
මහදැනමුත්තා ගමනක් ගියේ ය. සුවච කීකරු ගෝලබාලයෝ (පස්දෙනා) ද ඔහු පසුපස පැමිණියහ. ඇතා පිට යමින් සිටි මහදැනමුත්තාගේ කොණ්ඩයේ ගසා තිබූ පනාව බිම වැටුණේ ය. ගෝලබාලයෝ දනිපනියේ උපදෙස් පොත පෙරළූහ. ඒ, වැටෙන පනාවක් අහුලාගත යුතු යැයි පොතේ ලියැවී ඇද්ද යන්න සොයන්නට ය. එවැනි අණාඥාවක් ලේඛනගත ව නොතිබූ නිසා ඔවුන් පනාවට අත තැබුවේ නැත. පනාව නැති බව පසුව දැනගත් මහදැනමුත්තා ගෝලයින්ගෙන් විමසා බලා ‘වැටෙන යමක් වේ නම් අහුලාගත යුතු ය’ යන්න ලේඛනගත කළේ ය. පාරට වැටෙන වැටෙන කොළරොඩු-පරඬලා අහුලන්නට වූ ගෝලයෝ ඒවායින් මහදැනමුත්තාගේ ඔළොගුව පුරවාලූහ.
මේ කතාපුවත පිළිබඳ මතකය මගේ සිතට කඩාවැදුණේ ඊයේ පෙරේදා දවසක අහම්බෙන් අතට හසු වූ මහාචාර්ය නලින් ද සිල්වාගේ ‘අපේ ප්‍රවාද’ නම් වූ කෘතිය කියවාගෙන යද්දී ය. එහි දී මා අත්දුටු ස්වභාවය තරමක් දුරට සම කළ හැකි වන්නේ කෙටි නින්දකින් අවදිවීමකට ය. මේ සිංහල අවුරුදු සමයේ අපගේ සංස්කෘතිකාංග පමණක් කරළියට නගමින් සිටින අපට, අප පිළිබඳ යළි සිතාබැලීමට, ස්වයං විවේචනයක යෙදීමට මෙන් ම චින්තනයේ අලුත් ඉසවු හඳුනා ගැනීමට ද මෙය එක්තරා කවුළුවක් විවර කර දී ඇති බවකි මට හැඟුණේ. මේ කවුළුවෙන් අප දකින්නේ යථාර්ථය ද නැතහොත් එය දෘෂ්ටි මායාවක් ද, හිතළුවක් ද යන්න පිළිබඳව විවිධ පුද්ගලයනට විවිධ අදහස් දැක්විය හැකි ය. එහෙත් නව ප්‍රවාදයක්, නැවුම් මතයක් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වන සැබෑ විද්වතුන්ගේ, නිර්මාණකරුවන්ගේ බරපතළ අහේනියක් පවතින යුගයක, නව මානයකින් ලෝකය දෙස බැලීම වුව අගය කළ යුතු ය.
මේ අධ්‍යාපන රටාව තුළ නිදහස් චින්තනය ගිලිහී යන්නේ ශිෂ්‍යයාගේ වරදකින් නොවේ. ශිෂ්‍යයකු හරස් ප්‍රශ්නයක් මතු කළ කල ගුරුවරු කිපෙති. මේ කෝපාවේගය අහිතකර ලෙස බලපාන්නේ තමන්ගේ උපාධි නිබන්ධනයට බව සිසුහු දැන සිටිති. මේ අනුව බැලූ බැලූ අත අප දකින්නේ කාගේ හෝ මතයක් වැමෑරීම, කාගේ හෝ ප්‍රවාදයක් උද්ධෘත කර දැක්වීම හරහා උගතුන් බිහිවීමේ ප්‍රවණතාවකි. ආශ්චර්යයකින් නොවේ නම් අහම්බයකින් ලෝකයේ සියලු පුස්තකාල ගිනිබත් වී අන්තර්ජාල ද අකර්මණ්‍ය වුවහොත් වර්තමාන උගතා හා නූගතා වෙන් කරන මායිම් ඉර බොඳ වී, මැකී යනු ඇද්දැයි සැක සිතෙන තරමට මේ තත්ත්වය දිනෙන් දින ම උග්‍රවෙමින් පවතී. ප්‍රවාද නිර්මාණය කිරීමෙ සම්භාවිතාව පමණක් නොව ඒ අයිතිය ඇත්තේ ද බටහිරට පමණක් දැයි සිතෙන තරමට අප දුගී දුප්පතුන්ව යන එනමං නැතිව සිටින ආකාරයකි, දිගින් දිගට ම සිතාබලන විට පෙනී යන්නේ. මේ තත්ත්වය මනාව විශද කරන සඳහනක් මහාචාර්ය නලින් ද සිල්වාගේ ‘අපේ ප්‍රවාද’ කෘතියේ 2 වන පිටුවේ වෙයි.
අපේ අධ්‍යාපනවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සියලු දෙනා ම පාහේ පුහුණුව ලබන්නේ බටහිර විශ්වවිද්‍යාලවල ය. ඒ පුහුණුවේ දී ලැබෙන්නේ අපට අවශ්‍ය දැනුම නො ව ඔවුන්ට අවශ්‍ය ඔවුන් ගේ දැනුම ය. බටහිර දැනුම අප රටට හඳුන්වාදීම පමණක් ඊනියා විශේෂඥයන් අතින් සිදු වේ. මොවුන් ගෙන් කෙරෙන නිර්මාණ කාර්යයක් නැත. බටහිරින් ආනයනය කෙරෙන දැනුම බෙදා දීම පමණක් විශ්වවිද්‍යාලවලින් හා පාසල්වලින් කෙරෙයි. විශ්වවිද්‍යාල බටහිරින් ආනයනය කෙරෙන භාණ්ඩ තොග වශයෙන් බෙදාහරින කඩ ලෙස ද පාසල් ඒ දැනුම සිල්ලර වශයෙන් බෙදාහරින කඩ ලෙස ද සැලකිය හැකිය. උපකාරක පන්ති හෙවත් ටියුෂන් කඩවලින් මේ භාණ්ඩ ක්ෂණික පරිභෝජනය සඳහා විකිණෙයි.
ප්‍රවාද යන්නෙහි වචනාර්ථය වන්නේ ‘පරම්පරාගත කතාව’ නොහොත් ‘පුරාකතාවයි’. ‘මතය’, ‘ශ්‍රේෂ්ඨ මතය’ වැන්නක් හැඟවීමට ද ඇතැම් අවස්ථාවල දී එය යෙදෙයි. සිය අදහස් ගොනුකරමින් පළ කළ කෘතියට, මහාචාර්ය නලින් ද සිල්වා මේ නම යොදා ඇත්තේ මේ කවර අරුතින් දැයි අපට හරියටම කිව හැකි නැත. කෙසේ වුව ද මහාචාර්යවරයා මේ ඔස්සේ ගෙන හැර දක්වන ඇතැම් මතවාද ආන්දෝලනාත්මක වන තරමට ම අලුත් ය. මෙහි දී විශේෂයෙන් අපගේ සිත් යොමු වූයේ මේ ‘අලුත්කම’ පිළිබඳව ය.
අද අප ඉගෙන ගන්නා දැනුම නැතහොත් අපට උගන්වන පාඩම් මේ අයුරින් ව්‍යාප්ත වෙමින් පවතින්නේ සංස්කෘතික යටත්විජිතවාදයේ එක් ප්‍රතිඵලයක් ලෙසිනි යි පෙන්වා දෙන මහාචාර්යවරයා ඒ ඔස්සේ ප්‍රශ්න කර සිටින්නේ නිව්ටන්, ඩාවින්, අයින්ස්ටයින් වැනි විද්‍යාඥයන්, නවෝත්පාදකයන් පිළිබඳව පාසලින් දැන ඉගෙන ගන්නා අපට එවැනි සංකල්පයක්, ප්‍රවාදයක්, නියමයක් ඉදිරිපත් කළ මේ රටේ නවෝත්පාදකයකු ගැන (මේ අධ්‍යාපන ක්‍රමය තුළදී) අසන්නට ලැබී ඇද්දැයි කියා ය. අප ඒවා නොදැන සිටින්නේ ඒවා අපට උගන්වන්නේ නැති නියා යැයි යළිත් වරක් කියන ඔහු, අපට එවැන්නක් උගන්වා නැත්තේ ගුරුවරුන් ඒ ගැන නොදන්නා හෙයිනි යි ද පවසා සිටී. ගුරුවරුන් එය නොදන්නේ එවැනි දෙයක් නැති නිසා බව කියන්නට ද මහාචාර්ය නලින් ද සිල්වා මැළි වන්නේ නැත. මෙහි දී වැදගත් වන්නේ එසේ නැතිවුණේ කෙසේ ද කුමක් නිසා ද යන්නට ඔහු සපයන පිළිතුර ය.
මහාචාර්යවරයා අදහස් කරන ආකාරයට අනුව එය එසේ සිදුවී ඇත්තේ එවැනි නිර්මාණ ඉදිරිපත් කිරීමට ඉඩක්-අවකාශයක් මෙහි නොමැතිවීම නිසා ය. නැතහොත් ඉඩක් නොදෙන නිසා ය. යම් කිසිවකු කිසියම් නිර්මාණයක් බිහි කළ ද එය කොතරම් විශිෂ්ට තත්ත්වයක පැවතුණ ද සමාජය ඉල්ලා සිටින්නේ නැත්නම් එය සමාජගත වන්නේ නැතැයි ඔහු කියයි. මෙය විද්‍යාවට මෙන් ම කලාවට ද පොදු ය. සුභාවිත ගීතය යන නමින් හඳුන්වන ගීතය, සමාජයේ ඊනියා ප්‍රබුද්ධ කොටසෙයි ජනප්‍රිය වීමට පෙර ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත වැනි මහත්වරු නූර්ති ගීවලින් වෙන් වුණු වෙනත් ගීත සම්ප්‍රදායක් ඇති කරගැනීමෙහි ලා වෙහෙස වෙමින් සිටියහ. (23 පිටුව) යි පවසන මහාචාර්ය නලින් ද සිල්වා සංගීතයවත්, විද්‍යාවවත්, දේශපාලනයෙන් මුළුමනින් ම නිදහස් නොවන බව පෙන්වා දෙන අතර වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කරයි.
ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත යන මහත්වරුන් පවත්වාගෙන යෑමට තරම් දේශපාලන බලවේගයක් මෙරට නොවී ය. විදග්ධ සිංහල සංස්කෘතිය බිහි කිරීමේ දේශපාලන බලය තිබුණේ විශ්වවිද්‍යාල ආයතනයේ පෙරදිග අධ්‍යයන පීඨයට ය. විශ්වවිද්‍යාල ආයතනයටත් මේ පීඨයටත් නිදහස, නිර්මාණය, දේශීයත්වය ආදිය වහකදුරු මෙන් විය. පසුගිය කාලය තුළ මෙරට පහළ වූ විශිෂ්ට විශ්ලේෂණාත්මක හා නිර්මාණාත්මක මනසක් තිබූ පඪිවරයා ලෙස සැලකිය හැකි කුමාරතුංග මුනිදාස මහතා මේ පීඨයෙන් පිටමං කරනු ලැබිණි. ඒ මහතා පළ කළ අදහස් එකක් සමඟ වත් එකඟ නොවුණ ද ඒ මහතාගේ අගය තේරුම් ගැනීමට එය බාධාවක් නො විය යුතු ව තිබිණි. ඒ මහතා විශ්වවිද්‍යාලයෙන් කොන් කරනු ලැබූයේ අදහස්වල වැරැද්ද නිවැරැද්ද ගැන කරන ලද තක්සේරුවක් නිසා නො ව ඒ අදහස් අනුකාරක විශ්වවිද්‍යාලයට තර්ජනයක් වූ බැවිනි. යම් සමාජයක් හෝ උපසමාජයක් (විශ්වවිද්‍යාලය ද උපසමාජයකි) හෝ යම් අදහසක් පිළිගන්නේ අදහසේ නිවැරදිතාවට වඩා අදහස තමන්ට ගැළපෙන්නක් නම් ය.
(අපේ ප්‍රවාද - නලින් ද සිල්වා - 23-24 පිටු)
කුමාරතුංග මුනිදාස සූරීන් මහ පඬුවකු බවට පත්වූයේ පොතපත කියවීමෙන් පමණක් ම නොවේ. බල්ලා වලිගය සොලවන සැටි, ලොකු සතකු කුඩා සතකු ගිලගැනීමේ දී අනුගමනය කරන අනුක්‍රමික පිළිවෙත යනාදිය සොයාබැලීම සඳහා ද එතුමා නිර්ලෝභී ව කාලය වැය කර තිබේ. කුරුකුහුඹු සතුන් පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිරීක්ෂණ ද එවැනි ය.
‘සිංහලයෝ අනුරාධපුර අවසාන භාගයේ සිට ම අනුකාරකයෝ වෙති’ (3 පිටුව) යි මහාචාර්ය නලින් ද සිල්වා කියයි. ඒ අනුකාරකත්වයට බටහිර යටත්විජිතවාදය ද එක්වීමේ ප්‍රතිඵල වශයෙන් අප නිර්මාණාත්මක හැකියාවක් නැති පුද්ගලයන් බවට පත්වී සිටින බව ය, ඔහුගේ අදහස වන්නේ. දැන් මේ මතවාදීමය ප්‍රවේශය ගැන මධ්‍යස්ථ ව හා පරිස්සම් සහගත ව සිතා බලමු.
‘විද්‍යාව’ නමින් අප දැන සිටින්නේත් ඒ නමින් අප හඳුන්වන්නේත් බටහිර විද්‍යාව බව අවිවාදිත ය. ‘විද්‍යාව’ යැයි කී විට එය බටහිර විද්‍යාව ද පෙරදිග විද්‍යාව ද කියා කිසිවකු නොවිමසන්නේ ඒ නිසා ය. එහෙත් විද්‍යාව පිළිබඳ නිත්‍ය උරුමයක් කිසියම් දේශයකට, කලාපයකට, මහද්වීපයකට පමණක් සීමා විය හැකි දැයි සිතා බලන්නට අවකාශයක් විවර කරන්නේ මහාචාර්යවරයාගේ අවධාරණයන් ය.
ඔබට අවශ්‍ය වනුයේ වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරියක හෝ වීමට විය හැකි ය. වෛද්‍යවරයා යනු කවරෙක් ද? යම් කිසිවකු උසස් පෙළ පරීක්ෂණයෙන් වෛද්‍ය පීඨයට ඇතුළු වීමට තරම් ලකුණු නොලැබුව හොත් ඇතැම් විටෙක දේශීය වෛද්‍ය ආයතනයට ඇතුළු වීමට ඉඩ ඇතැ යි ඔබ කියනු ඇත. ඒ ආයතනයට ඇතුළු වන්නෝ දේශීය නැතහොත් ආයුර්වේද වෛද්‍යවරු බවට පත් වෙති. ඒ අය ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස හැඳින්වෙන්නේත් කලින් කී කොටස වෛද්‍යවරුන් ලෙස හැඳින්වෙන්නේත් ඇයි? එක් කොටසක් ආයුර්වේද වෛද්‍යවරුන් වන්නේ නම් අනෙක් කොටස බටහිර වෛද්‍යවරුන් නැත් නම් ඇලපති වෛද්‍යවරුන් ලෙස නොහැඳින්විය යුතු ද? ඔවුන් ඉගෙන ගන්නා පීඨය වෛද්‍ය පීඨය නො ව බටහිර වෛද්‍ය පීඨය විය යුතු නොවේ ද?
(අපේ ප්‍රවාද - නලින් ද සිල්වා - 3 පිටුව)
මේ සියල්ල දෙස විමර්ශනශීලි ව හා මධ්‍යස්ථ ව කල්පනා කර බලන විට තවත් පැත්තකින් අප තුළ මතුව නැඟෙන එක්තරා පශ්චාත්තාපී අහඹු සිතුවිල්ලක් ද තිබේ. මේ අනුව අපට සිතෙන්නේ, නිව්ටන්ලා, අයින්ස්ටයින්ලා වැනි නවෝත්පාදකයන් මෙන් ම තොල්ස්තෝයිලා, මාකේස්ලා වැනි සාහිත්‍ය නිර්මාපකයන් ද පෙරදිග ලෝකයේ (විශේෂයෙන් ලංකාවේ) නූපන්නේ එක්තරා පිනකින් දැයි කියා ය. යම් හෙයකින් පෙර කී ලෝකපූජිත සාහිත්‍යධරයන්ගේ නිර්මාණ (ඔවුන් ලෝකපූජිත වන්නට පෙර) ලංකාවේ සාහිත්‍ය විනිශ්චය මණ්ඩලයකට යොමු කෙරුණේ නම් ඒවා අවසාන නිර්දේශිත පොත් අතළොස්සට හෝ තේරී ඉහළට එනු ඇද්ද යන්න සැක සහිත ය. එය එසේ නම් විශිෂ්ට සංකල්පයකට, නව ප්‍රවාදයකට ඉඩක් කඩක් මේ රට තුළ ඇති විය හැකි ද?
අපගේ පෞද්ගලික අදහසට අනුව නම් සිංහල සාහිත්‍යය, සිංහල නවකතාව මුහුණ පෑවේ මේ ඛේදජනක ඉරණමට ම ය. බුද්ධකාලීන යුගයට ද පෙර පැවැති යුගයක් දක්ෂ ලෙස පරිකල්පනයට හසුකර ගනිමින් වසර 2500කට පෙර සිටි මිනිසාගේත් තව වසර දහස් ගණනකට පසුව බිහිවෙන මිනිසාගේත් දයාව, කරුණාව, ආදරය මෙන් ම ඊර්ෂ්‍යාව හා වෛරය ද එක සමාන වන බව ඉතා විචිත්‍ර ලෙස හා සියුම් ලෙස (මේධා, වරදත්ත, චාරුමුඛ වැනි නවකතා ඔස්සේ) නිර්මාණය කළ ජී. බී. සේනානායක වැනි ලේඛකයන් නොතකා හැරුණේ ද මේ දේශපාලනික හේතු කරණකොටගෙන ය. (ජී.බී. සේනානායකයන්ගේ මේ එක නවකතාවක් හෝ අන්තර්ජාතික භාෂාවකට නැඟී ඇද්දැයි අපි නොදනිමු) මේ රටේ සැබෑ සාහිත්‍යයට අවකාශයක් විවර වූයේ නම් අප අන්තර්ජාතික තලයට යා යුතු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් ම නොවේ යැයි අපට සිතෙන අවස්ථා බොහෝ ය. වර්තමාන ලෝක සාහිත්‍යයේ විචාර සංකල්ප දෙස නෙත් යොමු කළ ද පෙනී යන්නේ මේ ස්වභාවයම ය. පශ්චාත් සංස්ථිතිකවාදය, පශ්චාත් නව්‍යවාදය වැනි මතාන්තර සියල්ලෙහි ම සම්භවය සිදු වී ඇත්තේ යුරෝපයේ ය. ඒවායේ සම්පාදකයින් වන්නේ ජැක් ඩෙරීඩා, රෝලන්ඩ් බාත්, මිචෙල් ෆූකෝ වැන්නන් ය. අප බොහෝ විට අපගේ සාහිත්‍ය කෘති විමර්ශනය කරන්නේ ද එවැන්නන්ගේ උපන්‍යාසයනට අනුව ය.
මෙය මෙසේ සිදු වූයේ ඇයි? නව ප්‍රවාද, නව මතාන්තර ගොඩනැගීමේ කිසිදු හැකියාවක් මේ රටේ කිසිවකුට නොමැත්තේ ද? ඊට හේතු වන්නේ (කලින් ද සඳහන් කළ පරිදි) නව අදහසක් ඉදිරිපත් කිරීමට මෙහි ඉඩක්, අවකාශයක් නොමැති වීම ද? නැතහොත් ඊට ඉඩක් ලබා නොදීම ද?
රුවන්වැකි, පඬිවදන් බොහොමයක් අපි ආනයනය කර ඇත්තෙමු. ඒ වෙනුවෙන් අපනයනය කිරීමට තරම් වූ එවැනි කිසිවක් අප සතුව නැත්තේ ද? මෙහි දී අපේ ජනසාහිත්‍යයේ එන ‘මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට’ යන පදය පමණක් උදාහරණයකට ගනිමු. එහි කොතරම් නම් සාහිත්‍යයික අගයක්, ජීව විද්‍යාත්මක වටිනාකමක් පවතින්නේ ද? මවුකිරට සමාන කිරි ආහාරයක් නිෂ්පාදනය කිරීමට මෙතෙක් කවර විද්‍යාවක් හෝ සමත් වී ඇත්තේ ද?
මහාචාර්ය නලින් ද සිල්වාගේ අදහස්, ඒ ආස්ථානය අනුමත කිරීම හෝ නොකිරීම කෙසේ වෙතත් ඒ හරහා අලුත් සිතුවිල්ලකට, අලුත් කතාබහකට දොරටුවක් විවර වන බව නම් පිළිගත මනා ය. ඒ, නොවැලැක්විය හැකි ලෙස ඒ ඔස්සේ මාතෘකා ගණනාවක් ඉස්මත්තට නැඟෙන නිසා ය. ඒවාට ප්‍රශ්නාර්ථ ගණනාවක් ද එල්ල වීම නොවළක්වනු හැකි ය. පසුගිය අවුරුදු 500 ක් වැනි කෙටි කාලසීමාවක් තුළ යුරෝපයේ, අමෙරිකාවේ බිහිවූ විද්‍යාව මුළුමහත් ලෝකයම කලම්බමින් සියලූ ජනකොටස් ග්‍රහණය කළ ආකාරය පෙන්වා දෙන අතරේ එය කෙසේ නම් සිදු වූයේ ද යන්න විමසා බැලීමට අවකාශයක් ද ඉන් විවර කෙරෙයි. ලෝකයේ වෙනත් රටකට, වෙනත් කලාපයකට මේ ප්‍රාතිහාර්ය පෑමට හැකි නොවීමේ හේතුසාධක ගවේෂණය කිරීමේ උත්තේජනයක් සැපයෙන්නේ ද ඒ සමඟිනි. විද්‍යාඥයන්, නවෝත්පාදකයන් බිහිකිරීමේලා භූගෝලීය, පාරිසරික සාධක බලපෑම් කරන්නේ ද යන්න හෝ ඉතා අඩු තරමින් ඕනෑම කෙනෙකුට (නිරීක්‍ෂකයෙකුට) මේ ඔස්සේ සලකා බැලිය හැකි ය.
කෙසේ වුව ද මේ සියලු අදහස් සාරාංශගත කල එක වැකියකින් කියවෙන්නේ ‘සියලූ නවෝත්පාදකයෝ (නැතහොත් අතිමහත් බහුතරය) යුරෝපීය සම්භවයකින් යුක්ත වූවෝ වෙති’ යන්නයි. ලොව පහළ වූ අග්‍රගණ්‍ය බුද්ධිමතකු, දාර්ශනිකයකු වශයෙන් වැඩිදෙනකුගේ පිළිගැනීමට ලක් ව සිටින ‘ගෞතම බුද්ධ’ නම් වූ පුද්ගල චරිතය උත්පාදනය කිරීමේලා ඉහළ සම්භාවිතාවක් පවතින්නේ ද (මේ අනුව නම්) බටහිරට ය. එහෙත් එය එසේ වූයේ නැත. මහේශාඛ්‍ය බටහිර විද්‍යාවේ උරගල මත තබා ලෝකයේ සියලුම දැනුම් පද්ධතීන් හි නිරවද්‍යතාව කිරා මැන බලන වර්තමාන උගතුන් ‘බුදුදහම විද්‍යාත්මක ද?’ යනුවෙන් නගන ප්‍රශ්නයට මහාචාර්ය නලින් ද සිල්වා සපයන අපූරු පිළිතුර මේ ය.
මේ තකතීරු ප්‍රශ්නය පිටුපස මොන තරම් දීනකමක් පරගැතිබවක් පමණක් නො ව මුග්ධ බවක් ද ඇති බව ප්‍රශ්නය අසන්නෝ නො දනිති. මේ ප්‍රශ්නයට මා දෙන පිළිතුර නම් බුදු දහම බටහිර විද්‍යාත්මක නොවන බවත් බැරි වේලාවත් එ සේ විණි නම් මා බෞද්ධකම අත්හරින බවත් ය.
(අපේ ප්‍රවාද - නලින් ද සිල්වා - 4 පිටුව)
‘අපේ ප්‍රවාද’ පොත කියවා අවසන අපට සිතුණේ අනාගතයේ දී මේ රටේ වැඩි ම ගණනකට මිල කළ හැකිවන්නේ මොළකූඩු ම පමණක් දැයි කියා ය. එසේ සිතුණේ කලකට පෙර කියවා රසවිඳි අපූරු විහිළු කතාවකට අනුව ය.
අෙලවිය සඳහා භාණ්ඩ එක්රැස්කර ඇති ප්‍රදර්ශනාගාරයක ‘මිනිස් මොළ විකිණීමට තිබේ’ යනුවෙන් ලියැවුණු පුවරුවක් වෙයි. ජපන් මොළය රු. 100/- යි. අමෙරිකානු මොළය රු. 150/-යි. ආදී වශයෙන් මිලගණන් දක්වා ඇති එහි ශ්‍රී ලංකා මොළය මිල කර ඇත්තේ රු. 10, 000/- ක් තරම් වූ වැඩි මුදලකට ය. ප්‍රදර්ශනය නරඹන්නට එන සිරිබිරිස් (එනම් වූ විකට චරිතය) පුදුමයෙන් විමසා සිටින්නේ ලංකා මොළය එතරම් ම වටින්නේ ඇයි දැයි කියා ය. ලැබෙන පිළිතුර මෙවැනි ය.
‘මේක හරිම අලූත්, ඔරිජිනල්. කිසිම වැඩක් අරගෙන නෑ.’
මේ සියල්ල ගැන තරමක් දුරට හෝ සිතාබැලීම සඳහා කිසිවකු යොමුවන්නේ නම් මේ සිංහල අවුරුදු නිවාඩුව, මේ විවේකය අර්ථවත් විය හැකි වන බව අපගේ අදහස ය.