දුප්පත්කම පස්සෙන් එයි | Page 4 | සිළුමිණ

දුප්පත්කම පස්සෙන් එයි

පෝලන්තයේ එක්තරා දුෂ්කර ගමක දුප්පත් ගොවියෙක් හිටියා. මොහු අවංකයි. ඒ වගේම කම්මැළි නැතිව වැඩ කළා. උදේ සිට රෑ වනතුරු කුඹුරු කොටමින් වපුරමින් වැඩ කළත් ගොවිපොළ අයිතිකරු ඔහුට ගෙව්වේ සොච්චමක්. ඒ ඉඩම් අයිතිකරු මසුරෙක් නිසයි.

මේ ගොවියටයි බිරියටයි ලස්සන දූවරු හය දෙනෙක් හිටියා. ගොවියාට මේ දරුවො මුළු ලෝකෙම තියෙන රත්රන්වලට වඩා වටිනවා. ගොවියාගේ වැඩිමල් දියණියගේ වයස අවුරුදු 16යි. දිනක් ඉඩම් අයිතිකරු ගොවියාගේ නිවෙසට පැමිණ සිටියදී වැඩිමල් දියණිය දැක ඇය හා විවාහ වීමට කැමැත්ත පළ කළා.

“මා ඔබගේ දියණිය විවාහ කර ගතහොත් ඔබට නොසිතන තරම් මුදල් දීමට පොරොන්දු වෙනවා.” ඉඩම් හිමියා කිව්වා. නමුත් වැඩිමල් දියණිය මේ මසුරු ඉඩම් හිමියා හා විවාහයට කැමති වුණේ නැහැ.

“අනේ තාත්තේ මං මහන්සිවී වැඩ කර ගෙදරට අවශ්‍ය මුදල් හොයන්නම්. මට ඔය මසුරු මිනිහා සමඟ දීග යන්න බෑ.” ඔහු නික්ම ගියපසු ඇය එසේ කියමින් හඬා වැලපෙන්න ගත්තා.

“දුවේ‍, බයවෙන්න එපා. ඉඩම් හිමියාට පුළුවන් මට රන් කාසි මුට්ටියක් වුණත් දෙන්න. ඒත් මං ඔයා ඒ මිනිහාට දෙන්නේ නැහැ.” ගොවියා සිය දියණිය සැනසුවා.

“මං උඹට පඩි ගෙවන්නේ නැහැ. උඹේ දුවට කියපන් මා එක්ක විවාහ වෙන්න කියලා. නැත්නම් උඹලාට හාමතේ මැරෙන්න වෙයි” වැඩිමල් දියණිය තමා හා විවාහයට අකැමැති බව දැනගත් ඉඩම් හිමියා ගොවියාට තර්ජනය කළා.

“මගේ දුව ඔබට කැමැති නැහැ. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඔබ කැමැති දෙයක් කරන්න.”ගොවියා පැවසුවා. ඒ ඇසූ ඉඩම් හිමියා තරහින් කෑගසමින් ගොවියාට ශාප කළා. ඊට පසු දින ඔහු ගොවියා මුළු දවසම ගිනි අව්වේ වැඩ කරන්න යෙදෙව්වා. ‍ඉන්පසු රාත්‍රිය පුරාත් ගොවියාගෙන් වැඩ ගත්තා.

“උඹේ දුවට කියපන් මා කසාද බඳින්න කියා. නැත්නම් උඹට විවේකයක් දෙන්නේ නෑ.”

“නැහැ මගේ දුව ඔබ හා විවාහ වෙන එකක් නැහැ.” ගොවියා පැවසුවා. මෙලෙස සතියක් පුරා ගොවියා වෙහෙසවී වැඩ කළත් දියණිය මසුරු ඉඩම් හිමියාට විවාහ කර දීමට ඔහු කැමති වුණේ නැහැ. මෙලෙස දිගටම සිදු වෙද්දී මේ ගොවිපොළ අතහැර යෑමට ගොවියාත් බිරියත් තීරණය කළා.

“අපි මෙතැන අතහැර ඈතකට යමු. මට වෙන තැනක වැඩක් හොයා ගන්න පුළුවන් කියා විශ්වාසයි.”

එක් රැයක ගොවි පවුල සිය බඩු පොදි බඳින්න ගත්තා. එසේ වෙද්දී ඔවුන්ගේ නිවෙසේ උදුන යටින් එක් ශබ්දයක් ඇහුණා. මේ ශබ්දය ක්‍රමයෙන් වැඩිවී ඒ යටින් එක්වරම සිහින් දුම් පටලක් මෙන් සුදුමැලි යුවතියක් මතු වුණා. ඒ දුටු ගොවි බිරිය හා දියණියන් බියෙන් කෑ ගැසුවා.

(පෝලන්ත ජන කතාවකි)
(ඉතිරි කොටස ලබන සතියේ)

කතාව සේමාලි නැන්දා
චිත්‍ර - කුමුදු මාමා

Comments