
වැව් පද්ධතිය නිසා ගම් වැසියන්ට තම ගොවි ජීවනෝපාය සඳහා අවශ්‍ය ජලය සහ දෛනික ජල අවශ්‍යතාවද වසර පුරා ලැබීම සහතික විය. එය ස්ථීර හා ස්ථාවර එකක් විය. එසේම මෙහි තිබෙන වැදගත්කම වන්නේ ගමේ ජනතාවගේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය ජලය සඳහා වන ස්වාධීන අයිතිය ගමේ වැව මඟින් තහවුරු වීමය. ගමට අහසින් වැටෙන ජලය ගම් වැසියන්ට පමණක් නොව වනය තුළ ජීවත් වන සෑම ජීවියෙකුගේම අයිතියක් බවට තහවුරු කෙරිණි. ඒ සියල්ලක්ම අපේ මුතුන් මිත්තන්ට කළ හැකි වූයේ ඔවුන් පරිසරයට අනුරූපව කටයුතු කළ නිසාය.
අපි පසුගිය සතියේ එල්ලංගා පද්ධතියක මූලික කාර්ය කුමක්ද යන්න ඔබට පැහැදිලි කළෙමු. වසරේ කෙටි කාලයක් තුළ රට තුළ මෝසම් සුළං අවස්ථා දෙකකදි ලැබෙන වර්ෂාව හේතුවෙන් පොළොව මතින් ගලා ගිය වැසි දිය රඳවා තබාගෙන වසර පුරා ජලය රැඳි ඵලදායි බිමක් බවට පත් කිරීමට එල්ලංගා උපයෝගී විය. නමුත් මෙමඟින් ඉන් එහා ගිය පාරිසරික සහ සමාජීය කාර්යයන් රැසක් ද සිදු විය. එල්ලංගාවක රැඳෙන ජලය හේතුවෙන් භූගත ජල මට්ටම ඉහළ යන අතර, උල්පත්වල ජලයද වැඩි කාලයක් පුරා ආරක්ෂාවීම සිදු වේ. මේ නිසා පසේ ක්‍ෂුද්‍ර ජීවීන්ට හොඳින් වැඩීමට සුදුසු තත්ත්වයක් ඇති වේ. මේ නිසා පසේ ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රමාණය ඉහළ යයි. මේ ක්‍ෂුද්‍ර ජීවින් විසින් පසට එක්වන සත්ත්ව සහ ශාක කොටස් ජීර්ණය කරමින් පසට පොහොර ලබා දීම සිදු කරයි. මේ ක්‍රියාකාරිත්වය නිසා පස තුළ වසර පුරා ස්වාභාවිකවම පොහොර නිපදවෙමින් පස සරුසාර වේ. මේ නිසා එදා මෙරට ගොවියාට බාහිර පොහොර යෙදීමකින් තොරව වසර දහස් ගණනක් තිස්සේ නොනවත්වාම ගොවිතැන් කිරීමේ අවස්ථාව උදා විය. එනිසා අපේ යුතුකම විය යුතුව තිබුණේ මෙම සුවිශේෂ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමය. එසේ වූයේ නම්, බහු ජාතික සමාගම්වල රසායනික පොහොර නොමැතිව, ස්වාභාවික පොහොර යොදා ගනිමින් තිරසාරව ගොවිතැන රැකගෙන මේ දක්වා කටයුතු කිරීමට අපට හැකියාව තිබුණි. නමුත් අපේ අවාසනාවට එය එසේ නොවුණි.
එල්ලංගාවක ඉහළින්ම පිහිටි වැව ගොවිතැන සඳහා ජලය රඳවා ගත් වැව් නොවේ. ඒවා මේ පද්ධතියේ උස් බිම් වන වනාන්තර තුළ පිහිටා තිබුණි. මෙම වැව් 'කූළු වැව්' හෝ 'කායන් වැව්’ ලෙස හැඳින්වූ බව අපි මීට ප්‍රථම ඔබට පැවසුවෙමු. මේ වැව් හඳුනාගත හැකි හොඳම ලක්ෂණය වන්නේ ඒවා වනය තුළ පිහිටා තිබීමය. අනෙක් අතට ඊට පහළින් කුඹුරක් නොතිබීම සහ එයට සොරොව්වක් නොතිබිමද මෙහි තවත් විශේෂ ලක්ෂණයකි.
මේවාට පිරෙන ජලයෙන් වන සතුන්ට අවශ්‍ය ජලය වසර පුරා ලැබෙන අතර, එම ජලයෙන් වනයේ භූගත ජල මට්ටම ඉහළ යයි. වනයේ ගහකොළද වසර පුරා සරුසාරව වැඩේ. මේ නිසා ජලය සහ ආහාර සොයා අද මෙන් අලි ඇතුන් හා වන ජීවීන් ගම් වැදී මේ අවශ්‍යතාවක් නොවීය.
එසේම ගම් වැසියන් සහ වන සතුන් අතර අද ඇති වන ගැටුමද එදා නොතිබිණි. මේ වැව්වල සොරොව්වක් නොමැති බැවින් වනය තුළින් ගලා එන ජලය සමඟ ඇති රොන්මඩ ඒ තුළම රැඳිණි. මෙකී හේතුව නිසා එහි එක්වන ජලයේ ඇති රොන් මඩ පතලෙහි තැනපත් වූ අතර, වැව් බැම්මෙන් ඉතිරී පිටාර ගියේ වැඩිපුර රැඳි තිබූ ජලය පමණි. මෙරට පැවැති මෙම සුවිශේෂ තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳව ආචාර්ය ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රී විශේෂ හඳුන්වාදීමක් කර ඇත. ඩැනියුබ් ගංගාවේ වේල්ල පිළිබඳ වු සිය ඓතිහාසික නඩු තීන්දුවේ දී හේ මෙසේ පැවසීය. "....මෙම පැරණි වාරි පද්ධතිය මඟින් පරිසරය කෙරෙහි දක්වන ලද අවධානය, විශාල වේලි මඟින් ඇති කෙරෙන පාරිසරික සහ සමාජීය බලපෑම පිළිබඳ කෙරුණු මෑත කාලීන අධ්‍යයනවලින් පෙනී ගොස් තිබේ. එහි දී පෙනී ගියේ එම වාරි පද්ධතියෙහි පාරිසරික කරුණු විදහා දක්වන කරුණු අතරට රොන් මඩ පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා සැකසුණු සොදා පාළුව පාලනය කිරීමේ වැව් ද ඇති බවයි.
එමගින් ජලය ගබඩා කරන වැව්වලට යෑමට පෙර රොන් මඩ එම වැව්වල එකතු වීමට සලස්වා තිබුණි. සෑම ග්‍රාමීය වාරි පද්ධතියක් ආශ්‍රීතවම සොදා පාළුව පාලනය කිරීමේ වැව් කීපයක් විය. රොන් මඩ පිළිබඳ ගැටලුව වැදගත් තැනක් ගන්නා මෙම නඩුවෙහි දී එවැන්නක වටිනාකම හොඳින් තේරුම් ගත හැකිය"... කැලෑ වැව් පරිසරය හා සම්බන්ධව තිබූ තවත් එක් පියවරකි. ගමට ඉහළින් තිබෙන වන පෙතෙහි සාදනු ලැබූ ඒවා යොදා ගැනුණේ වගා බිම්වලට නොව වන සතුන්ට අවශ්‍ය ජලය සැපයීමටය." අද වන සතුන් ගම් වදිමින් සිය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට පුරුදු වී ඇත්තේ මේ පරිසර පද්ධතිය විනාශ මුඛයට ඇද දැමීමේ හේතුවෙනි. අලි වැටෙන් ලබාදිය හැකි විසඳුමට වඩා මෙම විසඳුම බෙහෙවින් ප්‍රායෝගික විය.
අනෙක් අතට මේ වැව් පද්ධතිය නිසා ගම් වැසියන්ට තම ගොවි ජීවනෝපාය සඳහා අවශ්‍ය ජලය සහ දෛනික ජල අවශ්‍යතාවද වසර පුරා ලැබීම සහතික විය. එය ස්ථීර හා ස්ථාවර එකක් විය. එසේම මෙහි තිබෙන වැදගත්කම වන්නේ ගමේ ජනතාවගේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය ජලය සඳහා වන ස්වාධීන අයිතිය ගමේ වැව මඟින් තහවුරු වීමය. ගමට අහසින් වැටෙන ජලය ගම් වැසියන්ට පමණක් නොව වනය තුළ ජීවත් වන සෑම ජීවියෙකුගේම අයිතියක් බවට තහවුරු කෙරිණි.
ඒ සියල්ලක්ම අපේ මුතුන් මිත්තන්ට කළ හැකි වූයේ ඔවුන් පරිසරයට අනුරූපව කටයුතු කළ නිසාය. කෙසේ වෙතත් වර්ෂාවෙන් ස්වාභාවිකව ලැබෙන ජලය තෙත් බිම් තුළ වසර පුරා රඳවා තබා ගැනීමට අපේ මුතුන් මිත්තන්ට හැකි විය. එහෙත් එය පැවැති පරිසරයට එරෙහිව යමින් සිදු කළ දෙයක් නොවේ. පරිසර පද්ධතියේ ස්වරූපය පමණක් වෙනස් කර, පැවැති ස්වාභාවික තෙත් බිම් වඩාත් ප්‍රයෝජනවත් ලෙස පවත්වා ගෙනයෑමකි. මෙමඟින් පොළොව මතුපිට ජලය රැස් කර ගන්නවා පමණක් නොව පස යට ජලය ගබඩා කර තැබීමක්ද සිදු වේ.
එනිසා කිසිසේත්ම මෙය අද සිදු වන ආකාරයේ නොදියුණු පරිසරය විනාශකාරී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්විය නොහැකිය. මෙය පරිසර හිතකාමී වෙනසක් කිරීමකි. මේ නිසා වසර දහස් ගනණක් තිස්සේ හොඳින් ක්‍රියාත්මක විය. එනිසා එදා අපේ මුතුන් මිත්තන්ගේ නිවැරදි විද්‍යාත්මක දැනුම හා සරල තාක්ෂණය උපයෝගි කරගෙන වියළි කලාපය තුළ සාරවත් වු ගොවි බිම් නිමැවීමට අපට හැකි විය. අනෙක් අතින් එමඟින් වැවත් කුඹුරත් සකස් කර, ද්විත්ව ආකාරයකින් භූමිය ප්‍රයෝජන ගන්නා විශිෂ්ට වූ භාවිතාව ලොවට හඳුන්වා දුන්නේය. පරිසරයට එරෙහි නොවී භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්නා භූ කළමනාකරණය යනු කුමක්දැයි කිසිවකුට අධ්‍යනය කිරීමට අවැසි නම් මේ හැර අන්මඟක් තිබේද? එසේ තිබිය දී අප මෙලෙස ජාති අන්ධයින් සේ ක්‍රියා කරන්නේ මන්දැයි නොවැටහේ. අතීතයේ දී අපගේ මෙම මහාහැඟී ක්‍රියාවේ ප්‍රතිඵලය වූයේ මෙරට පෙරදිග ධාන්‍යාගාරය ලෙස ලොව විරුදය ලැබීමය. ප්‍රශ්නය වන්නේ මේ සුවිශේෂී සහ විශිෂ්ට පුරාණ වාරි ක්‍රමය පිළිබඳ අද අපට වැටහීමක් නැත්තේ ඇයිද? යන්නය.
මීට ප්‍රධානතම හේතුව වූයේ ලංකාවේ පාලන බලය අල්ලා ගත් ඉංග්‍රිසි වාරි ඉංජිනේරුවන්ට මේ එල්ලංගා පද්ධතියේ ඇති වැදගත්කම තේරුම් ගැනීමට නොහැකි විමය. ඒ බව මෙරට ප්‍රථම වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වු ජේ. එෆ්. කෙනඩි කළ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. "...ගම්වල පිහිටි කුඩා වැව්, ගම්වල හමු වන හරක් රංචු වැනිය. ඒවා කොතරම් විශාල සංඛ්‍යවක් හමුවන්නේ දැයි කිවහොත් ඉන් කාර්යක්ෂමතාවකින් වැඩ ගැනීමට නොහැකිය..." මෙම මුග්ධ බස් විශ්වාස කළ මෙරට ඇතැමුන් මේවා මහත් ගෞරවනීය ලෙස පිළිගත්තේය. සත්‍ය දැකීමේ ස්වාධීනතාවක් නොමැති වුවන් සේ මෙතැන් පටන් මෙරට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අත්පොත වූයේ පොට වරදා ගත් සුද්දෙකුගේ මේ වැරදි මතයයි. ඒ නිසා අදත් කළු සුද්දන්ට මෙම සුවිශේෂ වාරි පද්ධතියේ කාර්යය සහ වටිනාකම ගැන අවබෝධයක් නොමැති වීම පුදුමයට කරුණක් නොවේ. අදත් මෙම වැව් පද්ධතිය පවතින්නේ වාරිමාර්ග දෙපාර්තුමේන්තුව යටතේ නොව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් 1959 දී සකස් කළ ජල සම්පත් සංවර්ධන සැලසුම් සිතියමේ යෝජිත ජලාශයක් ලෙස සඳහන් වන 'හැඩ ඔය' ජලාශය පිළිබඳ වූ වාර්තාව මෙසේ උපුටමු. මන්ද මේ මුග්ධ බවට ඇති කදිම සාක්ෂිය මෙය වේ.
"...හැඩ ඔය සංවර්ධනය ව්‍යාපෘතිය පිළබඳව යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ, රජය විසින් මේ වන විට අත ගසා තිබෙන වෙනත් ප්‍රධාන ව්‍යාපෘති සමඟ සැසඳීමෙන් අනතුරුව, එහි තාක්ෂණික සහ මූල්‍යමය වශයෙන් ඇති වාසිය සලකා බැලීමෙන් පසුවය. මෙම ව්‍යාපෘතිය මඟින් මෙරට ආහාර අතින් ස්වයංපෝෂිත වීමට ඇති හැකියාව පිළිබඳ සැකයක් නොමැත. අති විශාල මුදලක් කුඩා ගම් වැව් වෙනුවෙන් යොදවනවාට වඩා මෙම ව්‍යාපෘතිය කිරීම ඵලදායක ප්‍රවේශයක් බව තේරුම් ගත යුතුය.
මේ කුඩා වැව්වලට නියඟයක් හමුවේ පැවතීමට හැකියාවක් නොමැති අතර, මේවා මත යැපෙන ජනතාව, වඩා හොඳ ජීවන තත්ත්වයක් කරා ගෙන යාමේ හැකියාවද ඒවාට නැත. නිතර වෙනස් වන මෝසම් වැසිවල ප්‍රතිඵලයක් වූ දිළිඳුකමට එරෙහිව, සටන් කිරීම කළ හැකි වන්නේ විශාල යෝජනා ක්‍රම මඟින් මිස, මහජන මුදල් යොදවා කුඩා වාෂ්ප තැටි සැදීමෙන් හෝ සහනාධාර දීමෙන් නොවේ. මේ කුඩා ගම් පොකුණුවල ආයුෂ දැන් අවසන් වී තිබේ. ඒ වෙනුවට දැන් විමර්ෂණය කරමින් ඇති මේවැනි දැවන්ත යෝජනා ක්‍රම සඳහා කාලය පැමිණ ඇත"
එල්ලංගා පද්ධතියක ඇති වැව් 'වාෂ්ප තැටි' ලෙසත් හැදින්විමත් "... දැන් ඒවායේ ආයුෂ හමාරවී තිබේ." වැනි යෙදුම්වලින් පෙනි යන්නේ බටහිර (නූ)උගත්තු අපටම අවේණීක වූ මේ විශිෂ්ට වාරිපද්ධතිය දෙස අවඥාවෙන් බැලූ ආකාරයයි. ලංකාවේ වියලි කලාපයේ ජීවත් වන ග්‍රාමීය ජනතාවගේ ජීවිත ප්‍රධාන වශයෙන්ම රැඳී ඇත්තේ මෝසම් වැසි මතය. ජල ඉංජිනේරුමය ඇසින් බලන විට මේ කුඩා වැව් කුඩා වාෂ්ප තැටි ලෙස පෙනුණත්, ජල සහ පාංශු සංරක්ෂණ පද්ධතියක් යන සංකල්පයෙන් බලන විට පෙනීයන්නේ ඒවා වියළි කලාපීය ගමක හදවත වන බවය. මේ කුඩා වැව් නියඟයන්ට මුහුණ දීමේ ශක්තිය අතින් විශාල ජලාශයන්ට වඩා වැඩි ස්ථාවර බවකින් සහ දිගුකල් පැවතීමේ හැකියාවකින් යුක්තය.
එසේම එල්ලංගාවක ඇති කූඩා වැව් රැස මඟින් මහ වැවට ඉහළින් විශාල අතිරේක ජල ප්‍රමාණයක් රැක ගෙන සිටියි. මේවා මගින් ක්‍ෂුද්‍ර ජල සහ පාංශු සංරක්ෂණ පරිසර පද්ධති නිර්මාණය කරති. අත්පුඩි ගැසීමට නම් අත් දෙකම අවශ්‍ය ලෙසට ශ්‍රී ලංකාවේ ගොවිතැනේ ස්ථාවර පැවත්ම වෙනුවෙන් මේ පද්ධති දෙකම අවශ්‍ය වේ.
මෙරට මහවැලි ව්‍යාපෘතිය පිළිබඳව මෙතෙක් කළ හොඳම විවරණය ලෙස සැලකෙන්නේ ලොව ප්‍රකට පරිසරවේදියකු වූ එඩ්වඩ් ගොල්ඩ්ස්මිත් ඇතළු විශේෂඥ කණ්ඩාමක් විසින් ඉදරි පත් කළ අදහස්ය. ඔවුන් පසුගිය ශතවර්ෂය සිට ලෙව පුරා ඉදි කළ මහා ජලාශ නිසා ඇති වූ සමාජ හා පාරිසරික බලපෑම් පිළිබඳ විශ්ලේෂණය කර ඒ පිළිබඳව සිය මතය ප්‍රකාශයට පත් කළේය. ඒ The Social and Environmental Effects of Larger Dams (Volume:2 Case Studies) ග්‍රන්ථය මඟිනි. අයි. ඇලෙක්සිස් විසින් ඊට ලියන ලද මහවැලි ගඟ ව්‍යාපෘතිය: පාරාදීසයක් නරකාදියක් කිරීම (SriLanka's Mahaweli Ganga Proeject: The Damnation of Paradise) නම් වූ 28 වන පරිච්ඡේදයේ අවසානයේ මහවැලි ව්‍යාපාරයේ අසාර්ථක බව පෙන්වා දී ඇත. ඔහු පවසන්නේ අපට කළ යුතුව තිබුණේ එවැන්නක් නොව,
"...ශ්‍රී ලංකාව තුළ වර්ධනය වන ආහාර සහ රැකියා අවශ්‍යතාවන්ට මහා පරිමාණයේ තාක්ෂණික විසඳුම් සොයමින් යන දුෂ්කර ගමනේ දී, රජයට කළ යුතුව තිබුණේ වියදම් අඩු, බලපෑම් අඩු, විවිධ යෝජනා ක්‍රම පිළිබඳව සොයා බැලීමටය. ඇත්තටම කියනවා නම්, මහවැලි යෝජනා ක්‍රමය පිළිබඳ කිවයුතු අතිශය කණගාටුදායක දෙය වන්නේ එය නොකළ යුතුව තිබූ දෙයක් බවයි.
ඊට හේතුව පාරම්පරික ජීවන ක්‍රම පවත්වා ගනිමින් ආහාර නිෂ්පාදනය කළ හැකි විකල්ප ක්‍රමෝපායන් තවමත් ශ්‍රී ලංකාවේ පැවතීමය. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව ඇයගේ පුරාණ වාරිමාර්ග තාක්ෂණයන් පිළිබඳව කීර්තියක් දිනා ගෙන තිබුණි.
එදා ඉදිවුණු වැව අතරින් ඉතිරිව තිබෙන 15, 000ක පමණ වැව් ප්‍රමාණයෙන් වැඩි කොටසක් අදටත් රොන්මඩ ඉවත් කර, සක්‍රිය තත්ත්වයට පත් කළ හැකිය. තව දුරටත් පැහැදිලි කරන්නේ නම්, බෞද්ධ සාරධර්මවලින් ප්‍රගුණ වූ ජීවන ක්‍රමයක් සහිත සාම්ප්‍රදායික ගොවියන් අදත් ද්‍රව්‍යමය සංවර්ධනයකට වඩා නැඹුරුව ඇත්තේ ආධ්‍යාත්මික සංවර්ධනයක් දෙසටය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය විසින් තෝරා ගන්නා ලද්දේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අනාගතයක් කරා රට ගෙන යන මාර්ගයක් ය. ඒ අනාගතය තුළ සිදු වන්නේ තවදුරටත් දැවන්ත පාරිසරික සහ සමාජීය ව්‍යසනයක් පැතිරී යාම පමණි..." (පිටුව 288)
මෙම සටහන මහවැලි ව්‍යාපෘතිය මහජනතාව වෙනුවෙන් නොව, සුළු පිරිසක් වෙනුවෙන් කළ දෙයක් බවත්, මෙරට ජනතාවගේ සහ සැබෑ සමාජ සංවර්ධනයක් වෙනුවෙක් කළ යුතුව තිබූ කාර්යය කුමක්ද? යන්නත් මනාව පැහැදිලි කර දෙන්නකි.
පසුවී හෝ අපේ මුතුන්මිත්තන් විසින් මේ මහපොළවට ගැළපෙන ලෙස සකස් කළ එල්ලංගා වැව් පද්ධතිය විදේශීය විශේෂඥයන්ට තේරුම් ගැනීමට හැකි වී ඇත. එසේ වුවත් අපේ මහා වාරි ඉංජිනේරුවන්ට මේවා තේරුම් ගැනීමට තව කොපමණ කාලයක් ගත වේදැයි කාට නම් කිව හැකිද?