
(කුමාරතුංග මුනිදාස මහතා මියගොස් වර්ෂ 74 ක් පිරීම නිමිත්තෙනි.)
පුවත්පත් කලාවේදියා ස්වකීය සන්නිවේදන කාර්යය සාර්ථක ව ඉටු කර ගැනීම සඳහා පුවත්පතට ම විශේෂ වූ භාෂා ව්‍යවහාරයක් යොදා ගනියි. සිංහල පුවත්පත් ඉතිහාසයේ ආරම්භක අවධියේ දී, පුවත්පතට යෝග්‍ය භාෂා ව්‍යවහාරයක් කුමක් ද යන්න පිළිබඳව සම්මතයක් නොතිබුණු නමුදු, කාලයත් සමඟ පුවත්පත නිසා සිංහල භාෂාව ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් බවට පත් විය. විසිවන සියවසේ සිංහල භාෂා විෂයයෙහි කැපී පෙනුණු පඬිවරයකු වන මුනිදාස කුමාරතුංග මහතා, ‘ලක්මිණ පහන’ පුවත්පත පවත්වමින්, පත්‍ර කර්තෘවරයකු වශයෙන් ඉටු කළ පුරෝගාමී සේවාව මෙහි දී අපගේ විමසුමට ලක් වේ. භාෂා විශාරදයකු, වෛයාකරණඥයකු, ග්‍රන්ථ ශෝධකයකු, කවියකු වශයෙන් පමණක් නොව, නිර්මාණ ශක්තියෙන් හෙබි ලේඛකයකු වශයෙන් හෙළ බස, රැස, දෙස, යන “හෙළ තෙරුවන” නංවන්නට ඔහුගෙන් ඉටු වූ සේවය මේ රටේ ඉතා ප්‍රකට ය.
සිංහල පුවත්පත් ඉතිහාසයේ කුමාරතුංග මහතාගේ නම අමරණීය වුයේ, ඔහු කලක් නැවතී තිබුණු ‘ලක්මිණි පහන’ පත්‍රය යළි ආරම්භ කිරීම නිසා ය. හුදෙක් පත්‍රයක් යළි ආරම්භ කිරීම පමණක් නොව, එය රටේ පත්‍ර කලාවට ආදර්ශයක් වන ලෙස පවත්වාගෙන යෑම නිසා කුමාරතුංග ශාස්ත්‍රීය සේවාව ද තවත් පුළුල් විය. මාතර ධර්මරත්න පඬිතුමාගේ අභාවයෙන්, 1925 දී නැවතුණු ‘ලක්මිණි පහන’ 1934 ජුනි 26 වන දා සිට කුමාරතුංග මහතාගේ සංස්කාරකත්වය යටතේ සෑම අඟහරුවාදි දිනකම පළ වුණි. කුමාරතුංග මහතාගේ අරමුණ වුයේ එකල තිබු අන් පුවත්පත්වලින් ඉටු නොවු අංශයක් කෙරෙහි තම පත්‍රයෙන් සේවයක් සැලසීමට ය. ‘ලක්මිණි පහන’ මඟින් කුමාරතුංග මහතා ඉටු කළ සේවාව අපට ක්ෂේත්‍ර කීපයක් ඔස්සේ විභාග කර බැලිය හැකිය.
1. යටත්විජිත සමයක පැවැති පරගැති ආකල්පවලින් ජනතාව මුදා ගැනීමටත්,රටේත්, ජාතියේත් සැබෑ අවශ්‍යතා මතු කරලීමට කළ මෙහෙය.
2. ලිඛිත සන්නිවේදන මාධ්‍යයක් වූ පුවත්පතක පැවැතිය යුතු භාෂාවේ නිරවද්‍ය ව්‍යවහාරය භාවිතයට ගැනීම මඟින් සිංහල භාෂාවේ පෝෂණයට ඉටු කළ මෙහෙය.
3. විවිධ විෂය හා ප්‍රවෘත්ති සන්නිවේදනය මඟින් පාඨකයන්ගේ දැනුම දියුණු කිරීමට ඉටු කළ මෙහෙය.
කුමාරතුංගගේ කර්තෘත්වය යටතේ ‘ලක්මිණ පහන’ ප්‍රචලිත වුයේ එහි පළ වූ කතුවැකි නිසා ය. කුමාරතුංගගේ මෙම කතුවැකි සියල්ල පරික්ෂාවෙන් විමර්ශනය කරන්නෙකුට එමඟින් ඔහුගේ චිත්තනය පමණක් නොව, තත්කාලීන සමාජ තත්ත්වය ගැන ද අවබෝධයක් ලබා ගත හැකි ය කුමාරතුංග විසින් රචිත කතුවැකි, ප්‍රධාන වශයෙන් ම භාෂාව, ආගම, දේශපාලනය සහ අධ්‍යාපනය යන අංශවලට යොමු වී පැවතුණි.
සිංහල ජනයා තුළ දේශීයත්වය හා ජාතිකත්වය ඇති කරලීමට ‘ලක්මිණි පහන’ පුවත්පත මඟින් කුමාරතුංග මහතා ඉටු කළ සේවය විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. ඔහු සිංහල ජාත්‍යනුරාගී ව්‍යාපාරයට කෙළින් ම සම්බන්ධ වී ඇත්තේ ද මේ යුගයේ දී ය. ‘ලක්මිණි පහන’ ඇරඹීමේ දී කුමාරතුංගගේ එක් පරමාර්ථයක් වුයේ යටත් විජිතවාදීන්ට ගැතිව සිටි සිංහලයාගේ ‘දීන බව මකා’ අභිමානය නගාලීම’ ය. ‘ලක්මිණි පහනේ’ මුල් ම කතුවැකියෙන් එය හෙළි කෙළේ මෙසේය.
‘‘මේ සා එළිය ඇති කාලයෙකැ මෙ සා දින වැ සිටිනා අනෙක් රටක් මිහි පිටැ අද්ද යනු විමසීය යුත්තේ යැ. ලැබෙන පණමක් දෙකක් නවති යි සිත ඇත්ත කියන්නට බිය වන තමන් නො කැමැති එකකුට ලාභයක් වන සැටි දුටුවහොත් මුළු රට වුවත් පුදා එය වළකන්නට වැර වඩන, හිස් ගරු නමක් ලැබේ නම් කවර නො තරම් කමක් වුව ද කරන්නට සැරසෙන වැඩි දෙනාට ලැබෙන බලය වළකනු සඳහා තමන් දුබල වන්නට පතන හීනයන් ගෙන් ගහන වූ රටකට නින්දා මිසැ කවර ප්‍රශංසාවෙක් ද?’’ (ලක්මිණි පහන, 1934 ජුනි 26) .
ජාතික අනන්‍යතාව තීරණය වන ප්‍රධාන සාධකය භාෂාව වශයෙන් සැලකු කුමාරතුංග ‘බස-රැස-දෙස’යනුවෙන් ‘හෙළ තෙරුවනක්’ ඉදිරිපත් කරමින් බසට මුල් තැනක් දුන්නේ ය. එකල පළ වූ අනෙක් සිංහල පුවත්පත් අතුරින් ‘ලක්මිණි පහන’ සුවිශේෂ වන්නේ එහි උපයුත්ත භාෂාව නිසා ය. පුවත්පතකින් භාෂාවට සිදු කළ හැකි මෙහෙය වටහා ගත් කුමාරතුංග, භාෂාව සම්බන්ධයෙන් එක්තරා ‘ප්‍රතිපත්තියක්’ ලක්මිණි පහනේ අනුගමනය කෙළේය. විවිධ විෂයයන් පිළිබඳ විවේචන, විමර්ශන හා ප්‍රවෘත්ති ජනතාව වෙත ලබාදීම මඟින් පාඨකයන්ගේ දැනුම වර්ධනය කිරීමේ මාධ්‍යයක් බවට ‘ලක්මිණි පහන’ පත් කිරීමට ද මෙතුමා සමත් විය.
තම පත්‍රයේ ගුණ -දොස් දැක්වීමට පාඨකයන්ට අවස්ථාව ලබා දුන් කුමාරතුංග නිදහස් අදහස් පළ කිරීමට හැමවිටම උත්සාහ දැරීය. එහෙත් ඔහුගේ කර්තෘත්වයෙන් ‘ලක්මිණි පහන’ පැවැත්වුණේ වසර එකහමාරක් පමණි. මේ අනුව 1936 ජනවාරි 21 වනදා කුමාරතුංගගේ සංස්කාරකත්වය යටතේ අවසන් පත්‍රය පළ විය. කුමාරතුංගගේ කර්තෘත්වය යටතේ පැවැති ‘ලක්මිණි පහන’ මේ රටේ පත්‍ර අතර සුවිශේෂ ස්ථානයක් හිමි කර ගත්තේය.
පුවත්පත් පැවැත්වීමේ අසිරුතාව පසක් කරගෙන සිටි කුමාරතුංග, පසුව සඟරා ඔස්සේ තම භාෂා සාහිත්‍ය පෝෂණයට දායක විය. එහෙත් ඔහු ‘ලක්මිණ පහන’ පත්‍රය මඟින් ගෙන ගිය සේවාව වඩා පෘථුල වූ බව කිව යුතුය. කුමාරතුංග ‘සුබස්වාදියකු’ ලෙස පසු කාලයේ හැඳින්වෙන්නට වුයේ ඔහු විසින් 1939 ජූලි 10 වනදා අරඹන ලද ‘සුබස’ සඟරාව නිසා ය. ‘සුබස පිරිසුදු බස’ සඳහා කැප වන සඟරාවක් බව එහි මුල් ම කලාපයේ පළ වූ සංස්කාරක සටහනින් කියා සිටියේ ය. 1941 දී ‘හෙළ හවුල’ ඇරඹීමත් සමඟ ‘හෙළ හවුලේ සගනුව’ බවට ‘සුබස’පත් විය. සිංහලය නොදත් ඉංග්‍රීසීන්ගේ ප්‍රයෝජනය සඳහා 1941 අගෝස්තු 9 වනදා The Helio නමින් ඉංග්‍රීසි සඟරාවක් ද කුමාරතුංග ආරම්භ කෙළේ ය. කලාප 16 ක් නිකුත් වී ඇති මේ සඟරාව 1941 දෙසැ. 22 වනදා නැවතිණි.
මුනිදාස කුමාරතුංග මහතාගේ සංස්කාරකත්වයෙන් පළවූ පුවත්පත්, සඟරාවල කැපී පෙනෙන ම ලක්ෂණය ලෙස දැක්විය හැක්කේ නිවැරදි භාෂා ව්‍යවහාරයට දක්වා ඇති සැලකිල්ල ය. එම පත්‍ර සඟරාවලින් නිවැරදි සිංහලය ඉගෙන ගත්තෝ බොහෝ දෙනෙකි. සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය තුළ භාෂාව කෙරෙහි මෙතරම් අවධානයක් දැක්වූ සංස්කාරකවරයකු සොයා ගැන්ම අසීරු ය. ලිඛිත මාධ්‍යයේ වැදගත් ම අංගය වන ලේඛන ව්‍යාකරණය කෙරෙහි කුමාරතුංග මහතා ප්‍රකට කළ ගරුත්වය නිසා ම ඔහු අද්විතීය පත්‍ර කලාවේදියකු වශයෙන් සැලකිය හැකි ය.