
ගම්ලත් ශිෂ්‍යයාගේ අවාසනාවන්ත කාලය උදාවන්නේ වයස අවු: නමයේදීය. ඔහුගේ ආදරණිය මව හදිසියේ අභාවප්‍රාප්ත වූවා ය. පවුලේ සියලු දෙනාටම අම්මාගේ සමුගැනීම තදින් දැනිණ. කලකට පසු, ගම්ලත් අවිස්සාවෙල්ලප්‍රදේශයේ පන්සලක පැවිදි වන්නේ ය. මේ පන්සලේ වැඩ වාසය කළ අවධියේ සිංහල, පාලි හා සංස්කෘත යන භාෂා පිළිබඳ දැනුම මුවහත් කරගැනීමට අවස්ථාව ඔහුට ලැබිණ. පසුකලක දී, මේ යතිවරයා කැලණියේ විද්‍යාලංකාර පිරිවෙනට පිවිසෙයි. එහි දී සමාජ, ආර්ථික,දේශපාලන හා සංස්කෘතික අංශ පිළිබඳ ගම්ලතුන් තුළ තිබු අවබෝධය වඩාත් පුළුල් විය.
හිමිදිරි උදෑසන අහසට නැගෙන හිරු, සිය රශ්මිය හා ආලෝකය මුළු ලෝකයට ම ලබා දී සවස් කාලයේ බැසයයි. හිරු ලොවට අර්ථවත් සේවාවක් කරන්නා සේ ලෝකයට සේවාවක් කරන උදාර මිනිසුන් පහළ වන්නේ ඉතා කලාතුරකිනි. එලෙස තමන්ගේ මව්බිමට මහ මෙහෙයක් කළ විද්වතකු වශයෙන් මහාචාර්ය සුචරිත ගම්ලතුන් හැඳින්විය හැකිය.
වර්ෂ 1934 මාර්තු මස 10 වෙනි දින ගම්ලත් සීතාවක නදිය හා ශ්‍රී පාදයට මායිම්ව ඇති නක්කාවිට ග්‍රාමයේ උපත ලැබූවේය. ඔහුගේ පියා දේශීය වෛද්‍ය පරම්පරාවකින් පැවත ආ වෙද මහතෙකි. ගම්ලත් පවුලේ වැඩිමලා වූ අතර ඔහුට සහෝදරයෝ දෙදෙනෙක් සිටියහ. ගම්ලත්ගේ සීයාට ප්‍රාචීන භාෂා පිළිබඳ නිපුණත්වයක් තිබිණි. සීයා මේ දරුවාට සිංහල හෝඩිය ඉගැන්වුයේ ය. මුලික අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ගම්ලත් ගමේ ප්‍රාථමික පාසලට ඇතුළු වෙයි. ඔහු එම පාසලේ හතරවෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවේ ය. ගම්ලත් ශිෂ්‍යයාගේ අවාසනාවන්ත කාලය උදාවන්නේ වයස අවුරුදු නමයේදීය. ඔහුගේ ආදරණිය මව හදිසියේ අභාවප්‍රාප්ත වූවා ය. පවුලේ සියලු දෙනාටම අම්මාගේ සමුගැනීම තදින් දැනිණ.
කලකට පසු, ගම්ලත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පන්සලක පැවිදි වන්නේ ය. මේ පන්සලේ වැඩ වාසය කළ අවධියේ සිංහල, පාලි හා සංස්කෘත යන භාෂා පිළිබඳ දැනුම මුවහත් කරගැනීමට අවස්ථාව ඔහුට ලැබිණ.
පසුකලක දී, මේ යතිවරයා කැලණියේ විද්‍යාලංකාර පිරිවෙනට පිවිසෙයි. එහි දී සමාජ, ආර්ථික,දේශපාලන හා සංස්කෘතික අංශ පිළිබඳ ගම්ලතුන් තුළ තිබු අවබෝධය වඩාත් පුළුල් විය. පිරිවෙනේ ඉගෙන ගත් අවධියේ තරුණ භික්ෂුව ලන්ඩන් (උසස් පෙළ) විභාගයට පෙනී සිටියේය. උන්වහන්සේ එම විභාගයෙන් ඉතා ඉහළින් සමත් වුහ.
වර්ෂ 1959 දී මේ තරුණ භික්ෂුව ලංකා විශ්වවිද්‍යාලයට (පේරාදෙණිය) ඇතුළු වෙයි. එම අවධියේ දී උපැවිදි වූ තරුණ ගම්ලත් සිංහල විශේෂවේදී පාඨමාලාව හැදෑරුවේ ය. ගම්ලත්ගේ සරසවි සමකාලීනයන් වශයෙන් කේ.එන්.ඕ. ධර්මදාස, ඒ. ඒ. අබේසිංහ, අමරහේවා මද්දුම, ඩී.බී. නිහාල්සිංහ හා නාෙමල් වීරමුනි දැක්විය හැකිය. 1963 වර්ෂයේ දී ගම්ලත් ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සහිතව ගෞරව උපාධියක් දිනා ගනියි. ඔහුගේ විශේෂ කුසලතා සඳහා “රෝලන්ඩ්” රන් පදක්කම ප්‍රදානය කෙරිණ.
ඊට අමතරව ජයනායක ත්‍යාගය මෙන්ම, ප්‍රාචීන පර්යේෂණ ශිෂ්‍යත්වය ද ඔහුට හිමි විය.
සරසවි අධ්‍යාපනයෙන් පසු ගම්ලත් හා කේ.එන්.ඕ. ධර්මදාස දෙපොළ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය තනතුරක් සඳහා අයදුම් කළහ. එහෙත් මේ දෙදෙනාට ම සහකාර කථිකාචාර්යවරයකු වීමේ අවස්ථාව නොලැබිණ.
අනතුරුව, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ පුරප්පාඩුව පැවති සහකාර කථිකාචාර්ය ධුරයක් සඳහා තරුණ ගම්ලත් අයදුම් කළේය. ඔහුගේ අපේක්ෂා මුදුන්පත් විය. මහාචාර්ය ඇම්.බී. ආරියපාලයන් විසින් ගම්ලත්ව කථිකාචාර්ය ධුරයට තෝරාගන්නා ලදී. වර්ෂ 1966 දී ගම්ලත් සිය පී.එච්.ඩී. උපාධි පාඨමාලව හැදැරීම සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වුයේ ය.
එහි දී හෙතෙම ආචාර්ය උපාධිය සඳහා දර්ශනය විෂය තෝරාගනියි. වර්ෂ 1969 දී ආචාර්ය උපාධිය සමත් වූ ගම්ලත් යළි කොළඹ සරසවියට පැමිණෙයි. එතුමා ශාස්ත්‍රීය පර්යේෂණ කිහිපයක් කළේ ය. “කව්සිළුමිණ විනිස” නමින් වටිනා සංස්කරණ ග්‍රන්ථයක් හේ සම්පාදනය කරයි. 1971 වර්ෂයේ දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරකට උසස්වීමක් ඔහුට ලැබිණ. 1975 දී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය මණ්ඩපයේ සිංහල භාෂා හා සාහිත්‍ය අංශයේ මහාචාර්ය වරයා වශයෙන් ගම්ලත්හු පත් කරනු ලැබූහ. නොබෝ කලකින්, සිංහල භාෂා පීඨයේ පීඨාධිපති වශයෙන් ද ඔහු තෝරා ගැනිණ. වර්ෂ 1979 දී යාපනයේ හටගත් සිංහල හා දෙමළ ජාතිවාදි ගැටුම් නිසා, යාපනය මණ්ඩපයේ සිංහල අංශය වසා දැමිණ, කැලණිය සරසවියේ සිංහල අංශයට, ගම්ලත්, සුනිල් ආරියරත්න හා ධර්මසේන පතිරාජ යන සිංහල ආචාර්යවරු අනුයුක්ත කෙරිණි.
වර්ෂ 1980 දී, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගම් ලතුන්ගේ සේවය අත් හිටුවන ලදී. පසුව, කොමිෂන් සභාව ඔහුගේ වැඩ තහනම් කරන්නේ ය. ගම්ලත් ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දෙයි. එහෙත් ඔහු තව තවත් ධෛර්යවන්ත වුයේ ය. මේ උත්තුංග පඬිවරයා නුවර පොල්ගහමුල බාහිර උපාධි පන්ති පැවැත්වුයේ ය. ඊට අමතරව, ගම්ලත් ඉංග්‍රීසි පන්ති ආරම්භ කිරීමත්, ඉංග්‍රීසි පතපොත ලිවීමත් කළේ ය. එකල එතුමා නන්දා මාලනීගේ ගීත සම්බන්ධයෙන් පෙරළිකාර මතවාද ඉදිරිපත් කරමින්, සාහිත්‍ය ක්ෂේත්‍රයේ පෙරමුණට පැමිණියේ ය.
වර්ෂ 1994 දී බලයට පත් ආණ්ඩුව සුචරිතයන්ට යළි රැකියාව ලබාදෙයි. රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයකු වශයෙන් ගම්ලත් ව යළි පත් කරනු ලැබිණ.
වර්ෂ 1999 දී සුචරිත ගම්ලත් සරසවි සේවයෙන් විශ්‍රාම ගත්තේය. මේ පඬිවරයා බහුවිධ විෂය ක්ෂේත්‍රයන්හි නිපුණතා දක්වයි. භාෂාව, සාහිත්‍ය, නාට්‍යය, චිත්‍රපටය, විචාරය, දර්ශනය, දේශපාලනය හා බුදු දහම යන විෂය ක්ෂේත්‍රයන්හි ඔහුට තිබුණ දැනුම ඉතා පුළුල් ය.
ගම්ලත් භාෂා නවයක් දැන සිටි විද්වතෙකි, භාෂාවේදියෙකි, ව්‍යාකරණඥයෙකි, නාට්‍ය, චිත්‍රපට හා සාහිත්‍ය විචාරකයෙකි, පරිවර්තකයෙකි, ශබ්දකෝෂ කතුවරයෙකි, චතුර විවාදකයෙකි, නාට්‍ය හා රංග කලාව පිළිබඳ පොත් රාශියක් පළකළ ලේඛකයෙකි, එමෙන්ම මාක්ස්වාදී ආර්ථික හා දේශපාලන න්‍යායට ඇලුම් කළ සාහිත්‍යධරයෙකි.
ගම්ලතුන් විසින් රචිත ඉතා අර්ථවත් කෘතියක් වන්නේ “ඉංගිරිසි - සිංහල ආධුනික ශබ්දකෝෂයයි”. මෙය නවකයන් විසින් පරිශීලනය කළයුතු වටිනා ශබ්දකෝෂයකි. ඔහු විසින් පළ කරන ලද අගනා ම ශබ්දකෝෂය වන්නේ “ඉංගිරිසි - සිංහල මහා ශබ්දකෝෂයයි.” මෙය වෙළුම් දෙකකින් සමන්විත ය. 1980 ජනවාරි මාසයේ මේ ශබ්දකෝෂය ලිවීම ආරම්භ කර ඇත. එහි සියලු කටයතු නිමකර තිබෙන්නේ 2009 වර්ෂයේ දි ය.
මේ ශබ්දකෝෂයේ සාමාන්‍ය ඉංග්‍රීසි වචනවලට අමතරව පාරිභාෂික පදවලට අරුත් සැපයෙයි. ඉතිහාසය, නීතිය, ආර්ථික විද්‍යාව, භෞතික විද්‍යාව හා කලා විචාරය ආදියට අදාළ පාරිභාෂිත වචන හා යෙදුම්වල සිංහල අර්ථ සපයා ඇත. මෙම ශබ්දකෝෂයේ වචන 500,000 ක් පමණ අඩංගුය. මලලසේකර ශබ්දකෝෂයට වඩා පුළුල් ශබ්දකෝෂයක් වන මෙය අනාගත පරම්පරාව සඳහා දායාද කළ ධනයක් ලෙස අගය කළ හැකි ය. මහාචාර්යවරයාගේ ප්‍රඥාවේ එකතුව මේ පොතෙන් සංකේතවත් කෙරේ.
වයස අවුරුදු 79 දී. පෙණහලු පිළිකාවක් උත්සන්න වීම නිසා ගම්ලත් 2013 මාර්තු 30 වැනි දින අභාවප්‍රාප්ත විය. ඒ වනවිට ඔහු සම්පුර්ණ කරමින් සිටි “දෙමළ - සිංහල ශබ්දකෝෂය” අතරමග නතර විය. අපගේ අදහස අනුව ගම්ලත්ගේ මරණයෙන් පසු පවතින හිඩැස පිරවීමට සමතකු මේ ශතවර්ෂයේ බිහි නොවනු ඇත. එම නිසා සහෘදයන්ට ඔහුගේ වටිනාකම දැනෙන්නේ අදට වඩා හෙට දවසේ ය.
රෝහණ වංශතිලක