‘කටබහේ අරුමය’ | සිළුමිණ

‘කටබහේ අරුමය’

වට පිලට ගො‍ඩවෙන කොටම කටමැත දෙඩවීම නිසා ජාති, ආගම්, වාදයෙන් රටම ගිනි ගන්ට ගිය පුවත කනේ වැටුණේ ය. නුවර කලාවියේ අපේ ඇත්තන් ‘කටබහ’ ගැන දැන කියා ගත් වටිනාකම් එමටයි. අපේ රට රාජ්‍යයේ විතරක් නොව මුළු ලෝකයේ ම ‘ජනශ්‍රැති’ උප්පත්තියත් අද දක්වා පැවත ඒමටත්, මුල කටබහයි. පස්සෙන් පහුවෙලා ඒවා ලියා තාවුරු කර රැක ගති.

අපේ කොටුගම්වල ඇතතන් ඉඩකඩම් දරුවන් අතර බෙදා දුන්නේත්, පන්සලට පිං ඉඩම පූජා කළේත්, නැති බැරි අයට මෙන් ම වෙදුන්ට, ගුරු උතුමන්ලාට හරකා බාන, වස්තුව තෑගි බෝග කොට දුන්නේත්, කටබහ වචනය පිටයි.

කලාතුරකින් මහ පරිමා­‍ෙණට කළ බෙදීමක් ඔප්පු තිරප්පු සන්නසකින් ලැබුණ තැන් තිබුණි. කටබහ තීන්දු ඒ තරමට විශ්වාසය. කිසිදාක අද ඇත්තෝ මෙන් වෙනස් නොවී ය. කටබහේ තීන්දු කඩ කළොත් දිවි වදින බව වෙනස් නොවීය.

කටබ‍හේ තීන්දු කඩ කළොත් දිවිවදින බව දෙවියෝ කෝපවී ලද සියලු දේ සුබාවයෙන් හානිපත්වන බවට වැඩි හිටි ඔවදන් ලැබුණි. නඩු හබවලදී පුරාණ ක‍ාලේ වගේ ම රෝම ලන්දේසි නිති ආවට පසුවත් උසාවිවලින් දිවි සහතික ලබාගන්ට නියමු වූයේ ‘කටබහ’ මුල් කරගෙන ය.

කටබහේ වටිනාකම අපේ ගම්වල සිරිත් ප්‍රකාර විවාහවලින් ද තහවුරු විය. කඩදාසියක කන අත්සන (ඇඟිලි සලකුණ) වත් නොතබා ‘කටබහ තීන්දු’ වෙන් කෙරුණු අවාහ විවාහ ගලේකෙටූ ලෙසටම දිවි හිමියෙන් රැකගත්හ.

සොබාවික අප තක්, විපතක් නිසා විවාහය කඩවීමක් හෝ කඩ කිරීමක් සිදුවූවා නම් එයත් වරිග සභාවක්, ‘සම්මුති කටබහ’ කින්ම සිදු ව‍ූවේ ය. කටෙන් වචනයක් පිට කරන විට තැන නොතැන බලා කළ යුතු යයි දරුවන්ට හීං සන්දියේ සිටම කියා පෑවේය. පස් පවේ එන බොරු කීම අපාය ගාමිවන බව පාසලේ නෙලූ අපාය විස්තරයේ දිව ඇද කැපීමෙන් ම සිත් තුළ තැන්පත් කළේ ය.

ගමේ සංහිදේ, දේවාලයේ දුක් අදෝනාවක් කියාපාන කන්නලව්වේ දී පවා ‘කටබහ වැරැද්දට’ සමාව යැදුවේ අත්වැරදි, කටවැරැදි සිදුවී නම් මිනි පල්ලේ මිනීපතුලේ සමාව බජනය කළහ. “හිත වරද්දා ගත්තේ කටවරද්දා ගන්ට එපා” කියමනෙන් ද මෙහි වටිනාකම තහවුරු වුණේ ය.

කට සහ කටබහ අතර පවතින්නේ ද නොනැසී ‍සබඳතාවකි.

“මානෙල් සුවඳමය
කුඩ මසු පිලී ගඳමය
දෙකට එක දියමය

හොඳට නරකට දෙකට කටමය” යන ඔවදන් කවියම ඊට කදිම සාක්ෂියකි. කට නිසා වන හානි ගැන කොතෙක්වත් උපදේශන, ආදර්ශ පිරුළු අපේ ගංගෙවලින් ඇසෙති. “මාළුවා නැ‍ඟෙන්නේ කට නිසා ය” අනුවනයා කට ඇර මෝඩකම් පානවාට වඩා ගොළු වත රැක්මෙන් ප්‍රඥාවන්තයින් අතර ද රැකෙති. වාචාල බස පිරිහීමටත් කටෙන් ජය ගැනුමේ අස්තාවර බවත්, අපේ ඇත්තෝ දැන කියා ගත්තේ පන්සල් අධ්‍යාපනය තුළින් ම ය‍. අට ලෝ දහමේ ක්‍රියාවලියෙන් වාචාලයා හෙළිවෙයි.

බණ දහම්, දේශීය වෙද හෙදකම්, කෙම් පහන් මෙන් ම අභිවාරිවිධි ගොඩට ගැනෙන යන්ත්‍රමන්ත්‍ර, තන්ත්‍ර සියල්ලම අපට උරුමවූ පරවෙනියට ආවේ ‘කටබහෙන්ය.’ උගෙන ගැනීමේ ශිල්ප ශාස්ත්‍ර වනපොත් කිරීම යනු ‘කටබහේ’ පිළිවෙතයි.

ජනශ්‍රැතියේ එන ‘කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් ‍බේරේ’ වැනි ප්‍රස්තා පිරුළු පිළිපන් ජන කතාවන් ‘කටබහ’ වටිනාකම් එළි දක්වයි. තාවකාලික නවාතැනක උයාගත් බත් මුට්ටිය ද සරමේ දමාගෙන දුවන්ට සිදුවූයේ අනවශ්‍ය තල්ලී, පොල්ලී යැයි වාදයක පැටලී කට මැත දෙඩිමෙණි. සිය දියණියන්ට අපහාස කරනවා යැයි ගෙහිමියාට ‘කටබහෙන්’ ලැබුණ වැරදි පණිවුඩය ඊට හේතු විය. ‘නමින් කපුරුහාමි වුවත් කටෙන් දුගඳ හමයි’ නම් ඔහු එය දැන පයරු පාසානය කළ යුතු බව ගම් ඇත්තන් කියාදෙති.

වැඩප‍ළක් නොකර, සිටින්නාත් අවශ්‍ය තැන දී ක්‍රියා නොකරන්නාත් ගමේ දී ‘කටබලියාගෙන’ සිටියායි අවඥාවට පාත්‍ර විය. විශ්වාසවන්තයා ‘මිනිහා කට අරින්නෑ’යි හැඳින්විය. අතවැනුවොත් කටවැනෙනවා කීවේ වෙහෙස නොවී අහර නොලැබෙන බවයි. අනියත බව සේ ම, ජීවිතයේ හැටි සොබාව තේරුම් කිරීමට ජනකවියකු කට යොදා ගත්තේ මෙසේ ය.

කලකට කට මවුදෙතනේ කිරි බීමා
කලකට කට රස පලවැල වැළදීමා
කලකට කෙතකට බැදි වැට සේමා
කලකට කට පටමල්ලේ කට සේමා

නිශ්චිත ස්ථිර, අවසන් වචනය, කටබහේදී කම්මුතු වචන යයි. ඕනෑම පිවිසුමක්, පිට කිරීමක් (මෝය කට, හොරොව්, කරහන් කට) වශයෙන් හැඳින් වුව ද ඒවායේ බහක් නැත. අන් අයගේ වැඩකදී අනාරාධිතව කථා වට යාම ‘කටදැමීමයි.’ කනේ දොස් ඇතිවන තරමේ කතාව කන්දොස් ක්‍රියාවයි. සප්ත මූර්ති පහනක් කටින් පි‍ඹ නිවා දැමීම දොසට හේතුව කැයි සලකති. මිහිරි මදුර නාදයෙන් කව්, ගී, චූර්ණිකා බණ දහමක් දෙසීම පවා හැඳින්වෙන්නේ ඛණ්ඨ ස්වරයේ අපූරත්වයක් වශයෙනි. පුරාණ උගැන්වීම්වලදී ශබ්ද අර්ථ පිරිපුන්ව සලකා ‘සකස්කඩය’ කියවිය. ඒ නොකිව් උගතා ද ‘සකස්කඩ නොකී කට උඹේ කට හුඹස්කට යැයි අවඥාවට ලක්විය. අපේ ගම්වල එකල භාවිත කළ තුවක්කුවට කීවේ ‘කලම්පඩියයි’. ඊට ‘කටපුංචා’ තවත් පර්යාය නාමයක් ද වේ.

‘කටබහ’ අද තුට්ටුවට තබා පිච්චයට ගොස් ය. නමුත් යුරෝපීයෝ මීට කොතරම් අවනත වී සැලකුවේද යනු ලිඛිත ‘අලිඛිත’ රාජ්‍ය පාලන ව්‍යවස්ථා සම්පාදනයෙන් ම පෙනේ‍. බුදුදහමේ පේත වස්තු කථාවල කට අවභාවිතා කළෝ දුගඳ කට ඇතිව අමුවෙන් ම පණුවන් කා දමන අයුරු කියවෙයි.

උවමනා තැන ඇර, නුවමනා තැන වසාගෙන සමාජ ප්‍රගමනයට අවශ්‍යම මනුෂ්‍ය ශරීර අංගයක් වන කට හා එහි බහ භාවිතය කොයි කාලයටත් එක සේ වැදගත් වන බව මාගේ හැඟීමයි.

 මාමිනියාවේ ඉලංගසිංහ

Comments