පොසොන් සඳට පෙර හුනු පිරි­යම් වන ස්වර්ණ­මා­ලිය | සිළුමිණ

පොසොන් සඳට පෙර හුනු පිරි­යම් වන ස්වර්ණ­මා­ලිය

මා සිටින්නේ පුරාවෘතයන්ට අනුව මහා නිර්මාණකරු විසින් පුර්ණ ලෙසම කළුගලින් නිමවා දුටුගැමුණු රජු වෙත පිළිගැන්වු බව සඳහන් රුවන්වැලි සෑයේ ආකෘතිය අබිමුවයය. සලපතළ මළුවේ දකුණු පස වාහල්කඩ අසලට වන්නට ඇති මේ කුඩා ශෛලමය චෛත්‍යය ඉතිහාසයේ නිහඬ සාක්ෂිකරුවෙකි. කුඩා දිය බුබුළක් අහස සිඹින මහා සෑයක් වී ඇති අපුරුව මම දකිමි. කිසිදු චෛත්‍යයක තැන්පත් නොකළ තරමේ ධාතුන් වහන්සේ ද්‍රෝණයක් පමණ තැන්පත් කොට ඇති හෙයින්ම අසදෘශ මහාථුපය ලෙස ද රුවන්වැලි සෑයට නම් පටබැඳී ඇත. අතීතයේ ද්‍රෝණයක් ලෙස හඳුන්වා ඇත්තේ ලාස් හතරකට නොඑසේනම් නැළි දාසයකටය.

වර්ෂයක් පාසා සිදුවන රුවන්මැලි සෑ හුනු පිරියම් කිරීමේ කාර්ය වෘත්තීය නිපුණත්වයකින් යුතු මිනිස් ශ්‍රමය භාවිත වන අවස්ථාවක් මෙන්ම විසල් ධන සම්භාරයක් වැයවන කාර්යකි. සමස්තයක් ලෙස මෙම හුනු පිරියම් කිරීමේ කාර්ය නිමා කිරීම සඳහා රුපියල් ලක්ෂ 75 කට ආසන්න මුදලක් වැයවන බව ඒ වෙනුවෙන්ම මෙහි පැමිණ සිටින ශිල්පීහු පවසති. උණ බම්බු ඉණිමං මත පියෙන් පිය නැඟ සෑය මත හුනු පිරියම් කරන්නවුන්ගේ දසුන මොහොතකට මා සිත සසල කරවයි. හමා එන සුළඟත් විටෙක නැඟී එන අකීකරු අව් රශ්මියත් මැද මතුව එන ජීවිත අවදානම කොතෙක් නම් විය හැකිද? එහෙත් මේ මිනිසුනට එහි ඇති අරුමයක් නැති සෙයකි.

සුළඟත් එක්ක ටික ටික උඩට යනකොට බයක් එහෙම හිතෙන්නේ නැද්ද? මම විමසීමි. හේ ඇල්පිටියේ සිට පැමිණි හැටඑක් හැවිරිදි පී.කේ. ජයතිස්ස මහතාය. ඔහු ප්‍රියමනාපය. හඬ අධිෂ්ඨානශීලිය. කිසිදු පැකිළීමක් එහි ඇති බවක් මට නොහැඟේ.

“අපි කාලයක් තිස්සේ මේ වැඩේ කරන නිසා බයක් දැනෙන්නේ නෑ. ඒත් ඉතිං අලුතින්ම මේ වැඩවලට එකතු වෙන කෙනෙකුට ඇත්තටම බයක් දැනෙන්න පුළුවන්. කොහොම වුණත් එහෙම එකපාරටම අලුතින් එන කෙනෙක් හුණු ගාන්ඩ චෛත්‍ය උඩට යවන්නේ නෑ. හුණු දිය කරන්ඩ, පලංචි බඳින්න වගේ දේවල් වලට තමයි උදවු කරගන්නේ. මේක එක අතකින් පින්කමක්. ඉතිං මොකටද බය වෙන්නේ.”

සැඳෑ හිරු ක්‍රමයෙන් මෝදුවෙන අඳුර සමඟ එක්වෙයි. වරෙක අනෝරා වැස්සටත්, පුපුරු ගහන අව්වටත් හසුව මතුව ආ අතෝරක් දුර්වර්ණ පැල්ලම් අකා මකා දාගැබ සුදෝ සුදට හැරවීම මේ ශිල්පීන් අබිමුව ඇති අභියෝගයයි.

ස්වර්ණමාලිය සුදෝ සුදට හරවන අතරේ සිවුකොන රැඳි පරිවාර චෛත්‍යයන් ද, වාහල්කඩ හතර ද, සලපතළ මළුව වටකොට බැඳි ඇතුන් 338 ක් සහිත ඇත් පවුර ද වර්ණ ගැන්වීමේ අභියෝගය මේ ශිල්පීන් අත දරා ඇත. ඉකුත් වසරේ මෙන්ම මෙවර ද රුවන්වැලි සෑයේ හුනු පිරියම් කිරීමේ කටයුත්තට මතුගම, වළල්ලාවිට සිට මෙහි පැමිණ සිටි පිරිවරෙහි නියමුවා කුමාරගේ සම්පත් මා හා පැවසුයේ මෙවැනි කතාවකි.

“1981 අවුරුද්දේ සිට විසි හට අවුරුද්දක් අපේ තාත්තා තමයි කට්ටිය අරගෙන ඇවිල්ලා චෛත්‍ය හුනු ගෑවේ. මාත් තාත්තත් එක්ක දන්න කියන කාලේ සිටමේ වැඩේට අනුරාධපුරේට එනවා. මගේ අයියලා දෙන්නත් එදා ඉදලා අද වෙනකන්ම මේ පින්කමට එකතු වෙනවා. අවුරුදු හතරක් හුණු පිරියම් කරන එක වෙන කට්ටියක් කළා. 2011 සිට ආපහු මේ වැඩේ අපිට පැවරුණා. අපි බොහෝම කැමැත්තෙන් මේ පින්කම කරන්නේ.”

කි. පු. 161 - 137 තරම් දුරාතීතයේ දුටුගැමුණු රජදවස ඉදිකිරීම් ආරම්භ කොට ඇති රුවන්වැලි සෑය, ස්වර්ණමාලි, හේමමාලි, රත්නමාලි, රුවන්මැලි, මහාථුප ආදි නම්වලින් ද හඳුන්වා ඇති බවට පුරාවෘත්ත සාක්ෂි කරයි. ස්වර්ණමාලි නම් දෙවඟන විසු තෙලඹු රුක්ෂය ඉවත් කොට එබිම මත චෛත්‍යය ඉදිකළ හෙයින් ස්වර්ණමාලි ලෙස නම් තැබු බව ප්‍රකටව පවතින ජනප්‍රවාදයකි. 1981 වර්ෂයේ සිට මේ දක්වා හුණු පිරියම් කිරීමේ කටයුත්ත සදහා මෙහි පැමිණ ඇති 48 වියැති සුමිත් කුමාර මහතා පෙර කතාකළ සම්පත් ගේ වැඩිමහල් සොහොයුරාය.

“හුනු ටොන් 10 ක් විතර සම්පුර්ණයෙන්ම චෛත්‍යයේ හුනු ගාල ඉවර කරන්ඩ ඕන වෙනවා. අඩි 35 කට වැඩිය දිග උණ බම්බු 650 ක්, කොහු ලණු කිලෝ ග්‍රෑම් 650 ක්, කිත්තන් ලනු අඟල් එකහමාරෙන් මීටර් 1000ක් විතරක් ඕන වෙනවා. කිත්තන් ලණු අඟල් දෙකෙන් මීටර් 200ක් විතරයි, අඟලේ ප්‍රමාණෙන් මීටර් 800ක් විතරයි අලුතෙන් ගන්ඩ වෙනවා. මොකද පාවිච්චි කරපු ලණුවල පොඩිහරි පළුද්දක් තිබ්බොත් ඒක හිතට හරි මදි. චෛත්‍යය සූරන්ඩ ගන්න වයර් බ්‍රෂ් විතරක් දුසිම් 30 කට වැඩිය යනවා මේ වැඩේට. කලවම් කරන්ඩ නිල් කිලෝ 200 ක් විතර ඕන.”

එවක චෛත්‍යයේ ඉදිකිරීම් නිමා කිරීමට දුටුගැමුණු රජුට නොහැකිව ඇති බවත්, කි.පු. 137 - 119 දී රජ පැමිණි රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජ දවස ඉදිකිරීම් නිමාකොට ඇති බවත් ඉතිහාසයේ සඳහන් වේ. ගල් පුවරු ඇසුරින් නිර්මාණය කොට ඇති සම සතරැස් සලපතළ මළුවේ එක් අන්තයක දිග අඩි 480 ක් පමණකි. කි.ව. 1017 දී අනුරාධපුර රාජධානීය බිදවැටීමත් සමග එහි වු වෙහෙර විහාර ද විනාශයට පත්වී ක්‍රමයෙන් වල්වැදී ඇත.

හැටඑක් හැවිරිදි ඒ. ඒ. ගාමිණී මහතා ද පහළොස් වසරකට වැඩි කාලයක සිට මේ කර්තව්‍යයට එක්වන්නෙකි.සොබාදහමේ ආශිර්වාදයෙන් සෑයේ තවමත් පියෙන් පිය හුනු තැවරේ.

“පලංචි බඳින්න විතරක් සති දෙක හමාරක්, තුනක් විතර යනවා. ඊට පස්සේ වයර් බ්‍රෂ්වලින් මුළු චෛත්‍යයම සම්පුර්ණයෙන්ම සූරනවා. ඊට පස්සේ හූරපු හුනු හේදෙන්ඩ වැස්සක් වහිනකන් ඉන්නවා. හුනු හේදුණාට පස්සේ තමයි හුනු ගාන්ඩ ගන්නේ. අපි වට දෙකක් හුනු ගානවා. සම්පුර්ණයෙන්ම හුනු ගාලා ඉවර කරන්ඩ කොහොමත් මාස තුන හමාරක් විතර යනවා. පොසොන් පෝයට කලින් වැඩේ ඉවර කරලා ශ්‍රී මහා බෝධිය ඉස්සරහා කිරි උතුරවලා බාරහාර ඔප්පු කරනවා.”

“හදිසියේවත් වැස්ස වහින්ඩ ප්‍රමාද වුණොත් මොකද කරන්නේ?” මම විමසීමි.

“කරන්න දෙයක් නෑ. වැස්සක් වහිනකම්ම ඉන්න වෙනවා. කොහොමත් දෙයියනේ කියලා තාම එහෙම දෙයක් වෙලා නෑ.” එස්.ඈපා එසේ කීය.

විසල් මුදලක් වැයවන මේ මාහැඟි කාර්ය අතීතයේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවුවක් බව වාර්තා වේ. එහෙත් වර්තමානය වන විට මේ සඳහා ලැබෙන පෞද්ගලික දානපති අනුග්‍රහයෙන් සියල්ල සිදුවීම දක්වා කරුණු කාරණා වෙනස්වී ඇත. ජීවිත ගමනේ පනහේ කනිසමද පසුකොට ඇති සරත් කුමාරගේ මහතා මේ පින්කමේ අතීතය හොඳින් දන්නා අයෙකි. “ඉස්සර අවුරුදු පහකට සැරයක් තමයි චෛත්‍යෙයේ හුනු ගෑවේ. පස්සේ ප්‍රේමදාස මහත්තයා අගමැති කාලේ එතුමා තමයි නියෝග කෙරුවේ හැම අවුරුද්දකම මේ විදිහට සෑයේ හුනු ගාන්ඩ ඕනෑ කියලා. මගේ මතකේ හැටියට 80 න් විතර පස්සේ තමයි වාර්ෂිකව මේ විදිහට හුනු ගාන්ඩ ගත්තේ. මං ඒ කාලේ අපේ තාත්තලත් එක්ක එනවා. දැන් අවුරුදු 40 කට වැඩියි මේ එන ගමනට.”

ගරාවැටී, වල් වැදුණු රුවන්මැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු නාරංවිට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් 19 වැනි ශතවර්ෂයේ දී ආරම්භ වී වර්ෂ 1940 පමණ වනවිට අවසන්ව ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. වර්තමානය වන විට සෑයේ උස අඩි 338 කි. වටප්‍රමාණය අඩි 942 කි. රන් ආලේපිත කොත සහ චුඩා මාණික්‍යයේ උස අඩි 25ක් පමණ වෙයි. අක්කර පහක පමණ හතරැස් මළුවක් තුළ චෛත්‍යය නිර්මාණය වී ඇත.

උණ බම්බු මගින් අඩි 60ක් දිගට සිටින සේ ඉණිමං සකසා සලපතළ මළුවේ සිට ධාතු ගර්භයේ අඩි 60ක පමණ ප්‍රමාණයේ හුනු පිරියම් කිරීම සිදුකරනු ලැබේ. අනතුරුව දේවතා කොටුව දක්වා තවත් ඉනිමං 07 ක් උපයෝගි කොටගෙන හුනු ගැල්වීම සිදුකරන බව මේ ශිල්පීහු පවසති.

පනස් හතර වියැති එම්.පී. සුනිල් ශාන්ත මහතා පනස් හතර වියේ පසුවේ. ඔහුද වසර ගණනක සිට හුනු පිරියම් කිරීමට එක්වන්නෙකි.

“කිත්තන් ලනුවලින් තමයි ඉණිමං රඳවගන්නේ. හතරැස් කොටුවේ ඉණිමං එල්ලනවා. වාහල්කඩවල්වලට ලණු ඇදලා ඉණිමං රඳවා ගන්නවා. වැඩි හරියක් මේ ඉණිමං උඩ ඉඳගෙන තමයි හුනු ගාන්නේ. උදේ හය විතර වෙනකොට වැඩ පටන් ගන්නවා. හවස පහ හමාර වෙනකොට නවත්තනවා. දොළහ හමාරට විතර කෑමට වැඩ නවත්තපුවහම අපි පැය දෙකක් විතර ඉන්නවා. ඉර මුදුන් වෙන වෙලාවට අව් රශ්නේ වැඩියි.”

එළැඹෙන පොසොන් පොහොය දිනය අරමුණු කොටගෙන දියත් වන මේ හුනු පිරියම් කිරීමේ කාර්ය අවසන දුර්වර්ණ සේයා පසුබා සුදෝ සුදින් දිදුලන ස්වර්ණමාලිය අප නෙත ගැටෙනු ඇත. එහෙත් ක්‍රමයෙන් මේ සුද යළි දුර්වර්ණ වනු ඇත. එහෙයින්ම මේ මිනිසුනට යළි මෙහි පැමිණීමට සිදුවනු ඇත. එදවස තෙක් අපි නිහඬ වෙමු.

“මේ වෙන මහන්සියේ හැටියට දවසකට කීයක් විතර ගෙවනවද?” නික්ම එන්නට පෙර මම විමසීමි.

“මේක එක අතකින් ලොකු පිනක්. අපි ඉතිං මාස තුන හමාරක් විතර තිස්සේ ගෙදරින් ඈත්වෙලා ඉන්නේ. කාලා බීලා සන්තෝසෙන් ඉන්නවා. අතටත් ගාණක් හම්බ වෙනවා. නැතුව නෙමෙයි.” ආර්. රෝහන එසේ කීය.

ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට පතමින් බැසයන හිරුත් සමග මම ඔවුනට සමු දුන්නෙමි.

 

 

Comments