වම, විමුක්ති ව්‍යාපාරය හා දේශපාලන මිනීමෝරු | සිළුමිණ

වම, විමුක්ති ව්‍යාපාරය හා දේශපාලන මිනීමෝරු

 පවතින්නා වූ ධනේශ්වර දේශපාලනයට ආකෘතිමය ලෙස විකල්ප වූ කොමියුනිස්ට් සමාජයක් ඉලක්ක වූ දේශපාලන ධාරාවක් විමුක්ති ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකිය. එවැන්නක් ජන වහරේ දී හඳුන්වනු ලබන්නේ වාමාංශික දේශපාලනය යනුවෙනි. එවැනි වාමාංශයක් ඉතිහාසයේ දී ලංකාවේ තිබුණි. එය විප්ලවීය වන්නට ඇත. සමාජ ප්‍රතිසංස්කරණවාදී වන්නට ඇත. එහෙත් ඒ වාමාංශික දේශපාලනය අද ලංකාවේ දකින්නට නැත.

වාමාංශික දේශපාලනයක් ක්‍රියාත්මකවේදැයි බැලිය හැක්කේ එසවෙන රතු කොඩි සංඛ්‍යාව අනුව නොවේ. රතු බැනර සංඛ්‍යාව අනුව ද නොවේ. අඳින රතු කමීස සංඛ්‍යාව අනුව ද නොවේ. ලාංකික සමාජයේ වාමාංශික දේශපාලනයට අධිපති බලයක් ඇතැයි කිව හැක්කේ එක්කෝ ඔවුන් මැතිවරණ දේශපාලනයේ දී ලබන ජය අනුව ය. නැත්නම් දේශපාලන අවකාශය තුළ අධිපති මතවාදී බලයක් පවත්වාගෙන යෑම අනුවය. කනගාටුවෙන් වුවද කිව යුත්තේ ලාංකික සමාජයේ එවැනි වාමාංශික දේශපාලනයක් අද නොමැති බවය.

අසූව දශකයේ අග භාගයේ ද පැරණි වමාංශික පක්ෂවල සාමාජිකයෝ ගම්වල සිටියහ. ඔවුන්ට දේශපාලනය සම්බන්ධයෙන් අපූරු කියවීමක් තිබුණි. ඔවුන්ගේ මතවලට ගමේ තිබූ ආධිපත්‍යය කොතෙක්දැයි කිවහොත් ගමේ යූඑන්පීකාරයන්ගෙන් පවා ඔවුන්ට ගෞරවයක් ලැබුණි. එනිසා ඔවුන්ට දේශපාලනිකව එකඟ නොවන අය අතර පවා පිළිගැනීමක් ලැබුණි. අතීත වමේ දේශපාලනයේ සුන්දරත්වය හා ශක්තිය එයයි.

නමුත් වමාංශික යැයි තමන්ම හඳුන්වා ගන්නා අද ඉන්නා පුදලයන්ට එවැනි සමාජ බලයක් නොමැත. එසේම ඔවුන් නියෝජනය කරන දේශපාලන කණ්ඩායම්වලට ද එවැනි සමාජ බලයක් නොමැත. සමාජයේ කිසිම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් නිවැරැදි විශ්ලේෂණයක් ඔවුන් සතුව නොමැත. තිබුණත් ඒවා විමුක්තිවාදී විකල්ප දේශපාලනික අර්ථයෙන් යුත් විශ්ලේෂණයන් නොවේ. ආකෘතිමය ලෙසින්ම පවතින වමේ යැයි කියන දේශපාලන ව්‍යාපාර හුදු සුබසාධනවාදී ජාතික රාජ්‍යයක් ඉලක්ක කර ගත්තකි. එහෙත් ඒවායේ ක්‍රියාධරයන් පවසන්නේ තමන් විප්ලවවාදී බව ය. ඇත්තටම ඔවුන් විප්ලවවාදී නොවේ.

වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් භෞතිකය නොවූ සමාජයක ඒ වෙනුවෙන් චිත්ත රූප මවා ගැනීම මානසික ව්‍යාධියක් විය හැකිය. ඊට හේතුව භෞතිකව නැති යමක් පවතී යැයි සලකා දේශපාලනය කිරීම සංකීර්ණ බැවිනි. එහෙත් එවැනි මනෝ තත්ත්වයක් වාමාංශික යැයි කියා ගන්නා දේශපාලන කවවල සක්‍රීය පුද්ගලයන්ට අවශ්‍ය ය. ඔවුන් බොහෝ දෙනෙක් ග්‍රාමීය පහළ මැද පන්තියට අයත් ය. නැත්නම් ග්‍රාමීය පීඩිත පන්තියට අයත් ය. එසේත් නැත්නම් අග නාගරිකයේ හා නාගරිකයේ ඉහළ මැද පන්තියට අයත් ය. මේ සියලු සමාජ තීරු වමේ දේශපාලනයට ආශක්ත වන්නේ පන්ති හැඟීමෙන් නොවේ. ඔවුන්ට ඇත්තේ අනන්‍යතා අර්බූදයකි. ඒ සඳහා කොළඹ අග නාගරිකයට කේන්ද්‍ර ගත වී "වාමාංශික දේශපාලනයක" එකට එකතු වෙති.

මේ සමාජ තීරු එකට එකතු වන දේශපාලන කණ්ඩායම තමන් වාමාංශික යැයි වර නගා ගැනීමට අතිශයින් කැමැතිය. ඊට හේතුව වාමාංශික දේශපාලනික අවකාශයක තමන්ගේ අනන්‍යතා අර්බූදයට විසදුම් ලැබෙන නිසා ය. එනිසා නැති වමක් ගැන නන්දොඩවන අතර ඒ වම කොහේදැයි ප්‍රශ්න කළ විට වෘත්තීය සමිති, වැඩ වර්ජන හා වැඩපළවල කාර්මික ආරාවුල් ගැන පැහැදිලි කරති. එහෙත් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ප්‍රතිසංස්කරණවාදී දේශපාලනය මිස සෑමවිටම වාමාංශික නොවේ.

මේ ඊනියා වාමාංශිකයන්ට වමක් අවශ්‍ය වන්නේ තම අනන්‍යතාව රැක ගැනීමට ය. ඔවුන් දේශපාලනයෙන් මැද පාන්තික වේ. එනිසා ඔවුන්ගේ දේශපාලනය ද මැද පාන්තික වේ. ඒ අර්ථයෙන් ලංකාවේ ඊනියා වම සමන්විත වන්නේ මැද පාන්තික දේශපාලන අවශ්‍යතාවන්ගෙනි.

විමුක්ති ව්‍යාපාරයක් හැමවිටම දේශපාලනයේ ආකෘතිමය පරිවර්තනයක් තුළින් විකල්ප අවකාශයක වූ සමාජයක් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එහෙත් ප්‍රකෘති සමාජයෙන් වෙන්ව හුදු විප්ලවය වෙනුවෙන් පමණක් පෙනී සිටීම පොතේගුරුවාදී වේ. විප්ලවීය විමුක්ති ව්‍යාපාරයක් ධනපති සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීම ආනන්තර්ය පාප කර්මයක් නොවේ. එසේම එම විමුක්ති ව්‍යාපාරයට සමාජය තුළ දේශපාලනය කළ හැක්කේම ප්‍රකෘති සමාජයේ දේශපාලන ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වන්නේ නම් පමණි. එසේ මැදිහත්වීම න්‍යායික වරදක් ලෙස දකින්නේම පොතේගුරුවාදී විමුක්තිවාදීහු ය.

ධනපති ප්‍රජාතන්ත්‍රවාදීහු සමාජ ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා සටන් කිරීම විමුක්තිවාදී දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් කර ගැනීම අනිවාර්ය වේ. එහි දී විශේෂම කරුණ වන්නේ ධනපති පන්තිය සමඟ අවබෝධාත්මක දේශපාලනයක් කරන්නේ කෙසේද යන්නයි. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්වූයේ මැදමුලනේ පදිංචි වෙමිනි. ඒ දේශපාලන මැදිහත්වීම තුළ මහින්ද රාජපක්ෂ පිළිබඳවත් ඔහුගේ පක්ෂය පිළිබදවත් දේශපාලනික විවේචනයක් තබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය නොවීය. ඔවුන් ධනපති ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට උත්සාහ ගත්තේ ධනපති පන්තියේ කොටසක් වෙමිනි. එහෙත් එය න්‍යායිකව හා උපක්‍රමිකව අවලංගු ක්‍රමයකි. විමුක්ති ව්‍යාපාරයක් කළ යුත්තේ දේශපාලන මැදිහත්වීමක් මිස ධනපති පන්තියේ නියෝජිතයා වීම නොවේ.

2019 හා 2020 වර්ෂ ලංකා දේශපාලනය තුළ යළිත් තීරණාත්මක දෙවසරක් වන්නේ ය. ඒ තීරණාත්මක දේශපාලන මොහොත තුළ විමුක්ති ව්‍යාපාරයකට නිහඬව සිටිය නොහැක. එසේම ධනපති පන්තියේ වහලුන් ද විය නොහැක. එනිසා ඔවුන් අනිවාර්යෙන්ම කළ යුත්තේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම සඳහා දේශපාලන මැදිහත්වීමකි. ඒ මැදිහත්වීම විමුක්ති ව්‍යාපාරයක ආභාසය තුළින් කරන්නේ නම් වඩා නිවැරැදි දේශපාලන තීන්දුවක් ගැනීමට සමාජයට පහසු වන්නේ ය.

දේශපාලන මිනී මෝරුන් පරාජය කර ධනපති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සමාජය තුළ තහවුරු කළ හැක්කේ එවිට ය.

අබරන්

Comments