කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

අවු­රුදු සැම­රීම

එර­බදු දලුත් රත් පැහැ­යෙන් නැළ­වෙන්නේ
කොහා ඇවිත් ගී ගය­මින් කෑ-දෙන්නේ
බඹරු ඇවිත් එ‍රබදු මල් සිප­ගන්නේ
අවු­රුදු ළඟ ළඟයි අප හට පව­සන්නේ

කඩි­මු­ඩියේ නිව­සද හැඩ වැඩ වෙන්නේ
දොර රෙද්දේ චීත්ත­මල් හිනැ­හෙන්නේ
‍ගෙබිම පුරා ගොම මැටි සුව­ඳයි එන්නේ
හීන මවන අම්මා සතු­ටින් ඉන්නේ

කැවුම් කොකිස් මුං අති­රස සැක­සෙ­නවා
පැණි වළ­ලුද ‍ඒ අත­රට එක් වෙනවා
කොණ්ඩ කැවුමෙ කොණ්ඩය ඉන් හැඩ වෙනවා
චූටි පුතා ආස්මි ගැන මුමු­න­නවා

නැකත් සමඟ රබන් හඬට පිබි­දෙ­නවා‍
මුළු සිරි­ලක ‍උද්දාමෙන් සැර­සෙ­නවා
වාද බේද අම­තක කොට එක් වෙනවා
අපි කවු­රුත් කිරි­බ­ත්වල රස බැලුවා

පුංචි එවුන් දිව එන්නේ‍
තෑගි බෝග ලැබ­ගන්නේ
මාපි­යන්ගෙ දෙපා නැමද
නව අවු­රුදු සම­රන්නේ...

රංජිත් ගුණ­ව­ර්ධන


කොහා රහසින්...


පුරා වස­රක් විඳපු දුක් ගිනි
හිතෙන් අම­තක කර­නවා
මරා සිත් තුළ නුරා හැඟු­මන්
නැවුම් පව­නක් හම­නවා
තරහ අත­හැර ගෙයින් ගෙද­රට
කැවුම් කිරි­බත් බෙද­නවා...

නව වසර පිළි­ගන්න සතු­ටින්
පුංචි දරු­වන් නට­නවා
සිහින් සිරි­පොද වැටී මිහි මත
නැවුම් සුව­ඳක් හම­නවා
සිහින් අඳු­රක් වැටී අහසේ
වැහි වලා­වක් නැ‍ඟෙනවා
නව වසක් ළඟ ළඟම එන බව
කොහා රහ­සින් කිය­නවා...

ශ්‍යාමා ඉලං­ග­සිංහ


මගේ පැතුම

පිපුණු රතු­මල් පර නොවේවා
දැවුණු හද­වත් සිසිල් වේවා
සතුට සම­ඟිය නිති රැ‍ඳේවා
මෙදා අවු­රුදු ජයම වේවා!

අබේ­සිංහ හඳ­ව­ල­පි­ටිය


අස­දිස සුබා­සිරි පිරි වස­රක් වේවා!

බකිනි මල් සුවඳ මඳ­නල මුසුව හමයි
සුපිපි කුසුම් අතු ඉති සැම බිමට නමයි
නැවුම් පල­තුරේ මධු බිඳු දෙරණ තෙමයි
සතු­ටින් ඉපිල සියො­තුන් දස­දි­ගත සරයි

රබන් සුරල් හඬ මුසු ගී නද පැතිරේ
ඔන්චිල්ලා බරින් අඹ-කජු අතු ඇඹරේ
එර­බදු මල් පලස ලෙස තුරු මත ඇතිරේ
සුබ මොහො­ත­කින් හැම නිවෙ­සෙම කිරි ඉතිරේ

නැක­තට පිසූ කිරි බත් පිඬු මුව තුළට
තබ­මින් පියා සෙනෙ­හස දෙයි දරු කැලට
ඊළඟ බොජුන් පිඬ සිය පිය­ඹගෙ මුවට
ළං කොට බසක් මුමු­නයි වද­නින් සුමට

එක ඉත්තක පිපුණු මල් පොකු­රකි සැවොම
අවු­රුදු බොජුන් රස විදි සතු­ටින් බොහොම
යහ අදි­ට­නින් නියැළී සුබ වැඩ­ව­ලම
කාසි-පනම් ලැබ­ගනි අත­කින් හොඳම

දෑ ආගම් සමඟි දම් තිර කර­ග­නිමු
නෑ කුල සිරිත් සපුරා ආසිරි ගනිමු
හෙළ සිරි­තින් සපිරි යහ ගුණ තිර කරමු
විහිදා පෙර අසිරි අවු­රුදු හර රකිමු

යස ඉසු­රින් දැයේ ඔද තෙද වැඩි වේවා
ලෙස මුතු පොටක් සැම දෙන එක­මුතු වේවා
රස හර මිසක බොල් දේ සිත නොබැ­ඳේවා
අස දිස සුබා­සිරි පිරි වස­රක් වේවා

විමල් රූබ­සිංහ


වසන්ත කාලය පැමිණ...

එතී වැල්
ගස්වල කොළ පාට
ඉහි­රුණ
කැලෑ­මල් පිපී
කුරුලු ගී හඬ ඇසෙන..

මීදුම් දුමා­ර­යට
පෙනෙන කඳු­වැටි නොපෙ­නෙන
ගම්මා­න­යට සුවඳ හම­නවා
වසන්ත කාලය පැමිණ

කසුන් ලක්ප්‍රිය


වසත් සීපද!

පැණි මොර ඉසව්වේ මීවද ගොඩ ගැහිලා
පිල­වුන් අස්ක­රන්නේ රතැ­ඟිලි සලලා
කාහට දෙන්ටදෝ සොබ­නිය ඉඟි මරලා
අවු­රුදු සඳත් එබි­කම් දෙයි ඔද වැඩිලා

තව­මත් බඹා නොකෙටූ නිලු­පු­ලිය මුදු
ඔබ­ගෙන් සුවඳ සිය­ප­ත­කට සමය සුදු
අවු­රුදු හඳ සිඹින සඳ වෙල පියලි කඳු
උණු­හුම් රබන් තල­යම ගනු මැනවි බදු!

දිගු ඔන්චි­ල්ලාව යන කල උඩ-පහළ
ලැබ­දුන්නා නොවෙද මල්සර විත් රුකුල
පොබයා ගිය අරුම එම සඳ වත කමල
හෙට ඔබ හට ලැබෙයි ඒ සවි අත් යුවළ

ඇම්. අසෝක ද සිල්වා


බක්මහ අසිරි

සිංහල හා හින්දු නව අවු­රුදු උලෙළේ
අසි­රිය කියා­පා­මින් ගහ­කොළ බැබළේ
නව අවු­රුදු සුවඳ පතු­රන පවන් රැලේ
තාලෙට මලින් පල­බර අතු හෙමින් සැලේ

අවු­රුදු උදාවේ සුබ පණි­වි­ඩය අරන්
කොවුලා හඬ නඟා ගී නද පතු­ර­ව­මින්
එර­බදු මල් පොකුරු දෙවැටේ සොඳුරු රුවින්
රතු­වට බැබ­ළේවී උලෙ­ළට සැරසු ලෙසින්

ගම හැම ගෙවල් හුනු දිය­රෙන් ඔප­වත් වී
බත­ බු­ල­තින් ද නව ඇඳු­මින් හැඩ ගැන්වී
අවු­රුදු සිරිත් ඉටු කර­නට යුහු­සුලු වී
නව­තා­ව­කින් බක් මහ සිරි ළඟා­වෙවී

සාමය අරුත් ගන්වන උලෙ­ළෙක් වේවා
ඇති නැති හැම දෙනා­ටම කිරි ඉති­රේවා
යුතු­කම් කර­න්නට හැම සිත යොමු වේවා
පත­නෙමි සුබ අලුත් අවු­රු­ද්දක් වේවා!

අමිතා කුමාරි දිවා­රත්න


අම්මා සහ අවු­රුද්ද

ඉප­නැල්ලේ නැවුම් සුවඳ
මැදින් දිවෙන නියර උඩින්
එර­බඳු මල් සෙවණ යටින්
දොළ අයි­නෙන් ගෙට යන කොට..

අම්මා ඉඳී එදා වගේ
කොණ්ඩ කැවුම් උයාලා
උඳු­වැල් ටික හදාලා
තෙල් ඉහි­රෙන දොදොල් පට්ටෙ
පුවක් කොළෙන් ඔතාලා

කුරුණි පෙට්ටියේ හිර වුණු
මුං කැවුමේ සුවඳ හමයි
මුළු ගෙද­රම පුර­වලා
මං එන තුරු අවු­රු­ද්දට
අම්මා ඉඳී ගේ දොර­කඩ
සතුටු කඳුළු නෙත දරා...

චන්ද්‍රා ජය­වීර


ඉසි කෝ දෑ භේද දුරු වී...

අතු අග මල් පොකුරු එර­බදු පාට රතු
ගැන්වුණු කහ පැහැය රඹ­කැන් රසිනි යුතු
මුළු පරි­ස­රයේ ඇත සිසි­ලක් දෙවන නෙතු
සුබ නව වසක් එළැඹ ඇත සතුට එතු

රබන් සුරල් හඬ ගම නග­ර­යෙන් ඇසේ
නව අවු­රුදු සිරිත බැලු සෑම අතම දිසේ
හිරු මීන­යෙන් මේෂය වෙත වඩින මෙසේ
සිංහල - හින්දු නව වස­රට කරල පැසේ

ඔලිඳ පංචි කෙළි සෙල්ල­ම්වල යෙදෙන
රුවැ­ත්ති­යන් ඔන්චිල්ලා ඇත පදින
වාරම් කාල­යට අත් වැල් බැඳ ගැයෙන
සිව් දේසෙන්ම අවු­රුදු ආසිරි ඇසෙන

සරු වී බත-බුලත දුර හැර අඬ­ද­බර
හැම නිවෙ­ස­කම ළිප් ගිනි මෙළවී නිතර
සිරි­කත සල-සලා සුව ආසිරි ‍ සෙමෙර
ලක්වැසි සැමට සරු වේවා මෙම වසර

ඉසිකෝ දෑ ‍‍‍බේද කිසි මතු නොවේවා
පාලක පාලි­තයො සම­ඟිය වඩාවා
සම­ඟියෙ තොරන් හැම නග­රෙම තැනේවා
ලැබු නව වසර සොම්නස් දිය පිරේවා

තෙප්ප­නාවේ ගුණ­ව­ර්ධන


මගේ පැතුම!

දින දින කරන කට­යුතු සැම ඉටු වන්නයි
යන එන ගමන ජය ගෙන නිති හිනැ­හෙ­න්නයි
දුක් දොම්නස් නැති වස­රක් අර­ඹ­න්නයි
මේ සුබ පැතුම නව අවු­රදු සුබ වෙන්නයි

චතුර අම­ර­තුංග


එක් වෙමු සතුට විඳ­ග­න්නට

ඉගි­ළෙති බඹර මුළු මල් පිපි වන බැද්දේ
දොර කවු­ළු­වෙන් නල කුම­රිය ගෙන ඇද්දේ
රැව් පිළි­රැව් දෙමින් මංගල වෙඩි සද්දේ
ලක්බිම ඔප කෙරේ සිංහල අවු­රුද්දේ

පෙර­ඹර කුසෙන් එන විට හිරු කිරණ ගලා
කෝකිල කූජ­නෙන් දෙස­වන අවදි කළා
කිරි­බත කැවිලි මේස­ය­කට එකතු වෙලා
කවු­රුත් සිටිති එන තුරු සුබ නැකත බලා

ගම රට තැනින් තැන ඔන්චිලි බ‍ැ‍ඳේවා
ගැමි ගී මියැසි නද සව­නට ඇ‍ඳේවා
සතු­ටෙහි ධනය හද­වත් තුළ රැ‍ඳේවා
හැම ගෙද­ර­කම කිරි­බත් හැළි ඉ‍‍දේවා

සිංහල අවු­රුද්ද විය යළි ලබ­න්නට
සාමයෙ වැසි වසී ගිනි මැල නිවෙ­න්නට
සැම දන සමඟ පටු අද­හස් තුරන් කොට
එක් වෙමු මෙවර අවු­රුදු සිරි විඳි­න්නට

හොර­වල සයි­මන්


කුමරු වඩිනවා

නිල්දිය රැඳුණු
ඇළ දොළ හරි සිරි­යා­වයි
පල­බර පිරුණු
අඹ කජු කොස් එක යායයි
අතු අග ඉඳන්
කොවු­ලන් තුටු ගී මුමු­නයි
අවු­රුදු කුමරු ගම එනදා
මන­මා­ලයි

රත්න­සිරි පති­රණ


සාමය පැතිෙර්වා

එර­බඳු මල් දෙවට දිගේ පිපී රඟන ලීලා
කොහා නඟන ගී රාවය අඹ අත්තක සැඟ­වීලා
මුළු­තැ­න්ගෙයි කැවුම් කොකිස් මුට්ටි­ය­කට හිර වීලා
සිදා­දි­යෙන් එන නෑදෑ­යන් පිළි­ග­න්නට සැර­සීලා

ලොකු පුතු දැන් මහ ගෙද­රට ඇවිල්ලා
අලුත් ඇඳුම් හැමෝ­ට­මත් ගෙනල්ලා
ඔංචි­ල්ලාව නව දඟ­යෙන් තැවිල්ලා
මල් එතනා පර­ද­න්නිය මල් සියල්ලා

ආච්චි අම්ම හරි හරි­යට සුරල් පද
ගය­මින් රඟන කඩි­ස­ර­කම රබන් පද
යව්වන පිරිස මුස­පත් වී අසන සඳ
අම­තක කෙරේ ‘රැප්’ ග‍ීතයෙ විසුළු නද

ගෙන් ගෙට බෙදන බඳුනේ රස­වත් කෑම
කිරි­බත් කැටය මතු කර­වයි රට තුළ සාම
බුලත් හුරුලු ගෙන එන දරු කැල සැම
වැඩි­හිටි තුටු පඬුරු ලබ­නිය නොඅ­ඩුව පේම

දැය මහ මඟුල ඔප­වත් නව අවු­රුද්ද
සොම්නස සතුට උතු­රන නව අවු­රුද්ද
සිරි­ලක පුරා­වට සම­රන නව අවු­රුද්ද
නැව­තත් උදා වී ඇත සාමය පිරි අවු­රුද්ද

පිය­සිරි පී. මීගොඩ


කෝ අවු­රුද්ද?

ඉර දෙවි­යන්ට පුද පෙර­හර කරන නියා
එර­බොදු මල් පොකුරු රත් පෙති අතර තියා
පර­පුටු විහඟ සුමි­හිරි ගී මිහිර කවා
සුර පුර අසි­රි­යක් අවු­රුදු වෙතට ගියා

යන එන අස­ල්වැසි නෑසිය සතුට සොයා
කන බොන හැම රසම ගෙන් ගෙට රැගෙන ගියා
තැන තැන දීගෝ­විලි වාරම් නොමැති නිසා
උණ වෙඩි බීරංග හඬ රුව සැඟව ගියා

කැවු­මක හැඩය යන්නට අත නොදැ­නීම
මුද­ලට යට වුණා අවු­රුදු ගෙයි කෑම
නග­රයෙ කැවිලි කඩ­යෙන් අර­ගෙන සෑම
අවු­රුදු ගතව යයි පෙර දව­සක් සේම

චන්ද්‍රිකා දිසා­නා­යක


බ්‍රෝ... අපේ අවු­රුදු...

දින දසු­නට අනුව
බක් මහ ඇවිත් දොර­ටම
තාත්තා මැරුණු දා සිට
උල්පත් සිඳී
අහ­බොඩ වන වැදුණා
වසර ගණ­නක් පාළු කුඹු­රක..

පට්ටා ගසමි කොළ පොත
නට­බුන් පුරු­ද්දක
බත්ගෙඩි බඳින සිහි­නෙක
ඉන්නවා යැයි සිතු­නට
අම්මා උකුත් වී බෝ කල්ය..

කලා­තු­ර­කින් වෙල් අල
කොළ තියෙයි අලෙ­වි­යට
සුපිරි වෙළෙ­ඳ­ස­ල්වල
ලුණු දෙහි අච්චාරු බෝතල..

නිමුං කුරු­ල්ලන්ට
අගේ දන් දුන් දුන්නු
මහ මීවා මැවේ
සියල් නෑයන් අතර..

නාවා පට්ටා­වෙන් මිදුණ
නඟු­ලට විය­ගහ නොබැඳ
කොවුල් කෙඳි­රිලි අස අසා
අඟ­වක දිරා යන...

වස­රක් වැඩ කෙරූ
ඥාති අත්
වට වී වැයූ
පාංස­කූ­ලෙත් නැතිව
අව­සන් ගමන් ගිය
බංකු රබාන
තනි­යම හඬ නගයි සිත යට...

අස අසා ලියා ගත්
අවු­රුදු සිරිත් සපු­රන
වීයේ හාල් ඇට නැති­යෙන
රට­හාල් කිරි­බත් බුදින
කාගෙදෝ අම්බ­ල­න්වල
නොන­ගතේ ගෙවන...

අංකෙළි ඔළිඳ පොල් කෙළි
දොළ පෙත නැත ඔංචිලි
උඹ නොවෙයි කෙහෝ පර­පුටු
ඔහොම යං ඉතින් බ්‍රෝ අපි!

අම­ර­සිරි වික්‍ර­ම­රත්න

Comments