සෙත්ක­වි­යක ගණ | Page 3 | සිළුමිණ

සෙත්ක­වි­යක ගණ

සෑම සෙත්කවි රචකයෙක්ම සිද්ධි චක්‍රය පිළිබඳව ඉතා දැඩි අවධානයක් යොමු කරයි. නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුම්වත්කමෙන් හෝ සෙත්කවියේ මුල් අකුර සහ අභිධානයේ මුල් අකුර අතර බරපතළ නොගැළපීමක් සිදු වී තිබුණ හොත් එහි විපාකය විඳින්නට සිදුවන්නේ සෙත් කවිය රචනාකළ ශිල්පියාටම ය.

 

ශබ්ද විද්‍යාව අතිශය බැරූරුම් සහ වගකීම් සහගත කාර්යයකි. සාමාන්‍ය කවියක වුවද ගණ නිර්මාණය වීමක් සිදු වුවත් සෙත්කවියක හිතාමතා පිහිටුවන ගණ ඇත.

සෙත්කවියක ජීවය, බල මහිමය රඳා පවතිනුයේ මෙකී ගණ නිර්මාණය කිරීම සහ ගණ ස්ථානගත කිරීම මත ය. ගණ පිළිබඳ අධ්‍යයනයක් කිරීමේදී පළමු කොටම අප විසින් හඳුනා ගත යුත්තේ මාත්‍රාවක් යනු කුමක්ද යන්න හා ලඝු හා ගුරු අක්ෂර යනු මොනවාද යන්න පිළිබඳවය.

මාත්‍රා හා ලඝු , ගුරු අක්ෂර

කිසියම් අක්ෂරයක් ශබ්ද කිරීමට ගත වන්නේ එක්වරක් ඇසිපිය හෙළන කාලයක් නම් එහි ඇත්තේ මාත්‍රා එකකි. එවැනි අකුරක් ශබ්ද විද්‍යාවේදී හඳුන්වනුයේ "ලඝු " අක්ෂරයක් ලෙසින්ය. ශබ්ද කිරීමේදී දෙවරක් ඇසිපිය හෙළන කාලයක් ගතවන අක්ෂර ගුරු අක්ෂර වේ.

ලඝු අක්ෂරවලින් සුසැදි ගණ,ගුරු අක්ෂරවලින් ගණ මෙන්ම ලඝු හා ගුරු අක්ෂර මිශ්‍රව සෑදෙන ගණ ද පවතී. එසේ නිර්මාණය වන ගණ ප්‍රධාන කොටස් අටකින් යුක්ත වේ. ඒවා නම් භූමි ගණය, වායු ගණය, ආකාශ ගණය සහ සුර්ය ගණය යි.

මෙකී ගණ අට අතුරින් ප්‍රථමයෙන් සඳහන් කොට ඇති ගණ හතර එනම් භූමි ගණය, ජල ගණය, චන්ද්‍ර ගණය. දේව ගණය සුබ ගණ ලෙස පිළිගැනේ. ගිණි ගණය. වායු ගණය, ආකාශ ගණය හා සුර්ය ගණය අසුබ ගණ ලෙස සැලකේ.

සෙත්කවි රචනයේදී යොදා ගනුයේ සුබ ගණය ය.

සෙත්කවියක ප්‍රතිඵල ලැබීමද මෙකී ගණ අනුව එකිනෙකට වෙනස් වේ.

සෙත් කවි රචකයා තම අරමුණ සාධනය වන ගණයක් තෝරා ගැනීම කෙරෙහිද සැලකිල්ල යොමු කරයි.

භූමි ගණයෙන් සම්පත් ලැබීමද, ජල ගණයෙන් ධෛර්යය වැඩීමද, චන්ද්‍ර ගණයෙන් වස්තුව ලැබීමද, දේව ගණයෙන් සියලු යස ඉසුරු හා බලාපොරොත්තු මල් පල ගැන්වීමද සිදුවන බව දැක්වේ.

ගණ අතර මිතුරුකම්ද , සතුරුකම්ද , උදාසීනකම්ද ,දාසකම්ද පවතී. එබැවින් සෙත්කවියක ගණ එක ළඟ පිහිටුවිය හැකි හා නො හැකි වශයෙන් බෙදීමක් ඇත. සෙත්කවි රචකයා මේ පිළිබඳ දැඩි අවධායක් යොමු කරයි.

අක්ෂර යෝනි

සෙත්කවි රචනයේදී අක්ෂර යෝනි පිළිබඳවද සැලකිලිමත් වේ. අක්ෂරවලට හිමි සංඛ්‍යා වටිනාකම් ඇත. ඒ අනුව කිසියම් වචනයකට හිමි අක්ෂර යෝනිය ගණනය කළ හැකිය. සෙත්කවියක මුල් වචනයද, අභිධානයද අතර අක්ෂර යෝනි ගැලපී යා යුතුය. අක්ෂර යෝනි මෙසේය. ගුරුළ, බළල්, සිංහ, ව්‍යාග්‍ර, නාග, මුෂික, ඇත්, මුව යනුවෙන් යෝනි අටකි. ගුරුළු යෝනියට නාග යෝනිය සතුරු වන අතර සිංහ යෝනිය මිතුරු වේ. මේ ආකාරයට සෙසු යෝනි අතරද සතුරුකම් හා මිතුරුකම් ඇත. සෙත්කවියක ආරම්භක වචනය හා අභිධානය අතර තිබිය යුත්තේ මිතුරු යෝනි සබඳතාවකි.

සිද්ධි චක්‍රය

සෙත් කවියක මුල් වචනයේ පළමු අකුර හා අභිධානයේ පළමු අකුර අතර අනිවාර්යයෙන් ම තිබිය යුතු බැඳීම ප්‍රශස්ත මට්ටමක පවතීදැයි යන්න සිද්ධි චක්‍රයෙන් විනිශ්චය කෙරේ. සිද්ධ, සාධ්‍ය, සුසිද්ධ , අරී වශයෙන් සිද්ධි චක්‍රයේ කොටස් හතරකි. එම චක්‍රයට අනුව සෙත් කවියකින් ගුණ ලැබෙන පිළිවෙළ පිළිබඳ කිසියම් පුරෝකථනයක් කළ හැකිය.

සෑම සෙත්කවි රචකයෙක්ම සිද්ධි චක්‍රය පිළිබඳව ඉතා දැඩි අවධානයක් යොමු කරයි. නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුම්වත්කමෙන් හෝ සෙත්කවියේ මුල් අකුර සහ අභිධානයේ මුල් අකුර අතර බරපතල නොගැලපීමක් සිදු වී තිබුණ හොත් එහි විපාකය විඳින්නට සිදුවන්නේ සෙත් කවිය රචනාකළ ශිල්පියාටම ය.

මෙකී ලිපියෙන් පෙන්වා දී ‍තිබෙන සෑම කරුණක් කෙරෙහිම තම සැලකිල්ල යොමු කරමින් සිදු කරනු ලබන සෙත් කවි රචනයක් සැබවින් ම ගුණ දෙන සෙත්කවියක් බව කිව යුතුය.

සෙත්කවියක් රචනා කරවාගත් පමණින් හෝ සෙත්කවියක් ගායනා කළ පමණින් හෝ උසස් ප්‍රතිඵල ලද නො හැකිය. ඒ සඳහා විධිමත් වත් පිළිවෙත් හා වතාවත් අනුගමනය කළ යුතුය.

 

Comments