
පැරැණි ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාව පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී ඔවුන් පරිභෝජනය කළාවූ ආහාරපාන නැමැති ප්‍රමුඛ සාධකය ඉතා වැදගත් වේ. මෙරට සිදුවූ සෑම දේශපාලන, ආගමික, සමාජීය හා ආර්ථික ප්‍රබල වෙනස්වීමකට ම අසල්වැසි ඉන්දියාවේ බලපෑම සිදුවූවා නම් මෙරට විසූ ආදි ජනයාගේ ජීවන රටාව කෙරෙහි ද එම බලපෑම එල්ල නොවී සිටිය නොහැකිය.
ඉන්දියාවේ ඉතිහාසය විමසන්නෙකුට ‘මහා භාරතය’ නමැති ග්‍රන්ථය යම්සේ වැදගත් වන්නේ ද, එසේම ශ්‍රී ලාංකික අපට ඉතිහාස තොරතුරු දැනගැනීමේදී ‘වංශ කථා’ ඒ අයුරින් ම වැදගත් වේ. ඊට අමතරව තොරතුරු දැනගැනීමේ තවත් ක්‍රමයකි; ජනප්‍රවාද. ඉහත ක්‍රම දෙක ම පසුබාලමින් වඩාත් ම විශ්වසනීය බවට පෙරමුණට පත්වන්නේ අභිලේඛනවල සඳහන් තොරතුරු ය. මෙම සෙල්ලිපිවලින් හෙළිදරව් වන කරුණු අතර ආගමික සංසිද්ධින්, වාරිමාර්ග පාලන කටයුතු, ග්‍රාම පාලනය, කෘෂිකාර්මික තොරතුරු, නීති හා දඬුවම් පැනවීම් ඉතා විරලව දැකිය වූවද ආහාර-පාන පිළිබඳව ද අභිලේඛනයන් හී සඳහන් වේ. මෙරට භූමිභාගයෙන් වැඩි ප්‍රමාණයක් තැනිතලාවන්ගෙන් යුක්ත වන, වර්ෂයක් තුළදී මෝසම් වැසි වාර දෙකකින් වර්ෂාව ලබාදෙන, රට මැද පිහිටි කඳුකරයෙන් ඇරඹී අවානක හැඩයකින් යුක්තව භූමිය සරුසාර කරමින් සාගර දෙසට ගලා බසින ගංගාවන් 108 කින් සමන්විත, සම ශීත - උෂ්ණ දේශගුණයකින් හෙබි සරු පසක් උරුම වූහ.
වර්ග කිලෝමීටර් 65,996 කින් යුත් ශ්‍රී ලංකාව නැමැති මේ කුඩා මනරම් දිවයින කෘෂිකර්මාන්තයට යෝග්‍ය වූ රටක් බැවින් පෙර පටන් ම කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය විය.
ක්‍රි.පූ. වැනි සියවසේදී පමණ උතුරු ඉන්දියාවේ සිට මෙහි පැමිණි විජය නැමැති ආර්ය කුමාරයාගෙන් මෙරට ඉතිහාසය ඇරැඹේ. ඔහුගේ සගයන් වන අනුරාධ, උපතිස්ස, උරුවෙල, විජිත ආදින් ප්‍රධාන කොට ගත් පිරිස් විවිධ පෙදෙස්වල ගොවිජනපද පිහිටුවා වී වගාව ආරම්භ කරන ලදී.
විජයගෙන් අනතුරුව පණ්ඩුවාසදේවගෙන් ආරම්භ වූ රාජාවලිය රජවරුන් 198 ක් පමණ රජකම් කිරීමෙන් අනතුරුව මහනුවර යුගයේදී රජකළ අන්තිම රජුවන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් අවසන් විය. මේ අතරින් සමහරක් රජවරුන් කෘෂිකර්මික අංශයෙන් කැපී පෙනෙන දියුණුවක් මෙරටට ලබා දුණි.
අනුරාධපුර මුල් යුගයේදී පණ්ඩුකාභය රජු විසින් ‘අභයවැව’ ද, පොළොන්නරු යුගයේදී පරාක්‍රමබාහු රජතුමා විසින් ‘පරාක්‍රම සමුද්‍රය’ වැනි සුවිශාල වැව් නවා කෘෂිකර්මාන්තයට ප්‍රමුඛ තැනක් හිමිකර දුණි. මෙ නයින් බලන විට වී ගොවිතැන අප රට තුළ අවිජින්නව පැවැති බවට සාධක ඇත.
කෘෂිකර්මාන්තය ගැන වංශකථාවන්හි සඳහන් වන්නේ ‘කසිකම්ම’ යනුවෙනි. සංස්කෘත භාෂාවෙන් ‘ක්‍රිසි’ යන්නෙන් ද, පාළි භාෂාවේදි ‘කසි’ යන්නෙන් ද යෙදේ. එසේ ම ‘කස කම්ම’ හෝ ‘සසකම්ම’ යනු ගොවිතැනට පර්යාය පදයකි. ‘සස’ යන්නෙහි අදහස ‘ශෂ්‍ය’ හෙවත් වැවිලි යන්නයි.
‘කසක’ යන වදනේ අර්ථය ගොවිතැන් කරන්නා යනුයි. මේ වදන සිතුල්පව් විහාරයේ ආදිම අභිලේඛනයක මෙසේ සඳහන් වේ. ‘කසක වාණිජ සිවශ ලෙනේ’. කසක (ඉඩම් හිමි වැවිලිකරු) ගේ සහ වාණිජ (ධනවත් ව්‍යාපාරික) සිවගේ ලෙන යනුවෙන් අර්ථ ගැන්විය හැකිය.
(අභිලේඛන ඇසුරින්)