චරිත තුනක් සමඟ ‘චරිතෙ හොරු අරං’ | සිළුමිණ

චරිත තුනක් සමඟ ‘චරිතෙ හොරු අරං’

දේශපාලනඥයෙක් සිටියි. ඔහුට ඔහුගේ නම අමතකය. ගෙදර අමතකය. තමා කවුදැයි අමතකය. එපමණක් නොව ඒ සියල්ල අමතක වී? සිහිනයෙන් ද ඇවිදින්නට පටන් ගනියි. ඒ? සිහිනයෙන් අවදි වී තමාගේ ගෙදරින් පිටවන ඔහු නගරය පුරා තමන්ගේ නිවස සොයමින් ඇවිදියි. අවසානයේ ඔහු ඔහුගේ ගෙදරටම එයි. එහෙත් ඔහු සිතන්නේ එය වෙනත් අයෙකුගේ ගෙයක් යැයි සිතාය. එසේ සිතා ඔහු ඒ ගෙදරින් බඩු සොරකම් කරයි. එහෙත් ඔහු සොරකම් කරන්නේ තමන්ගේ ගෙදර වස්තුවමය. මෙවන් කතා වස්තුවක් හෝ නාට්‍ය පිටපතක් දාරියා ෆෝ රචනා කළා නම් ඒ ගැන බොහෝ විචාරකයන් කතා කරනු ඇතැයි මට සිතේ. කෙසේවුවත් මේ නාට්‍යය රචනා කර ඇත්තේ රවීන්ද්‍ර ආොරියරත්නය. නාට්‍යයේ නම ‘චරිතේ හොරු අරං’ වේ.

කෙසේවුවත් ‘චරිතේ හොරු අරං’ යනු දේශපාලන ප්‍රහසනයක් ලෙස ලඝු කිරීමට ද අපහසුය. අපට අමතක වන්නේ බොහෝ විට අනුන් නොවේ. වෙනත් අය හා වෙනත් දේ ගැන නොවේ. තමන් ම ය. බුද්ධ ධර්මයේ සති පට්ඨානය හෙවත් සිහිය පිහිටුවා ගැනීම ගැන දේශනා කරන්නේ ද ඒ නිසා ම ය. ඒ තමන් ගැන සිහිය පිහිටුවා ගැනීමය. ඒ ඔස්සේ විවර වන මාවත නිවන දක්වා විවෘතය. ‘චෙරිතේ හොරු අරං’ කේන්ද්‍රීය ප්‍රස්තුතය ද තමාට තමා අමතක වීම ය. එය වර්තමානයේ ප්‍රධාන දේශපාලනික ප්‍රශ්නය වන්නා සේ ම මනුෂ්‍යත්වයේ සදාකාලික කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස ද විග්‍රහ කළ හැකිය. රවීන්ද්‍ර ආරියරත්න සුළු පටු නාට්‍යකරුවකු යැයි සැලකීමට නොහැක්කේ ඒ නිසාය.

කෙසේවුවත් නාට්‍යකරුවන් කොතරම් බැරෑරුම් දේ කියන්නට උත්සාහ කළත් ප්‍රේක්ෂකයන් කොයි නාට්‍යයෙනුත් උත්සාහ කරන්නේ තමාට අවශ්‍ය දේ ලබාගැනීමටය. මේ වර්තමාන පේ‍්‍රක්ෂකාගාරයේ ඛේදවාචකයකි. අවසානයේ ෙප්‍ර්ක්ෂකයන්ට ‘ක‍ෙඩ් යන්නට’ නාට්‍යකරුවන්ට සිදුවේ. එය පොදුවේ නාට්‍යකරුවා මෙන් ම අද්‍යතන නාට්‍යකරුවා ද මුහුණ දෙන අභියෝගයකි. කොතරම් රචකයන් හා අධ්‍යක්ෂවරුන් සිටියත් අවසානයේ රචකයා හා අධ්‍යක්ෂවරයා වන්නේ ප්‍රේක්ෂකයාය. ඔහු ඔහුට අවශ්‍ය දේ නාට්‍යකරුවන් වෙතින් ලබාගනී. ඒ තමාගේ වරද නොදැක දේශපාලනඥයන්ගේ වරද පමණක් දැකීමය. ඒ අනුව ෙප්‍ර්ක්ෂකයාට අවශ්‍ය වන්නේ ‘චරිතෙ හොරු අරං’ තුළින් තමාට ද තමා අමතක වී ඇති බවට සිහිය පිහිටුවා ගැනීම නොව හැම තැනම සිදුවන ආකරයෙන් දේශපාලනඥයන්ට සිනාසී සිල්ලර තෘප්තියක් ලබා ගැනීමය. අන්තෝ ජටා බහි ජටා කියන්නේ ද මෙවැනි තත්ත්වයන් ගැන විය හැකිය. මේ ගැන කතා කළ යුතු ම වන්නේ ද ඒ නිසාමය.

මේ නාට්‍ය ඇත්තේ නළුනිළියන් අතර තරගයක් යැයි කිව හැකිය. අද නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත යැයි කිව හැකි චරිත තුනක් ම චරිතේ හොරු අරං නාට්‍යයට රංගනයෙන් දායක වෙති. ඒ කුමාර තිරිමාදුර, ගිහාන් ප්‍රනාන්දු සහ සරත් කොතලාවලය. නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන රවීන්ද්‍ර ආරියරත්න නාට්‍යයට රංගනයෙන් දායක වෙයි. කෙසේවුවත් ඒ සුළු චරිතයකි. මේ අනුව ‘චරිතේ හොරු අරං’ නාට්‍යය නළුවන්ගේ දස්කම් නැරඹීම උදෙසා වුව ද නැරඹිය යුතු නාට්‍යයකි. ඔවුන් තිදෙනාම කරට කර රංගනයක යෙදෙතියි කිව හැකිය. එයට ප්‍රධාන හේතුව පිටපත තුළ ඒ ඒ නළුවන්ට යෝග්‍යතම චරිත ඒ නළුවන්ට ලැබී තිබීම යැයි කිව හැකිය. චිත්‍රපටයක මෙන් නාට්‍යයක සියලූ දෙය පෙන්වීමට නොහැක. ඒ නිසා නාට්‍යය තුළ සිදුවන්නේ මවා පෙන්වීමටය. වාචික අභිනය, සාත්වික අභිනය ආදී වශයෙන් සතර අභිනය යොදාගනු ලබන්නේ ඒ උදෙසාය. එනම් මවා පෙන්වීම උදෙසාය. මැවීම උදෙසාය. අපට සිතාගැනීමටවත් නොහැකි මැවීම් වචනයෙන් අභිනයෙන් උච්චාරණයෙන් කිරීමට තරම් මේ නාට්‍යයේ දී ගිහාන් ප්‍රනාන්දු දක්ෂකම් දක්වයි. ඒ ප්‍රධාන වශයෙන් අන් කිසිවක් නිසා නොව චිත්‍රපටයක මෙන් නාට්‍යයක සියලු දෙය වේදිකාවේ දී පෙන්වීමට නොහැකි නිසාය. ඒ අඩුව නොදැනෙන්නට ගිහාන් ප්‍රනාන්දු වැඩ පෙන්වයි. කෙසේවුවත් මෙහි දී මේ නාට්‍යයේ හොඳටම රඟපාන්නේ ගිහාන් ප්‍රනාන්දු යැයි අදහස් නොකෙරේ. සිහිනයෙන් ඇවිදින තමාට තමා අමතක වූ නගරාධිපති වශයෙන් ඔහුගේ චරිතයෙන් අපේක්ෂිත දේ ඔහු සම්පූර්ණයෙන් ම ඉටුකරයි. එලෙසම කුමාර තිරිමාදුර දොස්තර පෙම්වතාගේ චෙරිතයට එලෙසින් ම පණ පොවයි. දේශපාලනඥයන්ට ආදරය අමතක වුව ද දොස්තරට තාමත් එසේ වී නැත. ඒ බව දනවන්නට තමාගේ චරිතයෙන් තිරිමාදුර සමත් වෙයි. ඒ අතර මැද දෝලනය වන උප නගරාධිපතිගේ චරිතය රඟපාන්නේ සරත් කොතලාවලය. චරිතයක් නැති තැනක වුවත් චරිතයක් සොයාගැනීමට තමන් සමතෙකු බව සරත් කොතලාවල පෙන්වයි. නගරාධිපති හා උප නගරාධිපති අතර වෙනසක් තිබිය නොහැක. එනම් මේ නාට්‍යයේ ඒ දෙදෙනාම තමන්ට තමන් අමතක වූ සිහිනයෙන් ඇවිදින දේශපාලනඥයෝ වෙති. එලෙසින් න්‍යායාත්මක වශයෙන් නොපැවතිය හැකි චරිතයක් ප්‍රායෝගික වශයෙන් රංගනයෙන් නිර්මාණය කිරීමට සමත්වීම සරත් කොතලාවලගේ රංග කෞශල්‍යය විය හැකිය.

කෙසේ වුවත් මගේ අදහස නම් මේ නාට්‍යයේ හොඳටම රඟපාන්නේ චමිලා පීරිස් බවය. එයට හේතුව ඇගේ දක්ෂකමටත් වඩා ඒ චරිතය නාට්‍යය තුළ පවතින දේශපාලනය ගෑවී වත් නැති එකම චරිතය වීම විය හැකිය. අවිවාහක යුවතියක් වන ඇය දේශපාලනය ගැන කිසිත් නොදන්නා තැනැත්තියකි. එවන් චරිතයක් තුළට හදවත් ම පිවිසිය නොහැක්කේ කාටද? හදවතක් නැති දේශපාලනඥයෙකුගේ චරිතයට වඩා හදවතක් ඇති අහිංසක ගැහැනිියකගේ චරිතයට පණ දීම කොතරම් පහසු ද? කෙසේවුවත් ඒ සඳහා හොඳ හදවතක් පැවතිය යුතුය. චමිලා පීරිස් හොඳ නිළියක් පමණක් නොව හදවතක් ඇති ගැහැනියක බව ද නිරූපණය පෙන්වා දෙයි. කෙසේ වුවත් හොඳම නිළියකට හොඳම හදවතක් ද අවශ්‍යය.

ෆර්නි රෝෂණීට රඟපාන්නට සිදුව ඇත්තේ දේශපාලනඥයාගේ බිරිඳගේ චරිතයයි. ඒ නිසාම යම් සීමාවක කොටුවන්නට ඇයට සිදුවේ. ප්‍රේක්ෂකයා සිතන දේශපාලනඥයාට හා දේශපාලනඥයාගේ බිරිඳගේ චරිතයට අකමැත්තෙන් හෝ යම් තරමක්දුරට කොටුවීමට ඇයට සිදුවේ. එනම් චමිලා පීරිස්ට හිමිවන අසීමිත නිදහස ඇයට මේ නාට්‍යය තුළ හිමි නොවේ. එහෙත් ඇය ද දේශපාලනඥයන අතර කරටකර රංගනයක නියැළෙයි.

සැබවින්ම මම නාට්‍යයේ කතා පුවත මුලින් ම කීවෙමි. නළුවන් ගැන ම පසුව විස්තර කළේ ඒ නිසාය. නාට්‍ය විචාර කියවීමට වඩා කළ යුත්තේ මෙවන් නාට්‍ය නැරඹීමය. එහෙත් දේශපාලනඥයන්ට හිනාවීමට නොසිතා තමන්ට හිනාවීමට සිතාගෙන මෙවැනි නාට්‍ය නරඹන්න. එය නාට්‍ය කලාව පහතට වැටීම වළක්වාගැනීමට උපකාරී වේ.

උදයසිරි වික්‍රමරත්න

Comments