නාවික දෑතින් පිබි­දෙන කඩො­ලාන | Page 2 | සිළුමිණ

නාවික දෑතින් පිබි­දෙන කඩො­ලාන

නාවික හමුදාවෙන් කඩොලාන රෝපණය කරන අයුරු

කඩොලාන ශාක කියන්නේ අපට නොදැනෙන නොපෙනෙන සේවයක් කරන ශාක විශේෂයක්. කඩොලාන විනාශ වෙන ආකාරයේ වැඩ කරන්න එපා කියල පරිසර සංවිධාන වරින් හර හඬ නඟනවා. එසේ වුණත් කඩොලාන ආරක්ෂා කරන්න කටයුතු කරන අය ඉතාම අල්පයි. කළපු ආශ්‍රිත ජලජ ජීවි සම්පත් වගේම වටිනා ජලජ ශාක සම්පත් මේ නිසා රැකෙනා බව අප අතීතයේ සිටන්ම දන්නා කරුණක් වුණත් ඒ ගැන අවධානය තියෙන පිරිස් බොහොම අඩුයි.

කඩොලාන රැක ගන්න ඕන කියමින් කෑ මොර දුන්නත් රැක ගන්න එහෙම නැත්නම් කඩොලාන වගා කරන්න උනන්දු වෙන්න ඉන්න පිරිසේ අඩුව දුටු ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ ගැන විශේෂ උනන්දුවක් දැක්වූවා. විශේෂයෙන්ම උතුරු නාවික විධානය හරහා උතුරේ කළපු වගේම දූපත් යා කරනු ලබන ගොඩබිම් මාර්ග ආශ්‍රිතව කඩොලාන වගා කළා. ඔවුන් මේ සඳහා විශේෂ ආධාර උපකාර පැතුවේ නැහැ. නාවික හමුදාවේ දැනුම වගේම සම්පත් භාවිතා කරමින් තමයි මේ කාර්යය සිදු කෙරේ. කඩොලාන වගා කිරීමෙන් පමණක් නාවික හමුදා කටයුතු නැවතුණේ නහැ. එතැනින් පසුව කඩොලාන ශාක බලා ගන්නත් නාවික හමුදාව විසින් කටයුතු කළා.

මේ සඳහා නාවික භටයන් යෙදවූවා. ඒ නාවික භටයන් හරහා සෑම පැළයක්ම හොඳින් බලා ගැනුණා. ඒ විතරක් නෙමෙයි ඒ සෑම පැළයක්ම තරමක ශක්ති සම්පන්න වෙනකල් ඒ සඳහා අවශ්‍ය පරිදි ආරක්ෂණ උපක්‍රම පවා යෙදවූවා. විශේෂයෙන්ම වටා දැල් උපකරණ යෙදවුවා. මේ නිසා කඩොලාන ආරක්ෂා වෙලා. මේ වන විට පොන්නාලේ අවට ප්‍රදේශයේ සරුසාර ලෙසින් කඩොලාන වැවී තිබෙනවා. ඒ කඩොලාන වැවිලා තියෙන ප්‍රදේශය හවස් කාලයට ආකර්ශනීය දර්ශනයක් ලෙස පෙනෙනවා. සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා ආකාරයටයි මේ කඩොලාන වවා ඇත්තේ.

මේ සියල්ලටම වඩා කඩොලාන නිසා අපේ සරිසරය සුරැකීම ගැනයි අපි හිතන්න ඕන.කඩොලාන ගැන විද්‍යාත්මක දැනුමක් නැති වුණත් කඩොලාන වගේ වටිනා ශාක ආරක්ෂා කිරීම අපි හැමෝටම කරන්න පුළුවන්. අවම වශයෙන් කඩොලාන විනාශය නවත්වන්න හෝ පියවර ගත යුතු වනවා.

මේ සේයාරූවල තියෙන කඩොලාන දැක්කහම ඒ අලංකාරත්වය ගැන අපිට හිතා ගන්න පුළුවන්. අපේ පරිසරය අපි රැක ගන්නවානම් අපේම දිවියටයි එහි වටිනාකමක් ඇති වන්නේ. එහෙම නැතිවුණොත් අපේ පරිසරය පද්ධති විනාශයන් අප විසින්ම ඇති කර ගනියි. කඩොලාන වගේ වටිනාකමක් ඇති තවත් ජලජ ශාක වගේම ජල ජීවීන් ආරක්ෂා කර ගත්තොත් අපේම දිවියක කොටසක් අපි රැක ගත්තා වේවි.

තාරක වික්‍රමසේකර

 

Comments