වෙනස් වෙමින් අභාවයට යන අවුරුදු සිරිත් | සිළුමිණ

වෙනස් වෙමින් අභාවයට යන අවුරුදු සිරිත්

ගනුදෙනු කරන අවස්ථාවේදී ‘ළිඳ සමඟ ගනුදෙනු කිරීම’ බොහෝ ගම්වල සිරිතකි. හාල්, දුරුමිරිස්, පස්කුළුබඩු හා කාසියක් සහිතව බඳින ලද පොට්ටනියක් අවුරුදු නැකැත් අවස්ථාවේ ළිඳට දමා ළි‍ඳෙන් වතුර භාජනයක් ගෙනැවිත් ඊළඟ වසර වන තුරු පරිස්සම් කර ගැනීම මේ චාරිත්‍රයෙන් කෙරේ‍. අද බොහෝ නිවෙස්වලට වතුර ලැබෙන්නේ නළවලින් නිසා ‘ළිඳ සමඟ ගනුදෙනු’ කිරීමට ක්‍රමයක් නැත. එහෙත් බොහෝ කාන්තාවෝ වතුර බෝතලයක් පුරවා ගෙදර තබා ඊළඟ වසර වනතුරු තිබෙන්නට හැරීමට අමතක නොකරති. අලුත් අවුරුදු දා විශේෂයෙන් තෝරාගත් අයෙකුට තම තමන්ගේ ගෙවල් ඉඳුල් කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කිරීම සිරිතය.

සිංහල අලුත් අවුරුදු උත්සවයේ වැදගත්කම රඳා පවතින්නේ ඒ සමඟ බැඳී පවත්නා සිරිත් විරිත් නිසා ය. ජන සමාජයක යහ පැවැත්ම ඇති කිරීමේ ලා සිරිත් විරිත්වලින් සිදුවන මෙහෙය සුළු පටු නොවේ. අපේ ජන සමාජය තුළ පවත්නා සිරිත් විරිත් පෝෂණය කරන වාර්ෂික උත්සවයක් ලෙස අවුරුදු උලෙළට වැදගත් තැනක් හිමිවේ. මෙම සිරිත් විරිත් කාලයෙන් කාලයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්වීම්වලට භාජනය වී ඇති බව පෙනේ. ජනතාව අතර පවත්නා කොයියම්ම දෙයක් වුවත් නිතර වෙනස්වීම්වලට භාජනය වීම සිරිතකි. සජීවී දෙයක ස්වභාවය ද එයයි.

මෙයට ශත වර්ෂ තුන හතරකට උඩදී පවත්වන ලද අවුරුදු උත්සවවලදී අනුගමනය කරන ලද සිරිත් විරිත් ගැන මෙකල උනන්දුවක් නොමැති අතර අලුත් අංගවලට වැඩි තැනක් හිමිවී ඇති බව පෙනේ.

කෝන කෑම

අලුත් අවුරුදු උදාවට පෙර නොනගතය ලබයි. නොනගතය ලබන දිනට පෙර දින පරණ අවුරුදු චාරිත්‍ර පවත්වන දිනයයි. මහනුවර රජ සමයේ දී පරණ අවුරුදු උත්සවය ද ඉතා වැදගත් ලෙස පවත්වා තිබේ. එදිනද අලුත් අවුරුදු දා මෙන් ම ‘හත්මාළුවක්’ සමඟ බත් උයා අහල පහල අය කාටත් බෙදා කෑම ගැනීම සිරිතක් වූ බව දැක්වේ. මෙය හැඳින්වූයේ ‘කෝන කෑම’ යනුවෙනි. මෙකල මෙය ඒ ආකාරයෙන් ම ඉටුවන බවක් නො‍ෙපනේ.

බුලත් දීම

උඩරට බොහෝ ප්‍රදේශවල අවුරුදු ‍උලෙළෙහි ඉතා වැදගත් චාරිත්‍රයක් වන බුලත්දීමේ චාරිත්‍රය පවත්වනු ලබන්නේ පරණ අවුරුදු දිනයේ ය.

පරණ තරහ මරහ අමතක කොට යළිත් ඇයි හොඳයි කීමට උපයෝගි කරගන්නේ මෙම බුලත්දීමේ සිරිතයි. වැඩිහිටියන් කමාකර ගැනීමටත් ඥාතිත්වයන් අලුත් කර ගැනීමටත් මෙම මොහොත උදාවන තුරු බොහෝ අය බලා සිටිති. මෙම චාරිත්‍රය දිවයිනේ සියලුම ප්‍රදේශවල තාමත් පවතී. පරණ අවුරුදු දා උදේ බුලත් රැගෙන ගමේ පන්සලට ගොස් කුල දෙවියන් වැඳ පුදා පැමිණ අනතුරුව ගමේ සියලුම අය ගෙන් ගෙට ගොස් කාටත් බුලත් දී ආචාර කරති. මෙම සිරිත අදට වඩා එදා වැදගත් කොට සලකන ලදී. විශේෂයෙන් උඩරට ප්‍රදේශවල මෙසේ බුලත් දෙන විට දෙමාපියන්ගේ දෙපාවල තෙල් ගැල්වීම ද කරන ලදී. එහෙත් මෙකල බුලතුත් නැතිව නිකම්ම වඳින අතර තෙල් ගැල්වීම නම් අභාවයටම ගොස් ඇත.

උපවාස කාලය

පුණ්‍ය කාලය හෙවත් සංක්‍රාන්තිය සිදුවන කාලය තුළ සියලු වැඩ අත්හැර පින් දහම්වල හා කෙළි සෙල්ලම්වල යෙදීම දිවයිනේ සියලුම ප්‍රදේශවල සිරිත වේ. නොනගතය නමින් ද හැඳින්වෙන මෙම කාලය තුළ ආහාර පානාදියෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටීම පැරැන්නන්ගේ සිරිතයි.

දැනිදු ඇතැම් තැනෙක වැඩිහිටියෝ මෙම කාලය තුළ කිසිම ආහාරයක් ගැනීමෙන් වැළකී සිටිති. ඇතැම් ප්‍රදේශවල සංක්‍රාන්ති කාලය ලැබීමට පෙ‍ර ආහාර පිස හැලි වළංවල නොතබා පෙට්ටිවල දමා තබා නොනගතය කාලයේද අනුභව කරති. කෙසේ වෙතත් මේ කාලය තුළ ගෙය තුළ ගිනි දැල්වීම නම් නොකරති. සමහර අය ගෙයින් පිට ස්ථානයක ළිපක් බැඳ වතුර උණුකරගෙන තේ පිළියෙල කර ගනිති. වර්තමානයේ ගිනි නොදල්වා විදුලිය භාවිතයෙන් මෙම කටයුතු කරගත හැකි නිසා බොහෝ දෙනෙකුට සිරිතත් රැකගෙන අවශ්‍යතාවත් ඉටුකර ගැනීමට පහසු වී ඇත. එහෙත් සිතා බැලිය යුතු කරුණක් වන්නේ වසරකට වරක් එළඹෙන මෙම උපවාස කාලය නිසි ලෙස පිළිපැදීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට පිටිවහලක් වන කරුණක් නොවේද යන්නයි.

ඛණ්ඨ ස්නානය

සංක්‍රාන්ති වේලාව තුළදී මහනුවර රාජධානි සමයේ පැවැති තවත් චාරිත්‍රයක් වන්නේ ‘ඛණ්ඨ ස්නානය’ යි.‍ මෙය භික්ෂූන් වහන්සේලා අතර පැවැති චාරිත්‍රයකි. දළදා මාලිගයෙන් සාදා දෙන නැකතට දළදා මාලිගයෙන් සාදා දෙන තෙල් ඇඹුල් විහාරවලට ගෙන ගොස් නැකතට උගුරේ ගා ගැනීම ‘ඛණ්ඨ ස්නානය’ නම් වේ.

එය කරනු ලබන්නේ කිරි ඉතිරවීමෙන් පසු පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ය. මෙය මිහිරි ලෙස පිරිත් සජ්ඣායනා ආදිය පැවැත්වීමට කට හඬ මනා ලෙස පවත්වාගැනීම සඳහා කළ චාරිත්‍රයක් යයි සිතේ. මේ චාරිත්‍රය දැන් අභාවයට ගොස් ඇත.

පුණ්‍ය කාලය තුළ කරන කෙළි සෙල්ලම් අතර පංච දැමීම, කජු පූට්ටු ගැසීම, ඔන්චිල්ලා පැදීම, සෙක්කු පැදීම, ඔලිඳ කෙළිය ආදී ක්‍රීඩාවලට විශේෂ තැනක් හිමි විය. මෙම ක්‍රීඩාවලින් ඔලිඳ කෙළිය සෙක්කු පැදීම ආදී ක්‍රීඩා මේ වනවිට අභාවයට ගොස් ඇත. මෙකල දරුවන්ගෙත් බොහෝ දෙනෙකුට ඔලිඳ පෙතක් දැකීමටවත් ලැබී නැත. එසේම සෙක්කුවක් සාදාගත්තේ කෙසේ දැයි කියා වත් මෙකල දරුවන් දන්නේ නැත. වර්තමානයේ ගම්බදව පවා ජනප්‍රියව ඇත්තේ කාඩ් කුට්ටම උපයෝගි කරගෙන කරන ක්‍රීඩා ය. ඒවා අතර ‘ඕමි ගැසීම’, ‘තුන්සිය හතර ගැසීම’ ආදී ක්‍රීඩා වඩාත් ජනප්‍රිය ය.

ගිනි මෙළවීම

අලුත් අවුරුදු චාරිත්‍ර අතර ඉතාමත් වැදගත් වන්නේ ‘අනුභව ගනුදෙනු හා වැඩ ඇල්ලීම’ යි. නැකතට ගිනි මොළවා පිස ගත් කිරිබත්වලින් කොටසක් අවුරුදු දේවතාවාට, අයින් කොට ඉතිරිවා කුඩා ගුළිි වශයෙන් තනා පවුලේ අයට කැවීම පවුලේ වැඩිමලා විසින් කෙරේ.

මේ කිරිබතට ගිතෙල්, උක්සකුරු මී පැණි, තල, අග්ගලා ආදිය මිශ්‍ර කරනු ලැබේ. හතර කෝරලය, හත් කෝරලය වැනි ප්‍රදේශවල එයට ‘බේත් පැහි’ එකතු කිරීම ද කරන ලදී. ‘බේත් පැහි’ යනු ගමේ වෙද මහතා විසින් පිළියෙල කොට ගමේ සියල්ලන්ටම බෙදා දෙනු ලබන කල්කයකි. එම ‘කල්කය’ ඇඹරීම සඳහා අවශ්‍ය දලු වර්ග වෙද මහතා විසින් පේ කොට තබාගනු ලැබේ. අද වනවිට ගමින් ගමට වෙද මහතුන් ද නැත. බේත් පැහි ඇඹරීමක් ද නොකෙරේ.

කැති උදලු ඇල්ලීම

වැඩ ඇල්ලීමේ සිරිත ද එක් එක් ප්‍රදේශවල විවිධ ලෙස සිදු කෙරේ‍. අපේ ගම්වල පැවැති වැදගත් සිරිතක් වූයේ ‘කැති උදලු ඇල්ලීමේ’ සිරිතයි. අවුරුදු නැකත උදාවීමට පෙර අතින් කඩාගෙන එන ලද ‘කදුරු’ අත්තක් සහ ‘කොස්’ අත්තක් මිදුලේ කොනක දමා තබති. එතැන උදැල්ලක්, කැත්තක් පිහියක් තබනු ලැබේ.

වැඩ අල්ලන වේලාවට එතැනට ගොස් එම සියලු ආයුධවලින් අර අතුත් සමඟ බිම කෙටෙන සේ කෙටීම ‘කැති උදලු ඇල්ලීමය’ මෙකල වනවිට ගම්වල ද මෙම සිරිත ඉටු කරන බවක් නොපෙනේ.

ඉගෙන ගන්නා අය පොත් පත් කියැවීම, ලිවීම ආදිය ද වැඩ අල්ලන අවස්ථාවේදී කරනු ලැබේ. එසේම ගෙවල්වල කාන්තා පක්ෂය මෙම අවස්ථාවේ ඉටු කළ සිරිතක් වූයේ ‘මං මෝල් ඇල්ලීම ය’. එය කෙළේ වංගෙඩියකට වී ටිකක් දමා මෝල් ගහෙන් කෙටීමෙනි. අද වනවිට බොහෝ ගම්බද ගෙවල්වලත් වංගෙඩි මෝල්ගස් නැත. එබැවින් මෙම සිරිත ද අභාවයට ගොස් ඇත.

වියදම් මුල

ගනුදෙනු කරන අවස්ථාවේදී ‘ළිඳ සමඟ ගනුදෙනු කිරීම බොහෝ ගම්වල සිරිතකි. හාල්, දුරුමිරිස්, පස්කුළු බඩු හා කාසියක් සහිතව බඳින ලද පොට්ටනියක් අවුරුදු නැකැත් අවස්ථාවේ ළිඳට දමා ළි‍ඳෙන් වතුර භාජනයක් ගෙනැවිත් ඊළඟ වසර වන තුරු පරිස්සම් කර ගැනීම මේ චාරිත්‍රයෙන් සිදු කෙරේ‍. අද බොහෝ නිවෙස්වලට වතුර ලැබෙන්නේ නළවලින් නිසා ‘ළිඳ සමඟ ගනුදෙනු’ කිරීමට ක්‍රමයක් නැත. එහෙත් බොහෝ කාන්තවෛා් වතුර බෝතලයක් පුරවා ගෙදර තබා ඊළඟ වසර වනතුරු තිබෙන්නට හැරීමට අමතක නොකරති.

අලුත් අවුරුදු දා විශේෂයෙන් තෝරාගත් අයෙකුට තම තමන්ගේ ගෙවල් ඉඳුල් කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කිරීම සිරිතය.

එසේ ආරාධනා ලත් තැනැත්තා එම නි‍ෙවසට පැමිණෙන විට හාල් තුන පහ සහිත මුලක් රැගෙන යෑම පැරැණි සිරිතකි. ඔහු එම නිවසින් ආහාර අනුභව කොට ආපසු යන විට ද ඔහුට ගෙන යාමට ද එවැනි ම මුලක් බැඳ දෙනු ල‍ැබේ.

මෙම මුල හඳුන්වන්නේ ‘වියදම් මුල’ කියා ය. මෙකල ද අවුරුද්දට ඉඳුල් කිරීමට අමුත්තෙකු කැඳවා ගත්තත් වියදම් මුල් ගෙන යාමක් නැත. මෙම අමුත්තාට මුදල් තෑග්ගක් ද දෙන අතර අමුත්තා විසින් මුදල් ත්‍යාගයක් දී යනු ලැබේ. හිස තෙල් ගාන නැකතට විය ගසක තෙල් ඇඹුල් ගා වැඩෙහි යොදන ගව ආදී සතුන්ගේ කරේ ගෑම හැඳින්වූයේ ‘විය කර ගෑම’ යනුවෙනි.

මෙය අද ඉටු නොවුණත් අලි ඇතුන්ගේ නම් හිස තෙල් ගෑම දැනුදු කෙරේ. මේ ලෙස ඇතැම් සිරිත් අභාවයට ගොස් අලුත් සිරිත් එකතුවීම නොවැළැක්විය හැකි කරුණකි.

 විජේරත්න අතුරුපාන

Comments