මනුස්සකම උගත්කමට වඩා දෙයක්! | සිළුමිණ

මනුස්සකම උගත්කමට වඩා දෙයක්!

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය නිශාර ප්‍රනාන්දු

විවෘත ආර්ථිකයත් සමඟ සියලුදෙනාම තරගයට අවතීර්ණ වූහ. විවිධාකාර තරග, ගැටුම්, මත බේද මේ නිසා ඇති විය. තරග වැඩිවෙත්ම බොහෝදෙනා වෙහෙසට පත් වූහ. මේ නිසා සරල අරමුණු නොව සංකීර්ණ අරමුණ සඳහා බොහෝදෙනා යොමු වූහ. විවෘත ආර්ථිකයත් සමඟ අධ්‍යාපනයේ දී විවිධ වූ ප්‍රභේද ඇති විය. මේ අනුව මෙතෙක් නොමිලේ ලබා දුන් අධ්‍යාපනයට විවිධ මුහුණුවරින් වටිනාකමක් එකතු විය. මුදල්මය පදනමක් මත විවිධාකාරයෙන් අධ්‍යාපය ලබාදෙන ආයතන බිහිවිය. මේ ආයතනවල අරමුණු මෙන්ම අධිකාරී බලය ද විවිධ විය. මේ සඳහා දේශීය මෙන්ම විදේශීය සිසුන්ට ද නව අධ්‍යාපන රටාවන් විවිර වන්නට විය. සාමාන්‍ය අධ්‍යාපන රටාවෙන් මිදුන බොහෝ සිසුහු වෘත්තීමය අධ්‍යාපනයට යොමු වූහ. මේ අනුව හුදෙක් තරගයක් මිස අධ්‍යාපනයෙන් පිරිපුන් මිනිසෙකු බිහි වීමට මඟ නොමැති විය.

ආවෘත ආර්ථික මඟින් අපට හිමි කර දුන් විස්තෘත පවුල් රටාවෙන් පෝෂණය වූ මිනිසාට මෙතෙක් හිමිව තිබූ ගුණ දහම් අහිමි විය.

එයට හේතු වූයේ මිනිසා තුළ ඇති වූ හුදු තරගය මිස අන් කිසිවක් නොවේ. විස්තෘත පවුල් පද්ධතිය මඟින් දරුවාට ලබා දුන් සාරධර්ම සමඟ වූ දැනුම් සම්භාරය විවෘත ආර්ථියේ ආගමනයත් සමඟ අහිමි වූයේ ඛේදජනක විලසය.

මේ නිසා කුඩා දරුවා මවගෙන් පියාගෙන් වෙන් වී ළමා නේවාසිකාගාරයක පාසලෙන් පසුව ගත කිරීමට හුරු විය. මෙයින් දරුවා හිමි කරගත් කිසිවක් නොවීය. කාර්ය බහුල දෙමව්පියන්ගේ කාලය ගත කිරීමේ කාලසටහනේ එක් පියවරක් ලෙස දරුවා සිරගත කිරීමක් මිස මින් යහපතක් ඇති නොවීය. පාසලෙන් ඩේකෙයාර් එකටත්, එතැනින් නැවතත් නිවසටත් පිවිසෙන දරුවාට දෙමව්පිය ඇසුර ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි. එමෙන් විවෘත ආර්ථිකයෙන් අපට හිමි වූ න්‍යෂ්ටික පවුල අතරවත් බැඳියාවක් තබා ගැනීමට ආර්ථික ප්‍රශ්න එරෙහි විය.

ආර්ථික ප්‍රශ්නවලට සහ ඉහළ යන උද්ධමනයට පිළියම් සෙවීම මිස සමාජ ධර්මතා කෙරෙහි දරුවා යොමු කිරීමේ වැඩ පිළිවෙළක් දෙමවුපියන් අතර නැත. න්‍යායාත්මක පෙන්වූ ගැටලු කිපයකට විසඳුම් සොයන පවුල් පද්ධතියක් මිස එකිනෙකා කෙරෙහි බැඳියාවක් ඇති පවුල් පද්ධතියක් අපට උරුම නොවීය. බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවා තරග කරුවෙකු බවට පත් කළේ නිරායාසයෙනි. දරුවා සමාජයට අවතීර්ණ වන කාලයේ සමාජානුයෝජනය කිරීමට දරුවාට ලබා දෙන මාවත පැහැදිලි නැත.

වසර 2000-2005 අතර කාලපරිඡේදයේ දී තෝරාගත් ප්‍රදේශයක දරුවන් අතර කළ සමීක්ෂණයක් අනුව දරුවන් බොහෝ දෙනෙක් තමන්ගේ අභිලාෂ සහ බලාපොරොත්තු අතර ගැටෙන බව හෙළිදරව් විය. මේ අනුව බොහෝ දරුවන්ට අභිලාෂ තිබුණ ද ඒවා බලාපොරොත්තු හා නොගැළපුණි.

මෙයට හේතුව තරගය නිසා ඇති වූ අසමානතාවයි. පන්ති භේදය මඟින් දරුවන්ගේ බලාපොරොත්තු ඉටු නොකර ඒවා හුදෙක් සිහින බවට පත් කර තිබුණි. දෙමවුපියන් ද තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගැනීම සඳහා දරුවන් යෙදුවේ වෙනත් මාර්ගයක් ඔස්සේය. ඇතැමුන්ගේ තරුණ කාලයේ බලාපොරොත්තු සහ අභිලාෂ දරුවන්ගේ අභිලාෂවලටත් වඩා ඉදිරියෙන් තිබුණ අතර, ඔවුන්ගේ ළමා කාලයේදී මෙවන් බලාපොරොත්තු ඔවුන්ට නොවීය. මේ නිසා එකිනෙකා ගේ සිතුවිලි රටාවන් ද වෙනස් විය. මේ සමීක්ෂණය අනුව දරුවන්ගේ සීයයට සියක්ම බලාපොරොත්තුව වූයේ විශ්වවිද්‍යාලයට යාම වුවත්, එය ඉටු කර ගැනීමට නොහැකි බව ද ඔවුන් කීවේ තම අභිලාෂය ඉටු කරගැනීමේ අපේක්ෂාභංගත්වයක් ඇති බැවිනි.

බොහෝ දරුවෝ වෛද්‍යවරයකු වීම සඳහා උත්සාහ දරති. එහෙත් සීමිත සම්පත් සහ අසීමිත බලාපොරොත්තු අතර අතරමං වෙති. මෙයට හේතුව වන්නේ සම්පත් ඌණ උපයෝජන නිසා බව අපට පැහැදිලිය.

පවතින සම්පත් නිසි ලෙස හසුරුවන්නේ ද යන්නද අපට ගැටලුවකි. තරගයට අවතීරණ වූ පන්තියෙන් උසස් දරුවෝ තම අභිලාෂ පහසුවෙන්ම ඉටු කරගනිති. එයට නොමිලේ අධ්‍යාපනය හෝ මුදල් ගෙවා යොදවූ අධ්‍යපනය හෝ උපකාර වේ. බොහෝ දරුවෝ තමන්ගේ අභිලාෂ ඉටු කරගන්නේ තමන්ට හිමිවී ඇති පන්තියට අනුගත වෙමිනි.

පන්තියේ ඌන හැකියාව මත අභිලාෂ සමඟ ඔවුහු ද පසුබසිති. මේ නිසා ගුණ දහම් නොව තරගය දරුවන්ගේ මූලික අරමුණ වේ. තරගයට පිළිපන් විට ගුණ දම් පිළිබඳව කවර කතාවක්ද? මේ අනුව වත්මන් අධ්‍යාපනයෙන් බිහි වනුයේ ගුණ දම් නැති උගතුන් පමණි. එහෙයින් මනුසත් බව උගත්කම පරයා සෙවිය යුතුය.

මන්ද යත් විවෘත ආර්ථිකය විසින් අපට මනුසත් බව අහිමි කර ඇති බැවිනි. වර්තමානයේ ඇති වී ඇත්තේ ගැටුම සහ මතබේද පමණක්ය. මේ නිසා සහෝදරත්ය මිනිසුන් කෙරෙන් තුරන්ව ඇත. බොහෝවිට අසල්වැසියාට ප්‍රේම කිරීම වෙනුවට ඔහුගේ වැඩ කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් බැලීම ද සමාජ පද්ධතිය හුරුවී සිටියි.

මෙයට හේතුව අපට බලෙන් එබ්බවූ විවෘත ආර්ථිකය මිස අන් කවරක් නොවේ. ආර්ථිකය මිනිස පාලනය කරන්නක් නොව,මිනිසා විසින් ආර්ථිකය පාලනය කරන්නක් බවට පත්විය යුතුය. මේ ඛේදජනක තත්ත්වයෙන් මිදීමට නම් සහෝදරත්වය සහ සහයෝගීත්වය අල්ප මාත්‍රයක්වත් තබා ගත යුතුය.

Comments