
ඔන්න එකමත් එක කාලෙක, පුංචි මීයො දෙන්නෙකුයි කුකුළෙකුයි හිටියා. එක මීයෙකුගෙ නම ටිවිස්ටි. අනිත් එක්කෙනාගෙ නම ටර්න්. කුකුළගෙ නම ස්රිල් ත්රෝටි. මීයො දෙන්න මුළු දවසෙම කළේ කැරකි කැරකි දඟලන එකයි සෙල්ලම් කරන එකයි විතරයි. කුකුළා උදෙන් ම නැගිටල එයාගෙ සින්දුව කියල, හැමෝම නින්දෙන් අවදි කරවල එයාගෙ වැඩවල යෙදුණ. එක දවසක් එයා මිදුල අතුගගා ඉන්නකොට බිම වැටිල තිබුණ තිරිඟු කරලක් එයාට හම්බ වුණා.
“ඒයි ටිවිස්ට්, ඒයි ටර්ග්, ඉක්මනට ඇවිත් බලන්න මම හොයා ගත්තෙ මොකක්ද කියල” එයා මීයො දෙන්නට කතා කරල කිව්ව.
“ආ, ඔය තිරිඟු කරල සුද්ද කරන්න ඕන” කියල එතනට දුවගෙන ආ මීයො කිව්ව.
“කවුද ඒක කරන්නෙ?” කියල කුකුළ ඇහුව.
“මම නෙවෙයි” කියල මීයො දෙන්නාම කිව්වා.
“හරි, ඒක මම ම කරන්නම් කෝ” කිවූ කුකුළා, ඒක සුද්ද කළා.
“දැන් ඔය ධාන්‍ය ටික මෝලට අරගෙන ගිහින් කොටන්න ඕනෑ” කියල එතනට දුවගෙන ආ මීයො දෙන්න කිව්වා.
“කවුද ඒක එහේ ගෙනියන්නෙ?” කියල කුකුළා ඇහුවා.
මීයො දෙන්නා ඒකත් මඟ ඇරියා.
“හරි මම ඒක අරගෙන යන්නම්කෝ” කියූ කුකුළා ගෝනිය කර තියාගෙන අරගෙන ගියා.
මේ අතරේ මීයෝ, සෙල්ලම් කර කර විනෝද වුණා. මෝලට ගිහින් ආපහු ආව කුකුළ, මීයො දෙන්නට ආයෙත් කතා කළා. එතෙන්ට දුවගෙන ආ මීයො, “ඔයා හොඳ වැඩක් කරල තියෙන්නෙ කුකුළො. දැන් ඉතින් ඉතුරුවෙලා තියෙන්නෙ, පිටි අනල, ගුලි හදල, විස්කෝතු ටිකක් හදන එක විතරයි” කියා කිව්වා.
“ඔය දෙන්නගෙන් කවුද ඒක කරන්නෙ? කියල කුකුළ ඇහුව.
“මම නෙවෙයි!” කියල ටිවිස්ට් කිව්ව.
“මම නෙවෙයි!” කියල ටර්න් කිව්ව.
“මට පේන්නෙ ඒකත් කරන්න වෙලා තියෙන්නෙ මට” කියල කුකුළ කිව්ව.
එහෙම කියපු කුකුළා, පිටි ගුලි අනල, දර ගෙනල්ල ළිපක් හදල ගින්දර පත්තු කරල විස්කෝතු හැදුවා.
මේ වෙලාවෙ පුංචි මීයො දෙන්න සතුටින් සින්දු කිය කියා වටේට නට නටා හිටියා. විස්කෝතු හැදිල ඉවර වුණාම කුකුළා ඒවා භාජනයෙන් අරගෙන මේසෙ උඩ තිබ්බ නිවෙන්න. කුකුළා මීයො දෙන්නට කතා කරන්නත් ඉස්සෙල්ල, ඉව කර කර ඉව කර කර ඒ දෙන්න මේසෙ ළඟට ආවා.
“ඕහ්! මට හරි බඩගිනියි!” ටිවිස්ටි කෙඳිරි ගගා කිව්ව.
“මටත් එහෙමයි, වලහෙකුට වගේ බඩගිනියි!” ටර්න් කිව්ව.
එහෙම කියල ඒ දෙන්න විස්කෝතු කන්න වාඩි වුණා.
“විනාඩියක් ඉන්න!” කුකුළා කිව්ව. “ඔක්කොටම ඉස්සෙල්ල මට කියන්න, කවුද ඉරිඟු කරල හොයාගත්තෙ?”
“ඔයානේ!” කියල මීයො හයියෙන් කිව්ව.
“කවුද ඒක සුද්ද කළේ?” කුකුළ ඇහුව.
“ඔයානෙ” කියල බිඳුණු හඬින් මීයො කිව්ව.
“කවුද ඒක මෝලට ගෙනිච්චෙ?”
“ඔයානෙ” ටිවිස්ටිනුයි ටර්න්නුයි හෙමිහිට කිව්ව.
“කවුද පිටි අනල ගුලි හැදුවෙ? කවුද දර ගෙනල්ල ළිපට ගින්දර දැම්මෙ? කවුද විස්කෝතු හැදුවෙ?”
“ඒ ඔක්කොම කළේ ඔයානෙ” මීයො හෙමිහිට උත්තර දුන්න.
“දැන්, ඔය දෙන්න මොනවද කළේ?”
මීයො උත්තර දෙන්නෙ මොනව කියලද? මොකුත් නෑ. ඒ දෙන්න හෙමිහිට බංකු පුටුවලින් බැහැල, සද්ද නැතුව එතැනින් ගියා. ඒ දෙන්න නවත්තගන්න කුකුළ හිතුවෙවත් නෑ. ඒ කම්මැළියො දෙන්නට එයාගෙ ලස්සන රස විස්කෝතුවලින් සලකන්නෙ මොකටද?
නෝර්වීජියානු ජන කතාවකි.