
අවාසනාව වන්නේ නිදහසින් පසු කෘෂිකර්මාන්තය නැංවීමට ප්‍රතිඥා දුන් බොහෝදෙනා වැසි වනාන්තර හා තෙත් බිම් මහ පරිමාණයෙන් වනසා දැමීමට කටයුතු කිරීමය. මෙරටට වැසි ජලය උපරිමයෙන් ලැබෙන කාලවල එය උපරිම ලෙස රඳවාගන්නා ස්වාභාවික පරිසර පද්ධතියක් අපට අවශ්‍යය. එහෙත් ගැටලුව වන්නේ මෙරට පරිසර පද්ධති පිළිබඳව මේ සැලසුම්කරුවන්ට නිසි අවබෝධයක් නොවීමය.
කෘෂිකර්මාන්තය නිසා ජලය නාස්ති වීමක් සිදු වන බව සමහරක් උපදේශකයන්ගේ මතය වී තිබේ. ඒ අනුව මෙරටට අවශ්‍ය කෘෂි නිෂ්පාදන පිටරටින් ගෙන ඒම වඩාත් වාසිදායක හා ලාභදායි ක්‍රමය වේ. එහෙත් මේ ඊනියා උපදේශකයන් නොදන්නා කාරණය වන්නේ සාගතයක් පැමිණි විට ඊට මුහුණ දීම සඳහා රට තුළ කෘෂි නිෂ්පාදන සංචිතයක් පැවතීම කොතරම් යොග්‍යද යන්නයි. එසේ නොවුණ හොත් ඒ සඳහා අපට ගෙවීමට සිදු වන පිරිවැය ඉතා අධිකය. අද ඇති වී තිබෙන ජල අර්බුදයට වැරදිකරුවෝ ගම්බද ගොවි ජනතාව නොව, මෙරටට නොගැළපෙන වාරියෝජනා ක‍්‍රමයන් හඳුන්වාදුන් අදූරදර්ශී පාලකයෝය. මන්ද යත්: තම බුද්ධිහීන බව නිසා නොවේ නම් නව යටත්විජිතවාදයේ වුවමනාවන් වෙනුවෙන් වාපි ශිෂ්ටාචාරය වනසා දැමුවහු ඔවුහුය. එහෙත් අද මේ වැරදි කි‍්‍රයාමාර්ග නිසා ඇති වී තිබෙන ප‍්‍රතිඵලවලට සියලු චෝදනා එල්ල වී ඇතේ ගොවිජනතාවටය. එසේම මේ සඳහා වන්දිය ගෙවීමට සිදු වී ඇත්තේද ඔවුන්ටය.
මෙයට ඇති එකම විකල්පය නම් මෙරටට ගැළපෙන වාරිමාර්ග ක‍්‍රමයක් ගොඩනැංවීමය. එහෙත් එවැනි දෙයක් සඳහා අපේ පාලකයන් ඉදිරිපත් නොවන්නේ මන්දැයි ප්‍රශ්නයක් මතු වේ. ඇතැම් පාලකයන් ප්‍රෞඪ සිංහල බෞද්ධ රාජ්‍යයක් ගැන උදම් ඇනුවද ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවක් අප කිසිදා දැක නැත. ඒවා ජනතාව මුළා කරන හුදු වගාලාපවලට පමණක් සීමා වී තිබේ. ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම ධවල අධිරාජ්‍යයට පටහැනි ක්‍රියාවක් සේ ඔවුන් සිතනවා විය හැකිය. ධවලයන් විසින් අපට ලබාදෙන සංවර්ධන උපායමාර්ග හා උපදෙස් බොහෝ සෙයින් අපේ වහල්භාවය තහවුරු කරන්නකි. එනිසා ස්වයංපෝෂිත ශිෂ්ටාචාරය නැවත අත්පත් කරගැනීමට කටයුතු කිරීම උන්ගෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වන්නේ කෙසේද?
අද වන විට ලෝකයේ බොහෝ රටවල පරිභෝජනයට සුදුසු ජල සම්පත ඉතා සීමිතය. මේ නිසා ලෝකය පුරා විසිරී සිටින ජනගහනයෙන් අතිමහත් බහුතරයක් දෙනා සිය දෛනික අවශ්‍යතාවන්ට අවශ්‍ය අවම ජලය ප්‍රමාණවත්ව නොමැතිකමින් මහත් පීඩාවට පත්ව සිටිති. ඉදිරි සියවසේදී මානව වර්ගයාගේ පැවැත්මට අත් විය හැකි තර්ජන අතුරින් බලවත්ම තර්ජනය ලෙස හඳුනාගෙන ඇත්තේ මේ උග්‍ර ජල හිඟයයි. මේ හේතුව නිසා ඇති වන අනෙක් අර්බුදය වන්නේ ආහාර හිඟයයි. මේ නිසා කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ප්‍රමාණවත්ව නොලැබුණ හොත්, ඉදිරි සියවසේදී විශාල සාගතයකට මුහුණ දීමට ලෝවැසි ජනතාවට සිදු වේ. ජල හිඟය නිසා ඇති විය හැකි අනෙක් ගැටලුව වන්නේ සනීපාරක්ෂාවය. සීමිත ජල ප‍්‍රමාණයක් විශාල ජන සංඛ්‍යවකගේ අවශ්‍යතා පිරිමැසීමට යෑමේදී මේ තත්ත්වය ඇති වීම අනිවාර්ය ඵලයකි. ඒ අනුව ජලය නිසි ලෙස කළමනාකරණය කිරීම හා ආරක්ෂා කිරීම මත අපේ ඉදිරි පැවැත්ම තීරණය වී තිබේ. විශාල ආර්ථික සංවර්ධනයක් කරා යෑමේ හැකියාව තවමත් අපේ රටට තිබේ. අතීතයේදි ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූයේ අහසින් ලැබෙන මේ ජල සම්පත මනා සේ රැකගත් නිසාය. ඉන් විපුල පල නෙළාගැනීමට අපේ මුතුන් මිත්තන් සමත් වූයේ ඒ හෙයිනි. මේ සඳහා ගත යුතු මුල්ම පියවර වන්නේ වැස්ස නොඅඩුව ලබාගැනීමට උපකාරි වන කඳුකර වැසි වනාන්තර රැකගැනීමය. එමගින් වසරකට දෙවරක් මෝසම් සුළං රැගෙන එන වැසි දිය උපරිම ආකාරයෙන් පොළොව තුළ ගබඩා කරගැනීමට හැකි වේ. එසේම තෙත්බිම් රැකගැනීමෙන් ඒ ජලය ගොඩබිම තුළ තවදුරටත් රඳවා ගත හැකිය.
එහෙත් අවසනාව වන්නේ නිදහසින් පසු කෘෂිකර්මාන්තය නැංවීමට ප්‍රතිඥා දුන් බොහෝදෙනා වැසි වනාන්තර හා තෙත් බිම් මහ පරිමාණයෙන් වනසාදැමීමට කටයුතු කිරීමය. මෙරටට වැසි ජලය උපරිමයෙන් ලැබෙන කාලවල එය උපරිම ලෙස රඳවාගන්නා ස්වාභාවික පරිසර පද්ධතියක් අපට අවශ්‍යය. එහෙත් ගැටලුව වන්නේ මෙරට පරිසර පද්ධති පිළිබඳව මේ සැලසුම්කරුවන්ට නිසි අවබෝධයක් නොවීමය. ඊට ප්‍රධාන හේතුව නම්, යටත්විජිත පාලකයන්ගේ වැරදි සිද්ධාන්ත තවමත් කරේ තබාගෙන යෑමය. අහස් දිය ගබඩා කර තබාගත හැකි එක් ක්‍රමයක් වන්නේ ස්වාභාවිකව මෙන්ම මිනිසා විසින් නිම කළ තෙත්බිම් ආරක්ෂා කිරීමය. වැසි වනාන්තර මඟින් වැස්ස පොළොවට ඇදගන්නවා සේම, ඒ වැසි ජලය ගබඩා කර තබාගෙන වසර පුරා දිය පාරවල් වෙත මුදාහරිති. මෙලෙස ලැබෙන ජලය මුහුදට ගලා යෑම අවම කර ගොඩබිම ජීවින්ගේ පැවැත්ම වෙනුවෙන් හැකිතාක් රඳවා තබාගන්නේ තෙත්බිම්ය. එමඟින් ජීවින්ගේ පැවැත්මට ඉටු කරන්නේ මහත් සේවයකි. එහෙත් තවමත් අපේ රටේ ජල කළමණාකරන සැලසුම් මඟින් සිදු වන්නේ වැසි දිය කළමනාකරණය කිරීම පමණි. ඒ හැර ජලය වැඩි වැඩියෙන් ගබඩා කරගැනීමට අවශ්‍ය වනාන්තර හා ඒ ජලය මුහුදට යෑම වළක්වා වැඩි කලක් රඳවාගන්නා තෙත්බිම් රැකගැනීම නොවේ. ඒනිසා අපේ කෘෂිකර්මාන්තයේ පැවැත්මට වනාන්තර රැකගැනීම අනිවාර්ය වේ.
අවාසනාවකට පසුගිය කාල පරිච්ඡේදය තුළදී මේ තෙත්බිම්ද මහ පරිමාණයෙන් විනාශ කළේය. මෙලෙස තෙත්බිම් වැනසීමත් සමඟ වැනසී යන්නේ අපගේම ජීවිත බව බොහෝදෙන නොදනිති. තෙත්බිම් වනාහි අපේ පැවැත්මට අවශ්‍ය ජලය ගබඩා කර තිබෙන ජල ටැංකි බව බොහෝ දෙනකුට තවම වැටහී නැත. එනිසා ජල සම්පත් කළමනාකරණයේ යෙදී සිටින වගකිව යුතු ආයතන ජනතාවට පවසන්නේ ජල භාවිතය හැකි තාක් අඩු කරන ලෙසය. එහෙත් අපට ජලය ලබා දෙන හා ජලය රඳවාගන්නා පරිසර පද්ධති අද මහ පරිමාණයෙන් විනාශය මුඛයට ඇදවැටී තිබේ. ඒවා වැළැක්වීමට කිසිවකු කටයුතු කරන්නේද නැත. ඒනිසා අපේ වත්මන් ජල කළමනාකාරනය යනු පොට වරද්දාගැනීමකි.
අවාසනාවකට ජල සංරක්ෂණය ගැන කෙරෙන සාකච්ඡාවලදී හා සැලසුම්වලදී අදත් සලකා බැලෙන්නේ වගාවන් සහ විදුලිය නිපදවීම සඳහා ජලය ලබාගැනීම වැනි තාවකාලික හා ක්‍ෂණික ආර්ථික වාසි ගැන පමණි. එනමුත් ජෛව විවිධත්වය රැකගැනීම සඳහා ජල සම්පත රැකගැනීම අත්‍යාවශ්‍ය සාධකයකි. එහෙත් එවැනි දිගුකාලීන ආර්ථික ප්‍රයෝජන ගැන ඔවුන් දක්වන්නේ මැළිකමකි. මෙවැනි සැලසුම්වලදි ජෛවවිවිධත්වයට සිදු වන බලපෑම් ගැන දක්වන අවධානය ප්‍රමාණවත් නොවේ. ඒ බව මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය මෙන්ම ඉහළ කොත්මලේ ජල විදුලිබලාගාර ව්‍යාපෘතිය සැලසුම් කර තිබූ ආකාරයෙන්ද පැහැදිලි විය. මේනිසා සැලසුම් සකස් කිරීමේදී වැස්ස ලැබෙන මාර්ග සුරැකීමටත්, මෙරට ජෛව විවිධත්වය ආරක්ෂා වන ආකාරයටත් සැලසුම් සකස් කිරිම ඉතා වැදගත්ය.
මේ සියවසේදී ඇති වේයයි කියන මහා නියඟයට හා ජල හිඟයට නොබියව මුහුණ දීමට අවශ්‍ය ස්වාභාවික තත්ත්වයන් තවමත් අප සතුව ඇත. අවාසනාවකට අපට නැත්තේ ඒ බව තේරුම් ගැනීමේ හැකියාව සහ ඒ අභියෝගය ජය ගැනීම සඳහා වූ නිසි සැලසුම් පමණි. මේ නිසා කොතරම් වැසි වැටුණද මෙරට ඇතැම් ප්‍රදේශ නියඟයන්ට ගොදුරු වේ. අහසින් වැටෙන හැම දිය බිඳක්ම රැස් කර තබාගැනීමට වියළි කලාපය පුරා වැව් පද්ධතියක් අප සතු විය. යටත්විජිත සමයේ සිට අද දක්වා විදේශීය උපදෙස් මත ක‍්‍රමයෙන් මේවා විනාශ කිරීමට කටයුතු කිරීම මේ නියඟයට සැබෑ හේතුවයි. මෙයට කදිම නිදසුන වන්නේ ක්‍රි.පූ. දෙවන සියවසේදී ක්‍රමවත් ජල පිටවහන රටාවෙන් සරුසාර කර තිබුණු අද නියඟයෙන් පීඩා විඳින හම්බන්තොට දිස්ත්‍රික්කය හා ඒ අවට ප්‍රදේශයි. මේ අනුව ඉදිරි සියවසේදී ලොව පුරා ඇති විය හැකි ජල හිඟයට හා සාගතයට මුහුණ දීමට නම්, ජල සම්පත ප්‍රයෝජනයට ගැනීම සදහා නිසි සැලසුම් සකස් කළ යුතු වේ. එහි අයිතිය අප සතු කරගෙන, එය ආරක්ෂා කිරීමට ක්‍රියා කළ යුතුය. ඉදිරි සියවස තුළ ජාතියක් ලෙස අපට විනාශ නොවී පැවතිය හැක්කේ එවිටය.
එමෙන්ම ලොව පුරා ජලය සහ ආහාර සඳහා ඇති වන ඉහළ ඉල්ලුම මගින් අත් වන ආර්ථික වාසි ගැනද සිහිතබාගෙන ආර්ථික සැලසුම් සකස් කළ යුතුය. ජල හිඟය හමුවේ නිර්මාණය වන දැවැන්ත පානීය ජල ඉල්ලුම සඳහා හොඳ වෙළෙඳපොළක් අපට නිර්මාණය කළ හැකිය. ලෝකයට ජලය විකිණීම මගින් අපට උපයාගත හැකි වන ආදායම අතිවිශාලය.
මෙරට ගිලී සිටින මහා ණය බරින් අපට නිදහස් වීමට ඇති එකම මාර්ගයද මෙය වේ. එහෙත් අපි තවම අහසින් එන මේ සම්පත පිළිගැනීමට හා ඉන් නිසි පල ලැබීමට සූදානම්දැයි ප්‍රශ්නයක් මතු වේ. මේ සඳහා අප විසින් කළ යුතු වැදගත්ම කාර්යය වන්නේ වැස්ස අපේ රටට ලබාදෙන කඳුකර වැසි වනාන්තර ආරක්ෂා කිරීමය. එසේම ඒ ජලය රඳවා තබාගන්නා තෙත්බිම් ආරක්ෂා කරගැනීමය. එවිට මින් නිසි ආර්ථික හා පාරිසරික ප‍්‍රයෝජන ළඟා කරගැනීමට අපට හැකි වේ. එහෙත් අවාසනාවකට අද මෙතරම් වටිනා ජල සම්පත කළමනාකරණය නමින් බහුජාතික සමාගම්වලට පවරා දී තිබේ. මෙය සියතින් තම ගෙල සිර කරගැනීම හා සාමානය. මෙරට සෑම ජීවියකුටම තමන්ට අවශ්‍ය ජලය ලබාගැනීමට ඇති ස්වාභාවික අයිතිය මෙමගින් අහෝසි වී යයි. මේ තත්ත්වයට එරෙහිව අද ලොව පුරා ජනතාව පෙළ ගැසෙමින් සිටිති. ඒ නිසා අද මෙරට සෑම අයකුගේම වගකීම වන්නේ පාලකයන් විසින් ජල සම්පත බහුජාතික සමාගම්වලට කොල්ලකෑමට සකස් කරන සැලසුම් පරාජය කිරීමය. අපේ වටිනාම ස්වාභාවික සම්පත බේරාගැනීම වෙනුවෙන් අපි සියලු දෙනාම එක් විය යුතු කාලය එළඹ තිබේ. වගකිව යුතු පුරවැසියන් ලෙස අප තේරුම් ගත යුතු සත්‍යය වන්නේ අදත් අපේ රටට කෘෂිකාර්මික අතින් ඉදිරියට යෑමට හැකි බවයි. මීට එල්ල වී තිබෙන විදේශ කුමන්ත්‍රණය හා එහි දේශීය නියෝජිතයින් හඳුනාගෙන අප ඔවුන් වහා පරාජය කළ යුතුය.