
බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දේශනා කළ පරිදි සැදැහැවත් බෞද්ධයෙකු විසින් දැක වැද පුදා ගත යුතු පුද බිම් සතරකි. සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදුවූ මෙකල නේපාලයෙහි පිහිටි ලුම්බිනි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බුද්ධගයාව බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ධර්මදේශනය වූ ධම්ම චක්කපවත්තන සූත්‍රය දේශනා කළ සාරානාතය සහ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ කුසිනාරාවේ මල්ලරජ දරුවන්ගේ සල් උයනය.
මේ පුදබිම් පමණක් නොව එකල ජම්බුද්වීපයේ බොහෝ පුදබිම් (බුදු රජාණන් වහන්සේ හා සම්බන්ධවූ) වන්දනාවේ ගිය ශ්‍රේෂ්ඨ අධිරාජයෙක් ක්‍රිස්තු පූර්ව 273 හා 232 අතර කාලයේදී රජ කළේ ය. ඒ රජතුමා නම් අසෝක රජතුමා ය. අසෝක යන නාමය ඒ රජතුමාගේ සිය ගණනක් වූ ශිලා ලේඛනවලින් සඳහන් කර ඇත්තේ දෙකක පමණි. ඒ දෙක නම් 1915 දී සොයා ගන්නා ලද මස්කි සුළු ගිරි ලිපිය සහ ඊට පසුකාලයේදී හමුවූ ගුජර්ණ සුළු ගිරි ලිපියෙහි පමණි. අනික් සියලුම ශිලා ලේඛන දෙවනපිය පියදසි ප්‍රියදර්ශි යන නාම යොදා ඇති බව ඉතා ප්‍රකට කරුණකි.
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූයේ මෙකල නේපාලයේ ලුම්බිනි සල් උයනේ බව බෞද්ධ සාහිත්‍යයට අයත් දීඝ නිකායෙහිදී සඳහන් වී ඇත. ඉහතින් සඳහන් කරන ලද අසෝක රජතුමා එතුමාගේ විසිවැනි රාජ වර්ෂයේදී ලුම්බිනි පුද බිමට තමාම පැමිණි බවත් එහි සාක්‍යමුණි බුදුරජාණන් වහන්සේ උපන් පුදබිම බවත් එම ටැම් ලිපියේ අවස්ථා දෙකකදීම සඳහන් කර ඇත. ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේදී සිය අභිශේකයෙන් විසිවැනි වර්ෂයේ මේ පුදබිමෙහි පිහිටුවන ලද ඒ ලුම්බිනි ටැම් ලිපිය ඊට පසු කාලයේදී ක්‍රි.ව. 406 දී පාහියන් හිමියන් ද ක්‍රි.ව. 637 දී හියුංෂාං හිමියන් ද යන චීන භික්ෂූන් වහන්සේලා ද මෙම පුදබිමට පැමිණි බව උන්වහන්සේලාගේ සංචාරක වාර්තාවල ද සඳහන් වන කරුණකි.
මෙහිදී ඉතා වැදගත් වන්නේ ඒ භික්ෂූන් වහන්සේ දෙනම විසින් ම මායාදේවි පොකුණ ද මායාදේවි විහාරය ද අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ටැඹ ගැන ද දීර්ඝ වශයෙන් විස්තර කර තිබීමයි. මෙය සැබවින් ම පසු කාලයේදී පුරාවිද්‍යාව යන විෂය හා ඉතිහාසය පිළිබඳ විද්වතුන්ට සිදුහත් උපත සිදූවූ පුදබිම පිළිබඳ අවිවාදිතව ම දැනගැනීමට අවස්ථාව සැලසූ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ලේඛන ලෙසින් සඳහන් කළ යුතුව ඇත. මේ අතරේ හියුංෂාං හිමියන් ඉතා දීර්ඝ විස්තරයක් සිය වාර්තාවේ සඳහන් කරමින් මෙසේ ප්‍රකාශ කර ඇත.
“මහා මායාදේවිය ස්නානය කළ මෙම උද්‍යානයෙහි ශාක්‍යයන්ගේ ඉතා අලංකාර පොකුණක් ඇත. ඊට අස් විස්සක් පමණ දුරින් සිදුහත් කුමරු උපන් ස්ථානයෙහි පිහිටි වෘක්ෂයකි. අලුත උපන් සිදුහත් කුමරු පිළිගැනීම සඳහා ක්‍රියා කළ ඉන්ද්‍ර දෙවියා වෙනුවෙන් ද සතර වරම් දෙවිවරුන් වෙනුවෙන් ද ඉදි කළ ස්තූප පහක් ද වේ. අසෝක රජතුමා විසින් පිහිටු වන ලද ශිලා ස්තම්භයක් ද මෙහි වේ. මායා දේවි විහාරය ද මෙහි දක්නට ලැබේ.
(BUDDHIST SRINES IN INDIA – D.C. AHIR (1986) P.3 INDIA)
(2013 ලුම්බිනි පුදබිම් සිදු කළ පර්යේෂණාත්මක කැණීම)
1990 දශකයේ මුල් කාලයේදී ලංකාවේ අනුරාධපුර සල්ගහවත්ත කැණීම් සඳහා ද පැමිණි මෙකල එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ප්‍රධානියාවූ ද පුරාවිද්‍යා මහාචාර්යවරයා වූ ද මහාචාර්ය රොබින් කොනිංහැම් විද්වතා ප්‍රමුඛ නේපාල සහ ජපන් පුරාවිද්‍යාඥයන් 40 ක් පමණ සංඛ්‍යාවකගේ ඉමහත් කැපවීමෙන් 2011 වර්ෂයේදී ආරම්භ කරන ලද ලුම්බිනි උයනේ මායාදේවි විහාරයෙහි කරන ලද මෙ සියවසේ ඉතා විශිෂ්ට පුරාවිද්‍යාත්මක කැණීමක් හැටියට ලොව පුරා සිටින පුරාවිද්‍යාඥයින්ගේ අගැයුමට ලක්වී ඇත.
මෙහි ප්‍රතිඵල නිකුත් වූයේ 2013 නොවැම්බර් අග භාගයේදී ය. ඒ අනුව මහාචාර්ය රොබින් කොනිංහැම් සඳහන් කරන පරිදි මෙම මායාදේවි විහාරයෙහි තිබූ වෘක්ෂයක කොටස් මීටර් දෙකක් පමණ යටින් හමුවී ඇත. එපමණක් ද නොවේ මෙම වෘක්ෂය මැදිකොට වහලක් නැත.
ඝරයක් විහාරයක් ද සාදා ඇත. ඒ ගෙය වටා දැවවලින් ආවරණයක් ද නිර්මාණය කර ඇත. මේවා සියල්ලම විද්‍යාත්මක කාලනිර්ණයට භාජනය කරන ලදුව එය ක්‍රිස්තු පූර්ව හයවන සියවසට අයත් බව ජාත්‍යන්තර ජනමාධ්‍යයන් මඟින් ප්‍රකාශයට පත් කර ඇත. මෙය බෞද්ධ සාහිත්‍යයන් පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ ජනශ්‍රැති ද විශේෂයෙන් ම ලංකාවේ වංසකතාවල සඳහන් කරුණු ද තහවුරු කරවන කරුණක් බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
එසේ වුව ද මීට ඉහත දී පවා නේපාලයේ පුරාවිද්‍යාඥයින් විසින් මෙම පුදබිම (මායාදේවි විහාර පරිශ්‍රය හාරා අනෙකුත් සියලුම ස්ථාන ආවරණය වන අන්දමින් පර්යේෂණාත්මක කැණීම් සිදුකර ඇති බව පුරාවිද්‍යාව විෂය හදාරන විද්වතුන්ට අමුතු කරුණක් නොවනු ඇත. 1896 දී ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයෙකු වූ ඇන්ටන් පූෂේ විසින් අසෝක ශිලා ස්තම්භය සොයා ගැනීම පිළිබඳව ද නේපාල පුරාවිද්‍යාඥයින් අතර මතභේද ඇත. කෙසේ හෝ මේ අශෝක ශිලා ස්තම්භය හමුවීමෙන් පසුව 1933 දී මෙහි පුරාවිද්‍යා කැණීමක් සිදු කළත් එය අසාර්ථක විය. එහෙත් මායාදේවි විහාරය මේ අවස්ථාවේදී අවධානයට ලක්වී ඇත. එමෙන් ම මායාදේවි පොකුණ ද යන ඒ පුරාණ ස්ථාන දෙක සංරක්ෂණය කර ඇත.
ප්‍රථම පුරාවිද්‍යාත්මක කැණීමක් සිදුකරන ලද්දේ 1970 සිට 1971 වර්ෂයේදී බව වාර්තාගත කර ඇත. අසෝක රජුගේ ලුමිබිනි ටැම් ලිපියෙහි ලුම්බිනි ගාමේ යනුවෙන් වචන දෙකක් සඳහන් කර ඇත. එම ලුම්බිනි ග්‍රාමය සොයා ගැනීම එම කැණීමේ මූලික පරමාර්ථය වූයේ ය. බුද්ධ කාලයේ මානව ජනාවාස තිබුණු බවට එම කැණීමේදී අනාවරණය වූ කරුණකි. උත්තර කාලවර්ණ මැටි බඳුන්වලින් මේ බව සනාථ වී ඇත.
ඒවා හමුවීම නිසා මෙම පුදබිම විද්‍යාත්මකවම ඒ බව සනාථවේ. අසෝක රජු විසින් මෙහි ක්‍රි.පූ. 3 වන සියවසේදී ශිලා ස්තම්භය පිහිටුවීමෙන් පසුව ක්‍රිස්තු පූර්ව 6 වන සියවසට පසුව නැවත වරක් මානව ජනාවාස ලුම්බිනි පරිශ්‍රයෙහි දක්නට ලැබුණු බව මෙම කැණීමෙන් අනාවරණයවූ ඉතා වැදගත් කරුණක් ලෙසින් පුරාවිද්‍යාඥයෝ සලකති. මේ බව මෙම ලුම්බිනි භූමි පරිශ්‍රයවූ ගොඩැල්ල කැණීමට භාජනය කිරීමෙන් අනාවරණය වූයේ ය. එහිදී බුද්ධ කාලයේ සිට ක්‍රි.ව. 5 වන සියවස (ගුප්ත රාජා යුගය තෙක් අයත් වන පුරාවස්තු හමුවී ඇත. ස්තර දහයක් එම කැණීම සිදුකර ඇත. එහි යටම ස්තරයෙහි උත්තර කාලවර්රණ මැටි බඳුන් හමුවී ඇත. ඒවා බුද්ධ කාලයට ක්‍රි.පූ. 6 වන සියවසට අයත් ය.
(ARCHAEOLOGICAL REMAINS OF KAPILAVASTU, LUMBINI and DEVDAHA BABU KRISHNA RIJAL – P.P. 15 – 16 (1979)
එම නිසා මෙම මහාචාර්ය රොබින් කනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් විසින් ප්‍රථම වරට මෙම ලුම්බිනියේ මහාමායා දේවි උයනේ සිදුකරන ලද එම පුරාවිද්‍යාත්මක කැණීම මඟින් ක්‍රි.පූ. 6 වන සියවසේදී සිදුහත් උපත සිදුවූ බව සඳහන් කිරීම සැබවින් බෞද්ධ ජනතාවගේ පමණක් නොව මේ පිළිබඳ උනන්දුවක් දක්වන ජනතාවට ද පුරාවිද්‍යාඥයින්ට ද ඉතා විශේෂිත වූ පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් ලෙසින් අගය කළ යුතුව ඇත.
අප ඉහතින් සඳහන් කරන ලද (නේපාලයේ පුරාවිද්‍යාඥයන් සිදුකළ) කැණීම් අනුව මෙම ලුම්බිනි පුදබිම් බවට එයින් හමුවූ පුරාවස්තු සාක්ෂි දරන බවත් එය නැවත වරක් ස්ථිර සාර ලෙසින් ම මහාචාර්ය රොබින් කනිංහැම් ගේ කැණීමෙන් තහවුරු වූ බවත් මෙහිදී අවධාරණය කළ යුතුව ඇත.