වැසි කාලයේ රබර් අස්වැන්න | Page 2 | සිළුමිණ

වැසි කාලයේ රබර් අස්වැන්න

ශ්‍රී ලංකාවේ රබර් වගාව ආරම්භ කළ මුල් අවධියේ සිටම වර්ෂාව රබර් කිරි අස්වනු නෙළා ගැනීමට (කිරි කැපීමට) බාධාවක් විය. වැසි සමයේ දී රබර් ගස්වල කැපුම් කට්ටය තෙත්ව පවතින බැවින්, නිසි පරිදි කිරි කැපීම සිදු කළ නොහැක. මේ නිසා වර්ෂාවෙන් කැපුම් කට්ටය තෙත් වීම වැළැක්වීම සඳහා වැසි ආවරණ නමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය මඟින් රබර් වගාකරුවන්ට හඳුන්වා දී ඇත. මෙම වැසි ආවරණ තාක්ෂණය මඟින්, වර්ෂාව නිසා කිරි කැපීමට නොහැකි දින වලදී කිරි කැපීම තුළින් තම ආදායම ඉහළ නංවා ගත හැක.

වර්ෂාව නිසා රබර් වගාවෙන් 60%ක ඉඩම් ප්‍රමාණයක් කිරි කැපීමට නොහැකි තත්වයක් පවතින බව සමීක්ෂණ වලින් හෙළි වී ඇත. වර්තමානයේ අමතර දින 6-8 කිරි කැපීමෙන් වැහි ආවරණ සඳහා වැය වූ සම්පුර්ණ වියදම පියවා ගත හැකි බවද, ඉන් පසුව කිරි කපන සෑම දිනයන්ම ලාබය බවත් මෙම තාක්ෂණයට අනුගත වූ රබර් වගාකරුවෝ පවසති.

ආදර්ශ වැසි ආවරණ රබර් වගාවන්, පාරම්පරික රබර් වගා කරන දිස්ත්‍රික්ක වල ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය මඟින් ස්ථාපිත කර ඇති අතර එමඟින් රබර් වගාකරුවන්ට අවශ්‍ය උපදෙස් හා පුහුණුව නොමිලයේ ලබා ගත හැක. වැහි ආවරණ රබර් වගා කරුවන් අතරේ ප්‍රචලිත කිරීම සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සහනාධාර මුදලක් ඉඩම් හිමියන් වෙත ලබාදෙයි. වැසි ආවරණ සවිකර ඇති අක්කරයක පමණ රබර් ඉඩමකින් වැසි සමයේදී රු. 60,000.00 ක පමණ අමතර ආදායමක් ලබා ගත හැකි වෙමින් පවතී. මේ නිසා රබර් මිල තරමක් පහළ මට්ටමක පවතී. වර්තමානයේ රබර් වගාවකින් ලබාගත හැකි වසරක ශුද්ධ ආදායම ඉහළ මට්ටමක පවතී. වැසි ආවරණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමිතිරිගල ප්‍රදේශයේ ඊ.එම්.එච්. ගාමිණී මහතා “ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ උපදේශක සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත රබර් අක්කර තුනක පමණ වැසි ආවරණ සවි කළා මුලදී අපිටත් බියක් තිබුණා ගස් තැම්බෙයි කියලා. දැන් වැහි ආවරණ සවි කරලා වසරක් වෙනවා.

රබර් ගසකට කිසිම හානියක් වෙලා නෑ”. තල්දුව ප්‍රදේශයේ රබර් කිරි කැපීමේ ශිල්පිනියක් වන එම්. මල්ලිකා මහත්මිය, “මම රැකියාවක් ලෙස කරන්නේ කිරි කැපීමයි. අධික වර්ෂාව නිසා මාස ගණන් කිරි කපන්නේ නැතිව ගෙදර හිටියා රැකියාවක් නැතිව. වැසි ආවරණ යෙදු පසු දැන් අපිට දින 20 ට වඩා මාසයකට කිරි කපලා හොඳ ආදායමක් මාසයකට ගන්න පුළුවන්. වැසි ආවරණ යෙදුවා කියලා කිරි කපන්න අපහසුවක් නෑ”.

ඉදිරි සතියට

 

 

පී. කේ. කේ. එස්. ගුණරත්න
උපදේශක නිලධාරී
ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය අගලවත්ත. 071-3195674

Comments