
අභිනව පිරුවානා පොත් වහන්සේ නමක් සරසවි ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය මඟින් නොබෝදා ප්‍රකාශයට පත් කර තිබේ. එය සංස්කරණය කිරීමේ වගකීම දරා ඇත්තේ ශාසන, ශාස්ත්‍රීය වශයෙන් නිහඬ සේවයක නියැළෙන රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පදියතලාවේ අරමවංශ නම් තරුණ භික්ෂුන් වහන්සේ නමකි. විනයධර, ධර්මධර, වයෝවෘද්ධ වශයෙන් භික්ෂුන් වහන්සේගේ පරිපුර්ණතා හඳුනා ගන්නා විට ඉතා පුජනීය වගකීම් සහිත තැනක වඩා හිඳුවාලන පිරුවානා පොත් වහන්සේ අත්දැකීම් බහුල නොවෙතැයි හැඟෙන තරුණ භික්ෂුන් වහන්සේ නමක විසින් සංස්කරණය කිරීම ප්‍රශ්නගත කරුණක් නොවේදැයි කුකුසින්ම අමරවංශ හිමියන් සමඟ සංවාදයට එළඹීමි.
ඉහත පසුබිම යටතේ පිරුවානා පොත්වහන්සේගේ අභිනව සංස්කරණය සාධාරණිකරණය කරන්නේ කෙසේද ?
ඇත්තෙන්ම වඩ වඩාත් අත් දැකීම් ලබා ගැනීමට කාල ගමන් මඟ ප්‍රයෝජනවත්. පිරුවානා පොත් වහන්සේ වැනි සද්කාර්යයකට පිවිසීමට අවැසි නිවැරදිදේ දැකීමට සමත්, විමර්ශනශීලී තාරුණ්‍යයේ ගුණයද අමතර වාසියක් විය හැකියි. මේ සියලු සංකලනයන්ගේ අවසන් ඵලය සාර්ථක නම් එයයි වැදගත් වන්නේ.
මේ බැරෑරුම් කාර්යට අතපෙවීම පිළිබඳව සුදුසුකම් සපුරා ගැනීම ගැන විස්තර කළහොත්?
මා පැවිදි වී දැනට වසර විස්සක් පමණ වෙනවා. මා වැඩ වසන්නේ අගනගරයෙන් අතිශය දුරස්ථ වු දඹාන මාවරගල අරණ්‍ය සේනාසනයේ එතැන ඇති පාරිසරික සාධක විවේක බුද්ධිය කුළුගන්වන සුළු බවද වාසියක්. පිරිවෙන් අධ්‍යාපනයේදී මා හැමදාම පළමුවැනියා මිස, දෙවැනියා වී නැහැ. උසස් පෙළ ඉතා ඉහළින් සමත් වෙලා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවා. එහිදී පණ්ඩිත උපාධිය ලබා ගත්තා. පාලි විෂයේ ප්‍රකෘත භාෂා ප්‍රශ්න පත්‍රයට ලංකාවේ වැඩිම ලකුණු ලබා ගනිමින් සම්මානයක් පවා හිමි කරගත්තා. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ගත්තා පසුව පිරිවෙනක සංස්කෘත විෂය භාර ගුරුවරයකු වශයෙන් ද සේවය කළා. දැනට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයකු වශයෙන් සේවය කරනවා. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි දක්වන ඇල්ම සහ උනන්දුව නිසා ම ශාස්ත්‍රීය ග්‍රන්ථ කරණයටද එළඹුණා.
මේ සියල්ලටම වඩා සම්ප්‍රදායට වගකිව යුතු නව පිරුවානා පොත් වහන්සේ ගුණාත්මක ලකුණද නිරවද්‍යතාවයේ සහතිකය ද සමඟ කළ සංස්කරණය ගැන කිවහොත්?
සම්ප්‍රදාය මනාසේ හඳුනාගනිමින් නිවැරදිව සංස්කරණය කිරීම ඉවසීමෙන් බුද්ධියෙන් කළ යුතු කාර්යයක් මේ සඳහා මා තෝරා ගැනීම ම පෙර පිනක් ලෙසයි මා දකින්නේ. කළ කාර්යයන් ගේ පසුබිම විමසා බලා මා තොරා ගැනීමේ ගෞරවය ආරක්ෂා කරලීමට මා එතැන් සිට ඇප කැප වුණා.
දැන් කළ සංස්කරණ කාර්ය පිළිබඳ පැවසිය හැක්කේ කුමක්ද?
පිරුවානා පොත් වහන්සේ බහුල වශයෙන් පැවතිය ද බොහෝ තැනක පාලි පෙළ දෝෂ, පදගතාර්ථවල දෝෂ දැකිය හැකියි. පිරුවානා පොත් වහන්සේ යනු අතිශයින්ම සම්ප්‍රදායික බව, මුලික වශයෙන් තේරුම් ගෙන සංස්කරණයට අත ගැසිය යුතුයි. ඒ නිසාම පැරණි පිරුවානා පොත් වහන්සේ සුක්ෂමව අධ්‍යයනය කරන්නට සිදු වුණා. ඒ සඳහා කෞතුකාගාර පුස්තකාලයෙන් එක් දහස් අටසිය ගණන්වල පැරණි මුද්‍රිත පිටපත්, පැරණි පුස්කොළ පොත් විමර්ශනය කළා. දැනට පවතින මුද්‍රිත සංස්කරණ, විශ්වවිද්‍යාලවල පුස්තකාල ආශ්‍රය කළා. මෙහි අන්තර්ගතය තහවුරු කර ගැනීම සඳහා ප්‍රාමාණික වියතකු වන කැලණි විශ්ව විද්‍යාලයේ හිටපු සංස්කෘත භාෂා අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය කහපොළ සුගතරතන අනු නා හිමිපාණන් වහන්සේගේ ගුරුහරුකම් ලබා ගත්තා. රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකාචාර්ය දර්ශන විශාරද, අධ්‍යාපනපති පැපිලියානේ සුමිත්ත නාහිමිපාණන් වහන්සේ ගෙන් ද අනුශාසනා ලබා ගත්තා. මේ සංස්කරණය උදෙසා වසර දෙකක් පමණ මා අධ්‍යයනය කළා, වෙහෙසුණා. අක්ෂර, පෙළ, පද බෙදීම් ආදිය ඉතා නිවැරදි විය යුතු නිසා විසිවතාවකටත් වැඩියෙන් සෝදුපත් බැලුවා.
මෙහි පාලි වදන් හල් නොකර තිබෙන බව දැක ගත හැකියි - එසේ කිරීම කියැවීමට අපහසුවක් නොවන්නේද ?
පාලි වදන් හල් නොකර ලිවීම තමයි රීතිය. පැරණි සම්ප්‍රදාය සුරකින තරමට පිරුවානා පොත් වහන්සේගේ වටිනාකම වැඩි යි. ලොකු අකුරු යොදා ඇති නිසා අමතර වෙහෙසකින් තොරව සජ්ඣායනා කිරීමට පහසුවකුත් සලසා දී තිබෙනවා.
පිරුවානා පොත් වහන්සේ තුළින් ගම්‍ය වන මානව සමාජ යහපත විග්‍රහ කර ගන්නේ කෙලෙසද?
ඇත්තෙන්ම පිරිත යනු සර්වප්‍රකාරයෙන් ආරක්ෂාව සැලසීම වශයෙන් සරලව පැවසිය හැකියි. ඒ වගේම එය ආශිර්වාදාත්මක දේශනාවක්. මෙය සත්‍යය මත පදනම් වෙමින් එහි බලය ශක්තිය අනුහස් පෙන්වන අාධ්‍යාත්මික කායික සුවය සලසන මනෝ විද්‍යාත්මක චිකිස්සාවක් බඳුයි. පිරිත සම්භාවනාවට පත්‍ර වී දුරාතීතයේ සිට අගය නොගිලිහෙමින් පැවත එන්නේ එයින් ලැබෙන ආනිශංස ප්‍රත්‍යක්ෂ වශයෙන් අත් විඳින්නට හැකි නිසයි. පිරුවානා පොත් වහන්සේ පිළිබඳ බෞද්ධයන් බහුතරයකගේ දැනුම මද බව මාගේ හැඟීමයි.
ඒ පිළිබඳ පුළුල් දැනුම ලබා දීමට නව පිරුවානා පොත් වහන්සේ සමත් වී තිබේද?
මෙහි ප්‍රස්තාවනාව වඩාත් විමසමින් කියැවීමේදී ඔය බොහෝ ප්‍රශ්නවලට උත්තර ලබා දී තිබෙවා. එය සම්පාදනය කර ඇත්තේ විෂයය දැනුම පිළිබඳ බහුශ්‍රැත, වියත් සංඝ පීතෘවරයකු වන රුහුණු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යායන අංශයේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය, රාජකීය පණ්ඩිත පුජ්‍ය වාවින්නේ පඤ්ඤානන්ද හිමිපාණන් විසින්.
එයින් පිරිතේ ප්‍රභවය ලක්දිව පිරිත් ක්‍රමයේ විකාශනය සංවර්ධනය, ප්‍රහේද පුරාවෘත්ත, ජන ආකල්ප, මානව සමාජ සබඳතා වැනි විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ විභාග කෙරෙනවා. පිරිත් ශාන්ති කර්ම ලක්ෂණ, හාස්කම්, අනුහස් පිළිබඳවත් විග්‍රහ කෙරෙනවා.
පිරිත් පොත විහාරස්ථානයට පමණක් සීමා විය යුතුද?
මෙය භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා සිවුවනක් පිරිසටම අයත් පුජනීය වස්තුවක්. එය නිවසක පූජනීය ලෙස වඩා හිඳුවාලමින් පරිහරණය කරන්නේ නම්, සෙත ශාන්තිය සෞභාග්‍ය උදාකරගත හැකි බව අත්දුටු සත්‍යයක්. සංගීතයෙන් ලෞකික ලෝකයේදී වින්දනයක් ලබනවා නොවේද? පිරිතෙන් ජනිත වන ශබ්ද මාධුර්යය පොදු ස්වර පරාසයන් අතික්‍රමණය කරන අපුර්ව නාද විස්මයක්. මෙය සජ්ඣායනා කිරීමේදී ලැබෙන සුවය නිවසේදීම ප්‍රයෝගිකව අත් විඳිය හැකියි. පුළුල් කියැවීමකදී ලෝකොත්තර සුවය වෙනුවෙන් ආලෝකයක් විහිදුවීම විශේෂිතයි.
නිමාවට පෙර තවත් යමක් පැවසීමට ඇතොත්?
මට වුවමනා වුණේ ලංකාවේ මුද්‍රිත හොඳම පිරුවානා පොත් වහන්සේ සංස්කරණය කිරීමටයි. ඒ දේ කළා යැයි පෞද්ගලිකව මා සිතනවා. මේ පිරුවානා පොත් වහන්සේ පරිහරණයේ දී පොදුවේ ඔබටත් එලෙසම සිතෙන බව මට විශ්වාසයි.
සංවාද සටහන