නොසැ­ල­කිල්ල නිසා අහිමි වූ තවත් ජීවිත පහක් | සිළුමිණ

නොසැ­ල­කිල්ල නිසා අහිමි වූ තවත් ජීවිත පහක්

මන්දාරම් අහස වැසිවලාකුළින් බරව ඇත. පන්විල කොස්ගම ප්‍රදේශයේ මඩොල් කැලේ ගම මැදින් සෙමෙන් ගලා බසින දළුක් ඔයේ ජල පහර හුළු ගඟට ගලා බසී. දවස පුරා හිරු රුස් නොවැටුණු මහපොළවේ පෙරදින ඇදහැලුණු වැස්සෙන් තැනින් තැන එකතු වූ දිය කඩිති තවමත් සිඳීගොස් නැත. වෙනදා නැති සීතල සුළඟ ඇඟ හීගඩු නංවමින් දළුක් ඔය දෙසට හමා යයි. මේ සුන්දර ස්ථානය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයෝ නිරන්තරයෙන් පැමිණෙති.‍ එදින මේ ස්වාභාවික සුන්දර ස්ථානය නැරඹීමට දළුක් ඔය ආසන්නයේ ඇති මඩොල්කැලේ නිවාඩු නිකේතනයට පැමිණීමට නියමිතව සිටි පිරිස පැමිණියේ මධ්‍යාහ්නයද පහු වෙද්දීය.

හංවැල්ල ලීනියා ඇඟලුම් කර්මාන්ත ශාලාවේ විධායක නිලධාරීන් විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද විනෝද චාරිකාව සඳහා ඔවුන් වෙවර තෝරාගෙන තිබුණේ පන්විල කොස්ගම මඩොල්කැලේ ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතනයකි. මේ සංචාරක නිකේතනය වඩාත් සුන්දර වන්නේ ඒ අසලින් ගලා යන හුළු ඔයේ අතු ගංගාවක් වන දළුක් ඔය ඒ අසලින් ගලාබසින නිසාය. ඔවුන් ඒ සඳහා යොදාගෙන තිබුණේ පසුගිය නව වැනිදාය. ‍ඔවුන් මඩොල්කැලේට යන විට මධ්‍යාහ්න දොළහ පසු වී විනාඩි හතළිස්පහක් පමණ ඉක්ම ගොස්ය. හිමිදිරියේ කොළඹින් පිටත් වූ ඔවු‍න්ගේ ගමන් විඩාව සංසිඳුවාගැනීම සඳහා 19 දෙනකුගෙන් යුත් කණ්ඩායමේ කිහිප දෙනකු හැරුණු කොට සෙස්සෝ මඩොල්කැලේ නිවාඩු නිකේතනය පහළින් ගලාබසිනා දළුක් ඔයට බැස්සෝය. ජලය අධික සීතල හෙයින් ඇතැමෙක් කඩිනම් ගොඩට ආහ. වේලාව 2.30ට ආසන්න වී තිබිණි. දළුක් ඔයට කන්ද උඩින් ගලාහැලුණු මඩ සහිත ජලකඳ ඒ වන විටත් දිය නාමින් සිටි පස්දෙනාද රැගෙන ක්ෂණයෙන් හුළු ඔය දෙසට ගලා යන්නට විය. ඇසිල්ලක වේගයෙන් සියල්ල සිදු වී හමාරය.

මේ විනෝද චාරිකාවට සහභාගි වූ සිද්ධිය ඇසින් දුටු එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ විධායක නිලධරයකු වන ඩබ්. මනෝජ් බුද්ධික (33) මහතා මහනුවර මහ රෝහලේදී පාතදුම්බර උඩගම්පහ කෝරළේ හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව් නෝමන් කොස්තා මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් සදහන් කර ඇත්තේ මෙලෙසිනි:

"දහවල් එක පහු වෙද්දි අපි හෝටලයට ආවා. අපි දිය නෑම සදහා ස්ථානයක් හෝටල් සේවකයන්ගෙන් විමසු විට හෝටලය පහළින් ගලාබසින ඔයක් ඇති බව අපි දැනගත්ත‍ා. සියලු දෙනාම ඒ දෙසට ගියත් එහි වතුර සීතල අධික නිසා බොහෝ දෙනෙක් ගොඩට ආවා. අවසානයේ දිය නෑමට ඉතිරි වුණෙ පස්දෙනයි. අපි ගොඩට වෙලා හිටි‍යා‍. එක පාරට මඩ සහිත ජලකඳක් කන්ද උඩින් පහළට ගලාගෙන එනවා අපි දැක්කා. ඒ වෙලාවේ මම මහ හඬින් ඒ බව නාමින් සිටි අයට කියලා, ඉක්මනින් ගොඩට එන්න කියලා කෑගැහුවා. ඒ අය ගොඩට එන්න උත්සාහ කළත් එක පාරට ආව අඩි පහකට වඩා උස ජල පහර අපේ දිය නාමින් සිටි පස්දෙනාම ගසාගෙන ඔය දිගේ පහළට ගියා. අපි කෑගසමින් අවට මිනිසුන්ගෙන් උදවු ඉල්ලුවත් ඒ පිරිස බේරගන්න හැකියාව ලැබුණේ නැහැ..."

හුළු ග‍ඟේ කෙළවර විදුලි බලාගාරය ඇති ස්ථාන‍යේ ගඟ හරහා එළා ඇති දැල අසල රැඳ තිබී එම චාරිකාවට සහභාගි වූ කාන්තාවකගේ මළ සිරුරක් හමු වූ බව මඩොල්කැලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වීරයියා වීජයකුමාර් (49) මහතා පවසයි. ඉන් අනතුරුව අනෙත් සිව්දෙනාගේ මළසිරුරුද සොයාගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි විය. කෙසේ වෙතත් මේ නිවාඩු නිකේතනයේ සේවකයන් ‍විසින් මඩොල්කැලේ පහළින් ගලාබසින දළුක් ඔයට ඇතැම් අවස්ථාවල කදු මුදුනින් විශාල ජලපහරක් ගලා බසින බව එම සංචාරය සදහා සහභාගි වූ පිරිස දැනුවත් කර තිබිණි.‍

විනෝද චාරිකාව සඳහා සහභාගි වූ පිරිසෙන් දළුක් ඔයේ ගිලී මිය ගිය පිරිස වන පී ඒ සුනිල් මංජුල (29) ගණේමුල්ල, ගජනායක සිවනාදන් (25) වැල්ලවත්ත, ඩබ්ලිව් ඒ මධුෂාන් ප්‍රියංකර ප්‍රේමකුමාර (28) කිරිඳිවැල, එස්.ඇන්ඩ්‍රියා බේන්ද් (25) අම්පිටිය සහ ෆාතිමා නුෂ්නා (22) කටුබැද්ද යන අයගේ මළ සිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ මහනුවර අධිකරණ වෛද්‍ය විශේෂඥ එස් සුප්‍රමනියම් මහතා විසින් පවත්වන ලදි. අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව මියගිය අයගේ මරණ ජලයේ ගිලීමෙන් සිදු වූ මරණයන් බවට තහවුරු කර ඇත.‍

මෙහිදී මිය ගිය මාලිගාවත්ත කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි මධුෂාන් ප්‍රියංකර ප්‍රේම කුමාර පවුලේ එකම දරුවා වූ අතර, මීට වසර කිහිපයකට පෙර ඔහුගේ පියාද හදිසියේ වියෝ වී තිබේ. කිරිඳිවැල මධ්‍යමහා විද්‍යාලයේ උසස්පෙළ දක්වා උගත් ඔහු ප්‍රදේශයේ සියලු දෙනාගේ හිත දිනාගෙන සෑම පොදු කටයුත්තකදීම පෙරමුණ ගෙන කටයුතු කරන තරුණයකු බව ප්‍රදේශවාසීහු පවසති. මධුෂාන් කුඩා කල සිට ඔහු හදාවඩාගැනීමට ඔහුගේ මව අනේක දුක් කම්කටුලු විඳි අතර, පසුව පවුලේ සියලු බර කරට ගෙන මවත් රැකබලාගත්තේ මධුෂාන්ය. මධුෂාන්ගේ ‍වියෝව ඔහුගේ මවට විඳදරාගත නොහැකි වේදනාවක් බවත් ඔහුගේ වියෝවෙන් ඇයට කිසිදු රැකවරණයක් නැති බවද ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද අධිකරණ වාර්තාවලට අනුවත් විමර්ශන අනුවත් අනාවරණ කරගත් තොරතුරු අනුවත් මියගිය පස්දෙනාගේ මරණයන් ජල පහරකට හසු වීමෙන් ජලයේ ගිලි සිදු වූ මරණ බවට හදිසි මරණ පරික්ෂක ඩබ්ලිව් නෝමන් කොස්ත‍ා මහතා තීරණය කර ඇත‍.

ජලයේ ගිලීමෙන් සිදු පළමු වැනි මරණය මෙය නොවේ. මෙවැනි විනෝද චාරිකා ඇතැම් විට අවසන් වන්නේ මෙවැනි ඛේදාන්තවලිනි. බොහෝ විට අදාළ ප්‍රදේශවල ජනතාව අවදානම් කලාප පිළිබඳ දැනුවත් කළද ඇතැම් තරුණයන් අනාරක්ෂිත බවට දැන්වීම් පුවරු මඟින් දැනුවත් කර තිබියදීත් ඒ කිසිවක් නොතකා අවදානම් ස්ථානවලින් ජලයට බසිනු අසන්නට ලැබේ. එයින් සිදු වන්නේ අහිමි වන මෙවැනි වටිනා ජීවිත සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑමයි.

(‍පන්විල පොලිසියේ ස්ථානාධිපති පො.ප. පාලිත සෙනවිරත්න, උ.පො.ප. ජී ජී ගුරුගේ සහ පො.සැ. ගුණරත්න යන නිලධාරීහු මරණ පරීක්ෂණයේදී සාක්ෂි මෙහෙයවූහ).

 

 

Comments