පස හොඳ නම් අඹ හොඳ වේ | Page 2 | සිළුමිණ

පස හොඳ නම් අඹ හොඳ වේ

අඹ යනු සියලු දෙනාම පාහේ එකසේ ප්‍රිය කරන පලතුරකි.උද්භිත විද්‍යාත්මකව Mangifera indica ලෙස හඳුන්වනු ලබන අඹ Anacadiaceae කුලයට අයත් වේ. මෙරට ගෙවතු වගාවල සුලබ පලතුරු බෝගයකි. බද්ධ අඹ පැළ කුඩා ගෙවත්තක වුවත් වගා කළ හැකිය.

දේශගුණය

නිවර්තන හා උප නිවර්තන දේශගුණයන් සඳහා උචිත බෝගයක් වන අඹ ශ්‍රී ලංකාවේ කඳුකරයේ හැර සෙසු කලාපවල ඉතා සාර්ථකව වගා කළ හැකිය. අඹ ගසක පුෂ්ප දැරීම සඳහා සිවු මසක පමණ වියළි කාළගුණයක් පැවතීම අත්‍යවශ්‍ය වේ.

පස

යහපත් පාංශු තත්වයන් යටතේ අඹ පැළ වර්ධනය වේ. එහෙත් ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමට නම් ගෙවත්තේ ජලය හොඳින් බැස යන ස්ථානයක අඹ පැළ සිටුවිය යුතුය.

ප්‍රභේද

විලාඩ්,කර්තකොලම්බන්,ගිරා අඹ,පෙට්ටි අඹ,ටොම් JC වැනි අඹ ප්‍රභේද රාශියක්ම මෙරට ඇත.මේ අතරින් තම ප්‍රදේශයට සුදුසු අඹ ප්‍රභේද තෝරා වගා කිරීම මඟින් ඉහළ ඵලදාවක් ලබා ගත හැකිය.

ජල සැපයුම

ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය හා පාංශු ස්වරූපය අනුව බෝගයට අවශ්‍ය ජල පරිමාව වෙනස් වේ. වියළි කලාපයේ නම් මුල් වසර තුනේදී මනා ජල සැපයුමක් අත්‍යවශ්‍යම වේ. පත්‍ර මේරීමෙන් පසුව පුෂ්ප හට ගන්නා තෙක් කාලයේදී ජල සැපයුම අවශ්‍ය නොවේ.එහෙත් පුෂ්ප හට ගත් පසු ඵලදාව මෝරන තෙක් හා දලු හටගන්නා සමයේ සිට පත්‍ර මේරීම දක්වාත් නිසි ජල සැපයුමක් අත්‍යවශයි වේ. ගෙවත්තක ඇති අඹ ගසකින් නිසි ඵලදාවක් නොලබන්නට ප්‍රධාන හේතුවක් වනුයේ රෝග හා පලිබෝධ හානීන් ය.

රෝග හා පළිබෝධ හානි ඇන්ත්‍රැක්නෝස් රෝගය

මෙය ගෙවත්තේ අඹ ගස් වලට වැලඳෙන සුලබ රෝගයකි.රෝගය හඳුනා ගත හැකි ප්‍රධාන ලක්ෂණයක් වනුයේ අක්‍රමවත් හැඩැති කළු දුඹුරු වර්ණයේ ලප අඹ පත්‍ර හා ඵල වල හට ගෙන තිබීමයි.පුෂ්ප වලටද රෝගය බෝ වූ කල පුෂ්ප කළු වී විනාශ වේ.මෙයට හේතු කාරකය දිලීරයකි.

පාලනය

නිර්දේශිත දිලීර නාශකයක් යෙදීම හා ගසට මනා සූර්යාලෝකයක් ලැබීම සඳහා අනවශ්‍ය අතු ඉති කපා දැමීම .

පලතුරු මැස්සා

පලතුරු වගා වල දක්නට ලැබෙන ප්‍රධාන පලිබෝධකයකි.හානිය වැලඳුණු පසු අඹ ගස් අවට පලතුරු මැස්සන් සිටිනු දක්නට ඇත.ඔවුන්ගේ ශරීරය කහ ඉරි සහිත රතු දුඹුරු පාටින් දිස් වේ . මුලින්ම සිදුරු විද මේරු අඹ ගෙඩි වල බිත්තර දමයි. එහිදී එම සිදුරු වලින් අඹ කිරි ස්‍රාවය වීම සිදුවේ.පසුව අඹ ගෙඩි ඉදුණු විට එතුළ පණුවන් සිටිනුද දැකිය හැකිය. අවසානයේ අඹ ගෙඩි කුණු වී විනාශ වී යයි. මෙමඟින් අඹ ඵලදාව විශාල ලෙස අපතේ යයි.

පාලනය

ගෙඩි ආවරණය කිරීම මඟින් පලතුරු මැස්සාගේ හානියට ලක් වීම පාලනය කළ හැකිය.

තවද අඹ ගස් වලට මනා සූර්යාලෝකයක් පතිත වන ලෙස මැනවින් කප්පාදු කිරීමත් අඹ ගස් වටා ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීමත් වැදගත් වේ.පළතුරු මැස්සාගේ හානිය මැඬලීමට නිර්මිත විශේෂිත ඇමක් ඇති අතර ඒවා අඹ ගස් අවට පරිසරයේ තැබීම මඟින් පලතුරු මැස්සා පාලනය කළ හැකිය.

අස්වනු නෙළීම

අඹ ගෙඩි නෙළා ගත යුත්තේ නිසි කලය .අඹ නෙළීමට සුදුසු අවස්ථාවට පත් වූ විට නටුව වටා ඇති ප්‍රදේශය මඳක් ඉලිප්පුණු ස්වභාවයක් ගනියි,තවද අඹ ගෙඩි ජලයේ ගිලේ.නැතහොත් ගිලී පාවේ. නටුවෙන් වෑස්සී යන අඹ කිරි ප්‍රමාණය අඩු වේ.

අඹ ඵලදාව නෙළීමේදී එයට හානි ගෙන එන එක් අවස්ථාවක් ලෙස අඹ කිරි ශ්‍රාවය හැඳින්විය හැකිය.අඹ කිරි ගෙඩි වල තැවරීම පසු අස්වනු හානීන්ට මුල පිරීමකි.එවිට අඹ ඉදීමේදී ගෙඩි කුණු වීමකට ලක් වී විනාශ වී යයි. එහෙයින් අඹ කිරි ස්‍රාවය අවම වන පරිදි අස්වනු නෙළිය යුතුය. අස්වනු නෙළීමට දවසේ සුදුසුම කාලය නම් උදෑසන දහයේ සිට සවස තුන දක්වා වූ කාලයයි.මෙම කාලය තුළදී අඹ කිරි ස්‍රාවය වීම අවම මට්ටමක පවතියි. තවද කඩන ලද අඹ නටුව පහළට සිටින සේ තැබීමේන් අඹ ගෙඩිවල කිරි තැවරීම අවම කර ගත හැකිය.අනෙක් විශේෂම කරුණ නම් අස්වනු නෙලීමට භාවිත කරන කෙක්ක කෙළවර පැසක් සවි කර කඩන අඹ බිම පතිත වීමට නොදී එය තුළට පතිත වන ලෙස අඹ කැඩීමට පුරුදු වීමයි. මෙමඟින් අඹ තැලී පොඩි වී යාම අවම කර ගත හැකිය.

පූජනී ගුණසේකර

කෘෂිකර්ම පීඨය රුහුණ විශ්වවිද්‍යාලය

Comments