
අතීතයේ සිට ම වැල් අල වර්ගයට අයත් ඉන්නල ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආහාරයක් විය. තම්බා කෑමට ගැනීම, වෑංජනයක් ලෙස සකස් කර ගැනීම හා කෙටි ආහාර වර්ගවලට යෙදීම සඳහා ඉන්නල භාවිත විය.
ඉන්නල ප්‍රභේද
1. අතීතයේ සිට ලංකාවේ වැවුණු පාරම්පරික කුඩා අල ඇති ඉන්නල ‘සිංහල ඉන්නල’ යනුවෙන් හැඳින්වෙයි.
2. විශාල අල ඇති වර්ගය රට ඉන්නලයි.
ව්‍යාප්ත කරගැනීම
පළමුව පස් හොඳින් බුරුල් කොට ජලය බැස යන කානු පාත්තිවල යෙදිය යුතු ය. පාත්තියක දිග - පළල අඩි 12 x 3 පමණ විය හැකිය. සකස් කරගත් පාත්තිවල බුරුල් පසට ගොම පොහොර කවලම් කළ යුතු ය. සිටුවන බීජ අල නිරෝගී ලොකු අල විය යුතු ය.
වැඩිපුර භාවිත වන ක්‍රමය ඉන්නල දඬු කැබලි සකස් කර ගත් පාත්තිවල පස් උස් කර තැනූ වැටිවල සිටුවීමයි. පාත්ති සැකසීම මාර්තු - අප්‍රේල් මාසවල ඇරැඹීම සුදුසු ය.
වර්ෂා කාලය සමඟ ජූනි - ජූලිවල දඬු කැබලි සිටුවිය හැක. වැටි අතර හා දඬු කැබලි අතර සුදුසු පරතරයක් තිබිය යුතු ය.
සිටුවූ දඬු කැබලිවලට ගව මූත්‍ර හා ජලය මිශ්‍ර කර ඉසීමෙන් දඬු කැබලි හොඳින් වැඩෙයි. එහෙත් ජලයට එකතු කළ යුතු ජල මූත්‍ර ප්‍රමාණය සීමා කළ යුතු වෙයි.
දිරූ ගොම මිශ්‍ර කර පස් වැටිවල පතුල අඟල් 24 පමණ පළල් වීම සුදුසු ය.
එම වැටිවල මුදුන අඟල් 18 පමණ පළල් විය යුතුයි. පස් වැටියක උස අඟල් අටක් පමණ තැබිය යුතුය. පස් වැටි දෙකක් අතර පරතරය අඩි තුනක් පමණ තැබීම සුදුසු ය.
අඟල් හයක් පමණ දිග ඉන්නල දඬු කැබලි අඟල් නවයක පමණ පරතරයක් තබා සිටුවිය හැක. දඬු කැබැල්ලක් අඟල් තුනක් පමණ ගැඹුරට පසේ සිටුවිය හැකිය. එම දඬු කැබැල්ලේ පත්‍ර තුන හතරක් තැබීම සුදුසු ය.
ඉන්නල වගාවේ මතුවන වල් පැළෑටි ගලවා ඉවත් කළ යුතු ය.
අස්වනු නෙළීම
දඬු කැබලි සිටුවා මාස හයකින් පමණ ගලවා ගත හැකිය.
අල පස මුදුනේ ම විහිදී ඇති බැවින් ප්‍රවේශමෙන් අත් මුල්ලුවකින් පස බුරුල් කොට අලවලට හානි නොවන පරිදි ගලවා ගත හැකිය.
අල සමඟ ඇති පස් පිස පිරිසුදු කර වෙළෙඳපළට යැවිය හැකිය.
අක්කරයකින් ටොන් පහක් පමණ අස්වැන්න ලබාගත හැකිය.
එස්.කේ. ජයවර්ධන