ගෙවත්තේ තක්කාලි වගාව | Page 2 | සිළුමිණ

ගෙවත්තේ තක්කාලි වගාව

සොලනේසි (Solanaceae) කුලයට අයත් ප්‍රධාන භෝගයක් වන තක්කාලි උද්භිද විද්‍යාත්මකව Lycopersicon esculantum ලෙස හඳුන්වනු ලබයි. පේරු හා ඉක්වදෝරය රටවල් ආශ්‍රිතව සම්භවය වී ඇති තක්කාලි වර්තමානයේ බොහෝ රටවල ප්‍රකට වගාවකි. ආසියාතික රටවල තක්කාලි එළවුළුවක් ලෙස ආහාරයට ගත්තද යුරෝපයේ එය ප්‍රසිද්ධ වනුයේ පලතුරක් ලෙසටය. ශ්‍රි ලංකාවේ යාපනය, දඹුල්ල හා මාතලේ ආදී දිස්ත්‍රික්කවල තක්කාලි මහා පරිමාණයෙන් වගා කරනු දැකිය හැකිය.උඩරට තෙත් කලාපය හැර ලංකාවේ සෙසු සියලු දේශගුණික කලාප වල සාර්ථකව වගා කළ හැකි තක්කාලි ගෙවත්තක වගා කිරීමට සුදුසුම භෝගයකි.

ප්‍රභේද

කේ. ඩබ්. ආර්. (ටී. 62 ) , රෝමා ,තක්කාලි KC – 1,තිළිණ ,තරිඳු ,රවී ,රෂ්මි ආදී තක්කාලි ප්‍රභේද වර්ග රාශියක්ම පවතියි.

තක්කාලි තවාන

තක්කාලි බීජ කෙළින්ම වගා ක්ෂේත්‍රයේ සිටුවනවා වෙනුවට තවාන් දමා ඉන් අනතරුව ලැබෙන පැළ ක්ෂේත්‍රයේ සිටුවීම කළ යුතුය .තක්කාලි වගාවකට බීජ තවාන් දැමීමට යෝග්‍යම කාල වකවානුව වනුයේ මාර්තු මාසයේ මැද හෝ අගෝස්තු මාසය අවසානයේදීය.තවානේ පාත්ති වල බීජ සිටුවිය යුත්තේ බීජ පේළි අතර පරතරය සෙන්ටි මීටර 12 ක් වන පරිදිය.

බීජ සෙන්ටිමීටරයක් පමණ ගැඹුරකින් පසේ යටකර ඊට උඩින් වසුනක් යෙදීම කළ යුතුය. පසුව සම්පූර්ණ තවානම ආවරණය කිරීම සුදුසුය.

තවානට ජලය දිනපතාම දැමීම වැදගත් වේ. පස මතුපිටට දැමූ වසුන සතියකින් පමණ ඉවත් කර ඉන්පසු එළඹෙන ඉදිරි දින දෙක තුන තුළදී අනවශ්‍ය පැළ ඉවත් කළ යුතුය. ක්ෂේත්‍රයේ සිටුවීමට දින කිහිපයකට පෙර සිට තවානේදී පැළ දැඩි කිරීම ආරම්භ කළ යුතුය.

ක්ෂේත්‍රයේ සිටුවීම

තවානේ බීජ සිටුවා සති දෙකක් හා තුනක් අතර කාලයේදී පැළ ගලවා ක්ෂේත්‍රයේ සිටුවීම සිදු කරයි. මෙලෙස තවානෙන් පැළ ඉවත් කරන දිනට පෙර දින වලදී වගා ක්ෂේත්‍රය පිළියෙළ කිරීම ඇරැඹිම සුදුසුය. මීට පෙර බටු,මිරිස් වැනි සොලනේසි කුලයට අයත් බෝග වගා නොකල හොඳින් ජල වහනය වන බිමක් ක්ෂේත්‍රය ලෙස තෝරා ගත යුතු වේ. ඉන්පසු බිම පස් පෙරලා වළවල් සකසනු ලැබේ .සැකසූ වළවල්වල පැළ සිටුවීමට දින තුනකට පමණ පෙර කාබනික පොහොර හා මූලික පොහොර යෙදිය යුතුය.

වගා නඩත්තුව බෝගයට ජලය යෙදීම අත්‍යවශ්‍ය වුවත් ප්‍රමාණය ඉක්මවා ජලය වැඩි වශයෙන් එක් කරන්නේ නම් එයද හානිකරය.

පැළ සඳහා ආධාරක සිටුවීම කල යුතු අතර මල් පිපීම ඇරැඹිමට ප්‍රථමව එය කල යුතුය.එමෙන්ම වල් පැළවලින් තොරව ක්ෂේත්‍රය පවත්වා ගැනීම වගාවට පසුකාලීනව ඇතිවිය හැකි රෝග හා පළිබෝධ හානි වළක්වා ගත හැකි පහසුම මඟකි.

අස්වැන්න නෙළීම

අස්වැන්න නෙළිය යුත්තේ ගෙඩි කහ පැහැ ගැන්වෙන අවස්ථාවේ ය .

පළිබෝධකයෝ කෘමී පලිබෝධකයින් ලෙස තක්කාලි ගෙඩි විදින පණුවා හා කියත් පණුවා ප්‍රධාන වේ.

තක්කාලි ගෙඩි විදින පණුවා පළමුව පත්‍ර ආහාරයට ගනිමින් සිට පසුව ඵලය සිදුරු කර ඵල ඇතුළට ගමන් කරයි. කියත් පණුවා පැළ ළපටි අවධියේ පැළ වල කඳ කොටස කා විනාශ කරයි.මෙම හානි පාලනය සඳහා ක්ෂේත්‍රය වල් පැළෑටිවලින් තොරව තබා ගැනීමත් සූර්යාලෝකය යහමින් පතිත වන පරිදි තබා ගැනීමත් සිදු කළ යුතුය.

තවද තවානේදී පැළ දියමලන් කෑම වැනි රෝගයන්ට ගොදුරු විය හැකිය.එම නිසා තවාන සැකසීමේදී එහි පාත්ති ජීවාණුහරණය කිරීමත් ජලය පාත්ති වල නොරැඳෙන සේ පාත්ති වටා කානු සැකසීමත් සිදු කල යුතු වැදගත් පිළිවෙතකි.

 

උමයංගනා පූජනී ගුණසේකර

කෘෂිකර්ම පීඨය
රුහුණ විශ්වවිද්‍යාලය

Comments