
ආදරණීය ගුණදාස කපුගේ කලා තරුව අපගෙන් සමු අරන් වසර 15 පසුව ඔහුව අනුස්මරණය කරන මෙම සතියෙ ඔහු පිළිබඳ සටහනක් තබන්නට අවස්ථාවක් ලැබීම ඉමහත් භාග්‍යයක් ලෙස මම සලකමි. මෙම ලිපිය තුළ විශේෂයෙන් ම කපුගේ හඬ පෞරුෂය, ඔහුගේ ගීත තෝරා ගැනීම ඔහුට සුවිශේෂවූ මානුෂික ගුණාංග සරසවි ශිෂ්‍ය ප්‍රජාවට බලපෑම් කළ ආකාරය මත පදනම් වේ. කපුගේ විසින් ගයන ලද සමහර ගීත සරසවි ප්‍රජාවට විශාල වශයෙන් බලපෑම් කළ අතර ඒවා සිසුන්ගේ සමබර පෞරුෂයක් නිර්මාණය කරන්නට උපකාර කළේ ය. එවන් ඔහුගේ බොහෝ ගීත රචනා කළ ගීත රචකයන් වන රත්නශ්‍රී විජේසිංහ, ලූෂන් බුලත්සිංහල හා රන්බණ්ඩා සෙනෙවිරත්න යන අයට ද මාගේ ගෞරවය ලබාදෙමින් කපුගේ පිළිබඳ කතා කරන්නට කැමැත්තෙමි.
පේරාදෙණිය සරසවියේ මූලික අධ්‍යාපනය හැදෑරූ මම අද වනවිට කොළඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අනුශාසකවරයා ලෙස කටයුතු කරමි. මා සිංහල සාහිත්‍ය හෝ සංගීතය හදාරා නොමැති අතර ද්‍රවිඩ මාධ්‍යයන් උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූ කෙනෙක්මි. එහෙත් මාගේ බොහෝ සිතුවිලි ඉගැන්වීම් මෙන් ම සරසවි ක්‍රියාකාරකම්වලට මා කිසි දින පෞද්ගලිකව ඇසුරු නොකළ කපුගේ බලපෑම් කළේ ය. මා වැනි තවත් දහස් ගණන් අය සරසවි ජීවිතය තුළ කපුගේ ඇසුරෙන් ඔවුන්ගේ සරසවි ජීවිතය සතුටින් හා සමබරව ගත කළ අයවේ. එමෙන් ම අද වනවිට මා විසින් කොළඹ සරසවියේ සිසුන්ගේ මානසික සෞඛ්‍ය මෙන් ම සමබර ජීවිතය සඳහා පවත්වාගෙන යන සරසවිය, ගීතය හා අපේ ජීවිත යන වැඩසටහන කපුගේ මා හට කළ බලපෑමේ ප්‍රතිඵලයකි.
සාමාන්‍ය මිනිසෙකු පතන දේ හෝ ඔවුන්ගේ විශ්වාස විද්‍යාත්මකව හෝ න්‍යායාත්මක ලෝකෙට ගැළපෙන ආකාරයත් සකස් කළ යුත්තේ බුද්ධිමත් සරසවි ප්‍රජාව විසින් ය. එම නිසා සරසවි ප්‍රජාවට තාර්කික බුද්ධිය මෙන් ම සාමූහික හෘද සාක්ෂියෙන් යුත් මානුෂික බව තිබිය යුතු යි. තාර්කික බුද්ධිය හා සංවේදී මානුෂික බව අතර තිබෙන හිඩැස පුරවන්නට සාහිත්‍ය හා කලාව ඉතා වැදගත්වේ. සරසවි ප්‍රජාවගේ තාර්කික බුද්ධිය හා මානුෂිකත්ව අතර හිඩැස අඩු කරන්න ගුණදාස කපුගේ දායකත්වය ඉතා වැදගත් විය. ගුණදාස කපුගේ විසින් ගැයූ දවසක් පැල නැති හේනේ, අයියණ්ඩියේ, විදුලි මිණි පහන්, බිම්බරක් සෙනඟ, දම්පාටින් ළා සඳ, ලෙලි තළන නුඹේ දෑතට, සිංහල සිංදු කියන, තල්ලඩි පාලම, උලලේනෝ යන ගීතවල සමස්ත ජීවිතයම අන්තර්ගතව ඇත.
මෙම ගීතවල පදවැල් බොහෝ සේ අරුත් බර වන්නට එහි රචකයන් විශිෂ්ට සේවාවක් කර ඇතත් කපුගේ ගේ හඬ පෞරුෂය මෙන් ම ගීත සරසවි ප්‍රජාව තුළ ඉතා ඉහළ ප්‍රසාදයට ලක් විය. සමාජයක් තුළ දැවෙන ප්‍රශ්න වන දුප්පත්කම, විරැකියාව, සමාජ විෂමතාවය, අයුක්තිය, පරිසර දූෂණය හා ජනවාර්ගික ගැටලු මෙන් ම යුද්ධය පිළිබඳ ගීත කපුගේ විසින් ගායනා කරමින් සරසවි ප්‍රජාව තවත් විචාර බුද්ධියෙන් පෝෂණය කළේ ය. සමාජ විෂමතාවය පිළිබඳව රත්න ශ්‍රී රචනය කළ කපුගේ ගායනා කළ බොහෝ ගීත පිළිබඳව වෙනම ශාස්ත්‍රීය පර්යේෂණ කළ යුතුව තිබේ.
කපුගේ බොහෝ ගීත අප අපම හෝ අපි සමාජය දෙස විචාරාත්මක ලෙස බලන සාහිත්‍ය හෝ සමාජීය විද්‍යාත්මක පර්යාලෝකයක් විය. මෙය සරසවි සිසුවාට බොහෝ සේ වැදගත් ය. සරසවි සිසුන්ට වඩාත් විචාරශීලී කරන්නට අයුක්තියට එරෙහිව නගා සිටුවන්නට කපුගේ මෙන් ම හා මහාචාර්ය සුනිල් ආරියරත්න හා නන්දා මාලිනී ද දැඩි බලපෑමක් කළෝය.
මෙහිදී කපුගේ කටහඬ, ඔහුගේ බාහිර පෙනුම, ඔහු පුද්ගලයන් සමඟ ගනුදෙනු කළ ආකාරය හා ඔහුගේ අතීතය සරල ජීවිතය සරසවි සිසුන්ට වඩාත් ආකර්ෂණ වන්නේ ය. මර්දනයට භීෂණයට හා නොයෙක් අභියෝග හමුවේ තම පෞරුෂය හා මානුෂිකභව පාවා නොදුන් කපුගේ ඒවා තවතවත් සාහිත්‍යමය ආයෝජනයක් කරගනිමින් නිර්මාණ බවට පත් කළේ ය. දේශපාලනය හා මර්දනය හමුවේ කපුගේ ලබාගත් ශාස්ත්‍රීය ඉවසීම රජරට ගුවන් විදුලියේ සිටි කාලයේ ලබාගත් අත්දැකීමත් ඔස්සේ ඔහුගේ නිර්මාණ තවත් සරසවි පරපුරට ආකර්ෂණය විය.
ගුණදාස කපුගේ විටක විඥානවාදියෙක් ද තවත් විටක භෞතිකවාදියෙක් ලෙස ද සිතමින් කටයුතු කරමින් කවිය විචාර ලෙස සමාජයට වඩාත් ගැළපෙන ගීත තෝරා ගත්තේ ය. ඔහු ගායනා කළ බොහෝ ආදර ගීත (හාදු දෙන, නින්ද නැති රැයේ, දෑස නිලුපුල් තෙමා) සරසවි තාරුණ්‍යය තුළ ඇති විඥානවාදී ආදරය අවදි කළේ ය. එමෙන් ම තවත් සමහර ගීත (දම් පාටින් ළා සඳ, සිංහල සින්දු කියන, ආදරය තුළ ඇති භෞතිකවාදී අදහස් අවදි කළේ ය.
අපේ රටේ බොහෝ ගායක ගායිකාවන් ගත් කල ඔවුන් ශාස්ත්‍රීය හෝ ජනප්‍රිය යන සංස්කෘතීන් දෙකෙන් එකකට ලඝු වී ඇත.
බොහෝ ජනප්‍රිය ගායකයන්ට සරසවිය තුළ ඒ තරම් පිළිගැනීමක් තිබුණේ නැත. එමෙන් ම සරසවිය තුළ පිළිගැනීමට ලක්වූ බොහෝ ශාස්ත්‍රීය සම්භාවනීය ගායක ගායිකාවන් සිටියත් ඔවුහු එක්තරා සීමාවක්, තුළ තම තත්ත්වය හෝ ගනුදෙනු පවත්වාගෙන ගියේය. මෙවන් පසුබිමක් තුළ කපුගේ තම ශාස්ත්‍රීය සම්භාවනීය තත්ත්වය පසෙකලා මුදලට වරදානවලට මුල්තැන නොදී සරසවි ප්‍රජාව සමඟ ගීතයෙන් ගනුදෙනු කළේ ය. ඔහුගේ එවන් සුවිශේෂ පෞරුෂය සරසවි සිසුවාට බොහෝ ආකර්ෂණීය විය. කපුගේ මාක්ස්ගේ මෙන් ම සමාජවාදී අදහස් තම ගීත තුළට පමණක් සීමා නොකර ඒවා සැබැවින් ම තම දෛනික කලාකාමී ක්‍රියාව තුළත් ඔප්පු කර පෙන්නුවේ ය.
ගුණදාස කපුගේ කිසිදු කුහකත්වයක් හෝ ආත්ම ලාභය පදනම් කොටගෙන වැඩ කළ අයෙක් නොවේ.
ඔහු විසින් කලා ලෝකයට හඳුන්වා දුන් ඔහුගේ ඇසුරෙන් ජනප්‍රිය වූ බොහෝ කලාකරුවන් දක්නට ඇත. එහෙත් ඔවුන්ගෙන් කීදෙනෙකුට කපුගේට සමාන මනුස්සකම හා නිහතමානීත්වය තිබේද? එමෙන් ම ඔවුන් කපුගේ බලාපොරොත්තු වූ ගීතය හා කලාව තවදුරටත් රැගෙන යන්නේ ද? එම නිසා කපුගේ මුදලට ගීතය පවාදුන්න යැයි විවේචනය කිරීම කිසිසේත් පිළිගන්නට නොහැකි බව ඔහු මිය යනවිට ඔහු සතු පෞද්ගලික වත්කම්වලින් පෙනී යන්නේ ය.
ජනප්‍රිය තරු සංස්කෘතියක් හා කෙටි පණිවුඩ මඟින් එක රැයකින් ගායකයන් බවට පත්වන සමහර පුද්ගලයන් ගීත කිහිපයක් ගයන්නට ලක්ෂ ගණනින් මුදල් තම ගිණුමට කල් තියා ලබාගන්නා මේ යුගයේ කපුගේ නොසිටීම අපගේ අවාසනාවක්ද?