ශ්‍රී වීර පරා­ක්‍රම නරේ­න්ද්‍ර­සිංහ රජුගේ වාරි­ක­ර්මාන්ත | සිළුමිණ

ශ්‍රී වීර පරා­ක්‍රම නරේ­න්ද්‍ර­සිංහ රජුගේ වාරි­ක­ර්මාන්ත

උඩරට අවසාන සිංහල රජු වූ කුණ්ඩසාලේ අගනුවර කරගත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි.ව. 1707 – 1739) බොහෝ දෙනාගේ මතය නැටුම් - ගැයුම් - කාව්‍ය - නාටක - සංගීතය - සුරාව - ස්ත්‍රිය - ප්‍රිය කළ කෙළිලොල් රජෙකු ලෙසයි. ජනකවියා පවා රජු හඳුන්වනුයේ ‘සෙල්ලම් නිරිඳු’ නමිනි. එහෙත් ඕලන්ද ජාතික ඩැනියෙල්ගේ වාර්තාව පරිදි වයස අවුරුදු 49 රෝගීව මිය ගිය රජු කෙළිලොල් ජීවිතයට අමතරව හරවත් යමක් ඉතිරි කළ අයෙකි. අදත් මහනුවර දළදා හිමි වැඩ සිටින දෙමහල් දළදා මැඳුර නරේන්ද්‍රසිංහ රජුගේ නිර්මාණයකි. ඒ හැර ඔහු ඉදි කළ වැව් හා වාරි කර්මාන්ත පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු කීපයක් මෙහි එයි.

මහනුවර පන්විල හුන්නස්ගිරි කන්දෙන් ඇරැඹී ගලන රවන්ඔය පොල්ගොල්ලේදී මහවැලි ගඟට එකතුවන අතුරු දිය දහරකි. හුන්නස්ගිරි කන්දෙන් ගලා එන රවන්ඔය පන්විල උඩුගොඩ ගමේදී හරස් කර විශාල අමුණක් බැඳ ඉන්පසු ඒ අමුණ හරහා ‘බණ්ඩාර ඇළ’ නමින් සැතපුම් දොළහක් පමණ දිගට රවන්ඔයේ ජලය බණ්ඩාර ඇළ දිගේ අතරමැද කුඹුරුයායවල්වලට ජලය දෙමින් නරේන්ද්‍රසිංහ රජු විසින් ම කරවූ කුණ්ඩසාලේ නුදුරු දම්බරාව වැව දක්වා ජලය ගෙන යයි. දම්බරාව වැව පෝෂණය වනුයේ බණ්ඩාර ඇළෙනි. අඩි පහක් තරම පළල අඩි හතරක් පමණ උස සැතපුම් දොළහක් පමණ දිග බණ්ඩාර ඇළ දම්බරාව වැවට රවන්ඔයේ ජලය ගෙන යන අතර අතරමඟ අතුරු අමුණු ඇත. එදා රටේ පැවති වාතාවරණය අනුව බණ්ඩාර ඇළ කරවීම වැදගත් ය. සමහර ජනකතාවල රජු වෙනුවෙන් ‘බණ්ඩාර’ නම් අධිපතියකු මේ ඇළ කර වූ බව කියවෙයි. ජන කවිවල එන ‘දුම්බර කෙත’ යනු වළල ගමේ තිබූ සරුසාර කුඹුරුයාය විය හැක.

කුණ්ඩසාලේ නුදුරු දම්බරාව වැව අක්කර විස්සක පමණ ප්‍රදේශයක විහිදගිය විශාල වැවක් විය. ඒ නරේන්ද්‍රසිංහ රජු කරව‍ූවකි. කුණ්ඩසාලේ අගනුවරට නුදුරුව පිහිටි දම්බරාව වැව රජු නිතර පිරිවර සමඟ දිය නෑමට ආ වැවකි. එදා පැවැති වැවේ ප්‍රමාණය අද බෙහෙවින් අඩු වී ඇත. වැව් බැම්ම වටා සරුවට ගහකොළ වැඩී ඇත. වැව අද්දර පැරැණි පිටියේ දේවාලයක් ඇත.

දුම්බරට අධිපති පිටියේ දෙවි ගොවිතැන හා ගව පාලනයට අධිපති වෙයි. බණ්ඩාර ඇළෙන් හා වැහි ජලයෙන් දම්බරාව වැව පෝෂණය වෙයි.

දම්බරාව වැව නුදුරු දඹවෙල වැව කවුරු කළා ද ස්ථිරව කීමට සාධක නැත. දඹවෙල වැව ද නරේන්ද්‍රසිංහ රජු කළ බව පිළිගත හැක. මෑත කල මේ වැවේ දියනෑමට ගිය දරුවෙකුට ලැබුණු වටිනා තලියක් මහනුවර කෞතුකාගාරයට බාරදී ඇත.

දැනට විනාශව යමින් පවතින විශාල ප්‍රමාණයක් ගොඩවී ඇති පිලවල කොට්ටවැව නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. පිලවල මහා විද්‍යාලය අසල ඇති අවුරුදු පන්සියයක් පමණ පැරැණි දැවැන්ත සියඹලා ගහ ළඟින් ඇතුළට ගිය විට විශාල පිලවල කොට්ට වැව හමුවෙයි. නඩත්තු නොකිරීම වර්ෂාවට පස්සේදී ඒම නිසා කොට්ටවැව දැනට අක්කර බාගයකට පමණ සීමාවී ඇත. මෙය කොට්ට වැව ලෙස හඳුන්වන අතර රජරට දී ‘කොට්ට’ යනුවෙන් හැඳින්වනුයේ වෙනම වැව් විශේෂයකි. රජරට ‘කොට්ට වැව්’ නමින් හඳුන්වන වැව් ඇත. මුළුමනින් විනාශවී ගිය කුඹුරුයායකට යට වී තිබූ වළල පැරැණි බණ්ඩාරවැව නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. බණ්ඩාර ඇළ මෙන් බණ්ඩාර වැව ද රජු වෙනුවෙන් ‘බණ්ඩාර’ නම් අධිපතියා කළ බව පෙනෙයි. වළල පිහිටි මෙම බණ්ඩාරවැව අක්කර දහයකට වඩා විශාලව තිබී විනාශව ගිය අතර 1965 පමණ නැවත වැව හාරා අලුතින් සකස් කොට ඇත. බණ්ඩාර වැව පිහිටි බිම කිරිමැටි සහිත පසක් බැවින් ඉක්මනින් කැඩී බිඳී යයි. අද දක්නට නැති කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජු කරවූ තවත් වැව් තුනක තොරතුරු මතුවෙයි. මැණික්හින්න නුදුරු හුරීකඩුව - පළිහගොඩැල්ල පිටියේ දේවාලය අසල ඉතා ප්‍රසිද්ධ පැරැණි පළිහගොඩැල්ල පිටියේ දේවාලය ඇත. ඒ අසල නරේන්ද්‍රසිංහ රජු කලට වැටෙන ‍ගල්පිහිල්ල රජමහා විහාරය ඇත. මේ විහාරයට ‘ගල්පිහිල්ල’ යන නම ලැබුණේ විශාල ස්වාභාවික ජල උල්පතකින් ගලා ආ දිය උල්පතක් නිසා ය. එම දියඋල්පතට එදා විශාල අරලිය ගසක මුල කොටය ඔබන ලදුව ජල උල්පත අරලිය කොටය හරහා පිහිල්ලක් ලෙස ගලා ජලය එකතුවී පිහිල්ල අසල අක්කර දෙකක පමණ වැවක් නිර්මාණය වී තිබුණි. අද ගල්පිහිල්ල යන නම හැර වැව දැකිය නොහැක. උල්පත තවම ඇත. එහෙත් එහි ජලය අඩු ය.

කුණ්ඩසාලේ නුදුරු මහවත්ත ගමේ නරේන්ද්‍රසිංහ කලට වැටෙන වැවක විනාශවූ ලකුණු ඇත. ගමේ සමහර කොටස් මේ වැවේ නමින් තවම හඳුන්වයි. ජනප්‍රවාද අනුව මේ වැව විනාශ වූයේ භූමි කම්පාවකිනි.

‘පවන’ නම් ප්‍රශස්ති කාව්‍යයේ එදා ලංකාවට බලපෑ භූමිකම්පා කීපයක් ගැන පොත අග කවිවල කියවෙයි. පවන සඳහන් කරන මේ භූමිකම්පාවකදී වැව් බැම්ම කඩාගෙන ගොස් මහවත්ත වැව විනාශ වූවා විය හැක.

පිලවල ගම මායිමේ මැණික්‍හින්න නුදුරුව කිරිමැටිය ගම ඇත. නළ ළිං සඳහා බිම කැණීමේදී විනාශව ගිය පැරැණි වැවක මැටි තට්ටු හමු විය. කිරිමැටිය කුණ්ඩසාලේ නුදුරුවම පිහිටි ගමකි. මෙම විනාශ වූ වැව නරේන්ද්‍රසිංහ ‍රජු කරවූවා විය හැක. මහනුවර නගරයේ හා ඒ අවට එදා තිබී අද විනාශව ඇති හඳුනා නොගත් තවත් කුඩා වැව් න‍රේන්ද්‍රසිංහ ර‍ජු කල ඉදිවූවා යැයි සැක කළ හැක.

ක්‍රි.ව. 1715 නරේන්ද්‍රසිංහ රජු කුණ්ඩසාලේ අගනුවර අත්හැර දියනලෙනපුර හෙවත් හඟුරන්කෙත අගනුවර කරගන 1739 දක්වා හඟුරන්කෙත රජ කළේ ය. හඟුරන්කෙත ඇති වැව් හා ඇළවල් රාශියක් නිපැනවට නරේන්ද්‍රසිංහ රජු හඟුරන්කෙත ඇති වැව් හා ඇළවල්වලින් කළා විය යුතු බව පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි සෙනරත් දිසානායක ලියූ ‘දියතිලක නුවර’ ග්‍රන්ථයේද ..සඳහන්වේ.

 

Comments