූ නිසාත් යැයි කිව්වොත් නිවැරැදියි. ඒ කාර්යය සම්පූර්ණ කර ගත් මා මහා මාර්ගයට බැස ආපසු ගලහ හන්දියට එන්නට පටන් ගත්තේ පයින්මයි. ගලහ හන්දියෙන් ඇතුළට ප්‍රවේශ වූ මොහොතේ පටන් මගේ සිත තිබුණේ තැති ගත් ස්වරයකින්. ඊට හේතුව අලුතින් විශ්වවිද්‍යාලයට පැමිණෙන්නන් නවක වදයට ලක්වන බවට සිතට ඇතුළු වී තිබූ ආරංචිය වෙන්න පුළුවන්. එනිසා මා ගමන් ගත්තේ වටපිට බලමින් එවැනි සතුරු ප්‍රහාරයක් එල්ල වේදෝයි විමසිල්ලෙන්.
පසුව හදුනා ගත් පරිදි අරුණාචලම් ශාලාව අසලින් එතරම් බියකින් තොරව මා ඇවිදගෙන ආවේ එහි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් සිටින බවක් නොදුටු නිසයි.
එහෙත් අල්විස් පොකුණ අසලට ළංවූ පසුව පැහැදිලිව පෙනෙන්නට වූයේ ජයතිලක ශාලාව අසල ජෙෂ්ඨයන් සිටින බවයි. ජයතිලක ශාලාව ඉදිරිපිට බංකුවක තවත් පිරිසක් වාඩි වී සිටින අන්දම මා ඇද දැම්මේ බියගුලු තත්ත්වයකටයි.
මා සිතුවේම ඔවුන්ගේ ප්‍රහාරයකට මා ලක්වේය යන්නයි. එනිසා මා පැමිණි ගලහට යන ප්‍රධාන මාර්ගයෙන් ඉවත් වූ විට අල්විස් පොකුණ අසලින් විද්‍යා පීඨය දෙසට වූ අඩි පාර දුටු විට මගේ සිතට දැනුනේ ක්ෂණික සැහැල්ලුවක්. ඒ සැහැල්ලුව ඇති කළේ වෙහෙසකර දුරක් දරා ගෙන ආ විශාල බරක් බිම තැබුවටත් වඩා අමුතු හැඟීමක්.
මා විද්‍යා පීඨය ඇතුළට ගොස් පීඨාධිපති කාර්යාලයෙන් අවශ්‍ය ඉතිරි වැඩ කොටස ද කර ගත්තේ සහකාර ලේඛකාධිකාරිගේ උදව්වෙන්. ඔහුගේ දැඩි මතය වුණේ මා වහාම දේශනවලට සහභාගී විය යුතු බවයි. ඊට හේතුව ඒ වන විටත් එහි බඳවා ගැනීම් සිදු කර දේශන ආරම්භ කර තිබීමයි. ඉක්මනින් විශ්ව විද්‍යාලයට පැමිණිය යුතුය යන්න මතුළ ඇති කළේ ගුප්ත බියමුසු තිගැස්මක්.
නැවත විද්‍යා පීඨයෙන් එළියට ආ මා ගලහ හන්දිය දෙසට ඇවිදගෙන එන විට ජයතිලක ශාලාව දෙස නොබැලුවාම නොවෙයි. එහෙත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගේ උකුසු ඇසට මා ලක් නොවීම මගේ වාසනාවක්. ඒ තිගැස්ම ගලහ හන්දියට එනකම්ම තිබුණා යැයි නොකිව්වොත් එය අසත්‍යයක්. අනතුරුව කොළඹ බලා එන බසයකට ගොඩවූ පසුව පෙර පුරුදු සාමාන්‍ය සැහැල්ලුව දැනුණාය කීවොත් එය සත්‍යයක්.
විශ්වවිද්‍යාල නවක වදය සම්බන්ධයෙන් මගේ සිතේ වූ තිගැස්ම මුළුමනින්ම පහව ගියේ ඊටත් මාස කිහිපයකට පසුවයි. මට එය වරෙක ත්‍රාසයට ද වරෙක සුන්දරත්වයට ද හේතු වූවාට විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වූ සැලකිය යුතු පිරිසකට එය අමිහිරි අත්දැකීමක් වූවාට නිසැකයි.
ඊට හේතුව වන්නේ විශ්වවිද්‍යාල නවක වදය ශිෂ්‍ය දේශපාලනයට ද ඝෘජුව සම්බන්ධව තිබීමයි. මට පසුව අවබෝධ වූයේ විශ්වවිද්‍යාල නවක වදය යම්කිසි සමාජ ඉල්ලුමක මෙන්ම යම්කිසි සමාජ ව්‍යසනයක ද ප්‍රතිඵලයක් බවයි.
රජය විශ්වවිද්‍යාල නවක වදය නතර කිරීමට දැඩි නීති රීති ගෙනාවත් අද වෙනකම් එය නතර කරන්නට නොහැකිවීම හාස්‍යයක්. විශ්වවිද්‍යාල ඇදුරන් ද නවක වදය නතර කරන්නට නොගත් වෙහෙසක් නොමැතිවීමත් ඔවුන් ද අසමත්වීම කනගාටුවක්. එහෙත් මේ කිසිවකු විශ්වවිද්‍යාල ප්‍රජාවේ සමාජමය බිඳ වැටීමට පිළියම් නොකර එහි ඵලයන් අතුගා දෑමීමට මහන්සිවීම අපරාධයක්.විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන්නේ සමාජයේ එකම හා සමාන වූ පැතිකඩක තරුණ තරුණියන් නෙවෙයි. එනිසාම ඔවුන් විවිධ සමාජ මට්ටම්වලට අයත්වූවන්. එවැනි තරුණ තරුණියන්ගේ පෞරුෂය ද විවිධ මට්ටම්වල තිබීම නොසලකා නොහැරිය යුත්තක්. නවක වදය අවසන් කරන්නට තැත් දරන්නන් මහන්සි වී තේරුම් ගත යුත්තේ මේ සමාජ පැතිකඩේ විවිධත්වයයි.
එම විවිධත්වය තේරුම්ගෙන සමාජයේ පෞරුෂය ගොඩනංවන්නට මහන්සිවීමත් ඊට වැඩපිළිවෙළක් සකස් කිරීමත් නවක වදය අවසන් කිරීමේ පුළුල් වැඩසටහනේ මූලික පදනම යි.
අබරන්