
එක්දහස් දෙසිය ගණන්වල ගාල්ල, කළුතර වගේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය පාලකය වුණේ දේවපතිරාජ ඇමතිවරයා. ඔහු දඹදෙණියෙ රජකළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ නිලධාරියෙක්. දෙවැනි පරාක්‍රමබාහු දඹදෙණි යුගය වර්ණවත් කළ රජ කෙනෙක්. ඔහුගෙ යුගය සාහිත්‍යමය වශයෙන් රන් අකුරෙන් ලියවෙන යුගයක්. ක්‍රිස්තු වර්ෂ 1220 සිට 1344 වෙනකම් තිබූ දඹදෙණිය යුගය පාලනය මධ්‍යස්ථානය නගර තුනක සිට මෙහෙයවූවක්. පළමුව දඹදෙණියේ ද ඊළගට යාපහුවේ ද අවසන් වරට කුරුණෑගල ද පැවැති ඒ පාලන මධ්‍යස්ථානයන් තුන තුළ ස්ථාවරව දිගු කලක් පැවතුනේ දඹදෙණිය පාලන මධ්‍යස්ථානය යැයි කිව්වොත් එය නිවැරැදියි.
එහිද කීර්තිමත් පාලකයා වූ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1236 සිට 1270 තෙක් රජ කළ බවයි කියවෙන්නේ. ඔහුගේ රාජ්‍යත්වය උත්කර්ෂවත් වූයේ දළදා වහන්සේ දඹදෙණිය විජය සුන්දරාරාම විහාරථානයේ වැඩ සිටි නිසයි. මහල් දෙකකින් යුත් දළදා මාලිගාව රාජ්‍යත්වයේ සංකේතය වූවාට සැකයක් නැහැ. රාජකීය මන්දිරය, රජ මාළිගාව, නගර ප්‍රකාරය ආදිය තවමත් ශේෂව පැවැතීම පුරා විද්‍යාත්මකව වැදගත්. කලාකාමී රජ කෙනෙකු වූ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා කව්සිළුමිණ හා විසුද්ධි මාර්ග සන්නස නම් කාව්‍යකරණයේ අත් පොත් දෙක ලියූ අතර සිංහල සාහිත්‍ය සිතුවම් හා ලේඛන වලට සීමා නොවූ බව දැක්වීමට ද ඒවා හොඳම සාධයක් වූවා.
සිංහල සාහිත්‍යයේ ජාතක කතා අතර සද්ධර්ම රත්නාවලියට හිමි වන වැදගත්කම සුළුවෙන් තකන්නට නොහැකියි. සද්ධර්ම රත්නාවලිය, භෙසජ්ජ මඤ්ජුසාව, සිංහල ථූප වංශය, සමන්ත කූට වර්ණනාව, පූජාවලිය, සිදත් සඟරාව හා එළු සඳැස් ලකුණ දඹදෙණි යුගයේ බිහි වූ ග්රන්ථ කිහිපයක්. බුත්සරණ නම් වූ ග්රන්ථයට පසුව බිහි වූ දහම් සරණ හා සඟ සරණ නම් වූ ග්රන්ථ ද දඹදෙණි යුගයේ බිහි වූ බවට ඇත්තේ අනුමානයක්. මේ සියල්‍ර පත පොත දඹදෙණිය යුගය සාහිත්‍යමය වශයෙන් ප්‍රබෝධමත් කළ නිර්මාණයන් ලෙසයි ඉතිහාසඥයන්ගේ ඇගයීමට ලක්ව ඇත්තේ.
සිංහල ඉතිහාසයේ වර්ණවත් සාහිත්‍ය ප්රබෝධයක් තිබූ දඹදෙණිය යුගය ගැන ඉතිහාසය උගන්වන පාඩම් මාලා අතර ඇත්තේ සරළ කියවීමක්. ඉතිහාසය නැවත ඉගැන්විය යුතු යැයි බොහෝ අය කීවත් සිංහල සමාජයේ මූලධාර්මික වැදගත්කමක් ඇති මෙවැනි සාහිත්‍යමය වටිනාකම් හා ඒ යුගයේ පාලකයන් ගැන ඇගයීමක් ද සන්සන්දනාත්මක විවේචනයක් ද අපේ පාසල් දරුවන්ට පමණක් නොව විශ්ව විද්‍යාල දරුවන්ට ද ලබා දෙන්නේ නැහැ. ඒ නිසා හුදු ආස්වාද්ජනක සිදුවීම්වලින් ඉතිහාසය කියවා අවසන් කරන මුත් සමාජයට වැදගත්කමක් ඇති වටිනාකම් පිළිබද තක්සේරුවක් පිළිබඳ සාකච්ඡාවක් ගොඩ නැගෙන්නේ නැහැ. එහි ප්‍රතිඵල වන්නේ ඉතිහාසය හුදු ගඩොළු ගොඩවල් වලින් කියවා ගැනීමයි.
නමුත් ඉතිහාසය කියවා ගත යුත්තේ අනාගතය ගොඩනංවා ගැනීම සඳහා සුදුසු අඩිතාලමක් වශයෙන්. ඒ අඩිතාලම සඳහා ඉතිහාසය විවේචනාත්මකව කියවිය යුත්තක්. හුදු ආත්ම උත්තේජනයකින් ඔබ්බට යන විවේචනාත්මක දැක්මක් ඒ සඳහා අවශ්‍යයයි. සමාජයක අභිමානය මෙන්ම ෙපෟරුෂය හා යහ පැවැත්ම තහවුරු වන්නේ එවිටයි.
දඹදෙණිය මැතිවරණ කොට්ඨාසයේත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් කෝටි ගණන් මුදල් වියදම් කර භෞතික සංවර්ධනයක් කළ බව උදම් අනන්නට ඕනෑ තරම් පිරිස් සිටින්නට පුළුවන්. ඒත් සංස්කෘතික දියුණුවකට මෙන්න මේ දේ කළා යැයි කිසිවකුට කිසිවක් කියන්නට බෑ. සමාජයක සංස්කෘතික දියුණුව කියන්නේ සංස්කෘතික ශාලා ඉදි කිරීමම නෙවෙයි. මිනිසුන්ගේ සංස්කෘතික වටිනාකම් මගින් සමාජයක අාධ්‍යාත්මික වටිනාකම් සුරැකෙන හා තහවුරු වෙන පදනමක් අත්‍යවශ්‍යයි.
සමාජයක් විදිහට ආර්ථික දුප්පත්කම සියලු දෙනාම සාකච්ඡා කරන මාතෘකාවක්. නමුත් සමාජයක සංස්කෘතික දුප්පත්කම කිසිම දේශපාලන ව්‍යාපාරයක් විසින් බරපතල ලෙස සාකච්ඡා නොකිරීම වරදක්. ඒ අර්ථයෙන් දඹදෙණියේ සාහිත්‍යමය ප්රබෝධය හෙටට ශක්තිමත්ව සුරකිව තබා ගන්නටත් සමාජය නිර්මාණශීලීව ගොඩ නගන්නටත් කළ යුතු දෑ බොහෝයි.
ඉතිහාසයේ පරමාදර්ශයට රටක් හා සමාජයක් නැවත බලෙන් ගෙනයන්නට බෑ. සමහරවිට ඒ යුගය අවසන් වී තිබෙන්නට පුළුවන්. නමුත් සමාජය එක තැන නොරැදී අනවරතව ඉදිරියට යන නිසා සමාජ වෙනස අනිවාර්යෙන් සිදුවන්නක්. ඒ සඳහා පෙර සාහිත්‍ය ප්රබෝධය අමතක කරන්නට බැහැ.
දඹදෙණි යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් බව දඹදෙණියේ අද ජීවත්වෙන පරම්පරාවට තක්සේරුවක් නොමැතිවීම අහඹුවක් නෙවෙයි. සංස්කෘතික ජීවිතයක් ගත කිරීමට හා සංස්කෘතික සමාජ වටිනාකම් ගැන ආඩම්බරයක් ඇති කර ගැනීමට මග නොපෙන්වන සමාජයක දෙවැනි පරාක්‍රමබාහු වටිනාකමක් සහිත රාජ්‍ය පාලකයකු වන්නේ කෙසේද?
දඹදෙණියට අයත් අලව්ව, නාරම්මල නගර දෙකම සංස්කෘතික ජීවිතයකට අවශ්‍යම අවම පහසුකම් හෝ නොමැති කුඩා නගර දෙකක්. මේ එකම නගරයකවත් මිනිසාගේ සංස්කෘතික ජිවිතය ඔප් නංවන පූර්ණ සිනමා හලක්, සම්මන්ත්රණ ශාලාවක්, නාට්‍යාගාරයක් හෝ හරි හමන් පුස්තකාලයක් හෝ නැහැ. ජීවිතය ගැට ගසා ගැනීමට බඩගෝස්තරය පසු පස යන සමාජයක සංස්කෘතියක් ගොඩනැගෙන්නෙ නෑ. බඩ පිරෙන එකා ද සල්ලි මලු ගොඩ ගසා ගැනීමට පන්තිමය හීනමානයකින් කටයුතු කරන සමාජයක රස විඳීමට තරම් විවේක බුද්ධිය ඇති මිනිසුන් නිර්මාණය වෙන්නෙත් නෑ.
දඹදෙණියෙ මහජන නියෝජිතයන් ගනුදෙනු කරන්නේ යාන්ත්‍රිකව ශරීර කූඩු සමගයි. ඒ ශරීර කූඩුවලට අවශ්‍ය වන්නේ පාරවල් කාපට් කර ගැනීම, ජල නල එළා ගැනීම හා ගොඩනැගිලි හදා ගැනීම වගේ සරල වැඩ ටිකක් පමණයි. ඔවුන්ට සංස්කෘතික ජීවිතයක අවශ්‍යතා නෑ. නමුත් ජාතියක් ශක්තිමත්ව ගොඩනගන්නට නම් සංස්කෘතික පරිසරයක් අවශ්‍යයි. එය සිංහල සමාජයටත් පොදු ධර්මතාවක්.
අබරන්