ජාතික නිද­හස් සට­නට පණ පෙවු කවියා | සිළුමිණ

ජාතික නිද­හස් සට­නට පණ පෙවු කවියා

1951 වර්ෂයේ මාර්තු මස 16 වෙනි දින එස්.මහින්ද හිමි අපවත් විය. ලංකා මාතාවගේ දරුවකු නොවුණත්, උන්වහන්සේගේ අභාවය ලක් වැසියාට දැනුණේ මිණි පහනක් නිවී ගියා සේය.

විසිවෙනි සියවසේ උදාවත් සමඟ ම, කොළඹ යුගයේ ප්‍රථම කවි පරපුර බිහිවෙයි. පියදාස සිරිසේන, ආනන්ද රාජකරුණා, මුනිදාස කුමාරතුංග හා ජී.එච්. පෙරේරා ඒ අතරින් කැපී පෙනෙන කවීහු වෙති. කලකට පසු; එස් මහින්ද හිමි ද, මේ කවි පරපුරට එකතු වෙයි. මේ යතිවරයා කොළඹ යුගයේ ප්‍රථම පරපුර නියෝජනය කරන පෙරළිකාර කවියෙකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන‍්ගෙන් ජාතික නිදහස ලබාගැනීම සඳහා කවිය අසිපතක් සේ භාවිත කළ කවියකු සේ මහින්ද හිමියන් හැඳින්විය හැකිය.

 

මහින්ද හිමි 1911 වර්ෂයේ දී ටිබෙට් රටේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ටිබෙට් ජාතිකයෙකි. ඔහු දොඩන්දුවේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයට පැමිණෙන විට, වයස අවු: එකොළහක ළමයෙකි. ඔහුගේ ගිහි නම සර්කි ටෂිනම්ගල් (Serki Tashinamgal)ය. මේ ළමයාට වයස අවු: ‍ෙදාළහ වන විට, සීකම් මහින්ද (Seekam mahinda) නමින් පැවිදි කරනු ලැබිණ. මහින්ද ථෙර ප්‍රාථමික අධ්‍යාපනය ලබාගැනීම සඳහා සරස්වතී පිරිවෙනට ඇතුළු වෙයි. මෙහි දී සිංහල, පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ තරමක දැනුමක් ලබා ගැණීමට උන්වහන්සේ සමත් වෙති. පසු කලක දී, මහින්ද භික්ෂුව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා කොළඹ විද්‍යෝදය පිරිවෙනට පිවිසෙයි. එම කාලයේදී, සිංහල සාහිත්‍යය හා සිංහල භාෂාව ඉගෙනීමට මහින්ද හිමි විශේෂ ඇල්මක් හා උනන්දුවක් දැක්වුයේ ය. පසුව, මහින්ද හිමි කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් වැඩ බාර ගනියි. එහිදී, උන්වහන්සේ විවිධ විෂයයන් ඉගැන් වූ අතර චතුර ගුරුවරයකු වශයෙන්ද නමක් දිනා ගනිති. උන්වහ‍න්සේගේ අවසාන කාල‍යේ දී, පාණදුරේ බෙල්ලන ශ්‍රී සුදර්මාරාමයේ වැඩ වාසය කළ බව සඳහන් වේ.

මහින්ද හිමි සිංහල පද්‍ය සාහිත්‍යය හා සිංහල ගද්‍ය සාහිත්‍යය සංවර්ධනය කිරීම උදෙසා විශිෂ්ට සේවයක් කළේය . මේ භික්ෂුව කාව්‍ය සංග්‍රහ කිහිපයක් පළ කරයි. දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල, නිදහසේ මන්ත්‍රය, නන්දන ගීත, කවිමුතු, ලංකා මාතා හා නිදහසේ දැහැන මේ අතරින් කිහිපයකි. මීට අමතරව, සද්ධර්ම මාර්ගය හා රාහුල කුමාරයා යන ගද්‍ය කෘති, උන්වහන්සේ විසින් පළ කරන ලදි. සිංහල ජනතාව තුළ ජාතික අභිමානය ඇති කිරීමේ අදහසින් මහින්ද ථෙර කවි පන්ති කිහිපයක් රචනා කළේ ය. ඒවායින් ළමයින් සඳහා රචිත නිර්මාණ වඩාත් රසවත් ය.

සිංහල ව්‍යාකරණය නැංවීමට ජර්මනියෙන් ගයිගර් පඬිවරයාත්, බුදු දහම යළි ස්ථාපිත කිරීමට ඇමරිකන් ජාතික ඕල්කට්තුමාත්, පැමිණියා සේ එම යුගයේ නිද්‍රාගතව සිටි සිංහල ජාතිය යළි අවදි කිරීමට එස්. මහින්ද හිමි මුලික වුයේ ය. සිංහලයන් අතර දේශානුරාගය හා ආත්මාභිමානය ඇති කිරීමේ අරමුණෙන් මේ යතිවරයා පද්‍ය රචනා කළේ ය. බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අසාධාරණකම්වලට එරෙහිව නැගී සිටි කවියකු වශයෙන් මේ හිමියන් සිංහලයන් අතර ප්‍රචලිත විය. මහින්ද හිමිගේ බොහෝ රචනා යුගයේ අවශ්‍යතාව ඉ‍ටු කිරීමට සමත්වන්නේ ය. උන්වහන්සේගේ කාව්‍ය නිර්මාණ සමකාලීන සමාජය හා බද්ධ විය. එම කවි ජාතික හා ආගමික පුනර්ජීවනය සඳහා දායක වෙයි. මහින්ද හිමිගේ නිර්මාණ නිසා සිංහලයන්ගේ සිත් තුළ ජාතික නිදහස ලබාගැනීම සඳහා උත්තේජනයක් ඇති විය. සිංහලයන් තුළ නොතිබුණු ජාතික කැක්කුමක්, සිංහලයකු නොවු උන්වහන්සේට සිංහලයන් ගැන තිබිණ.

මේ හිමිගේ ළමා කවි අපුර්වත්වයක් ගන්නේ ය. ළමයින්ගේ සිත් තුළ දේශානුරාගය හා ජාත්‍යාලය රෝපණය කිරීමට මේ කවි සමත් වෙයි. මතු දැක්වෙන පද්‍යය මේ සඳහා දැක්විය හැකි කදිම නිදසුනකි.

සිරි ලකය මගෙ රට

වෙන කිසි රටක් නැහැ මට

එහි මතු දියුණු වට

කරමි වැඩ මම මගෙ තරමට

මව්බිම ගැන අභිමානයක් ඇති කිරීමට මේ කවිය සමත් වෙයි. දේශානුරාගය වැඩුණු විට, කුඩා කල සිටම රටට සේවයක් කිරීමට ළමයා සිතයි. මෙවැනි කවි රස විඳීමෙන්, ළමයින් තුළ පිළිසිඳ ගන්නේ තම දේශය පිළිබඳ ආදරණීය හැඟීමකි.

ළමා ලෝකය පිළිබඳ මනා වැටහීමක් මහින්ද හිමිට තිබිණ. ළමා මනසට ගැළපෙන සුන්දර දේවල් විෂය කරගෙන උන්වහන්සේ කාව්‍ය රචනා කළහ. මේ භික්ෂුව විසින් රචිත “රාත්‍රිය” නමැති පද්‍ය නිර්මාණය මේ සඳහා දැක්විය හැකි උදාහරණයකි.

සමන් පිච්ච මල් ඉහිරුණු

නිල් තණකොළ පිට්ටනියක්

වගෙයි අහස අන්න බලනු

කොච්චර ලස්සන ද රෑට

මේ උපයුත්ත උපමාව ළමයින්ගේ සිත් ජයගැනීමට සමත් වේ. සමන් පිච්ච මල් සේ පෙනෙන්නේ තාරකා ය.

 

Comments