
එකමත් එක කාලෙක රජකෙනකුට දූවරුන් තිදෙනෙක් හිටියා. මේ දූවරුන් තමන්ට කෙතරම් ආදරය කරනවාදැයි දැන ගැනීමට සිතී දිනක් රජු දූවරුන් තමන් වෙත කැඳෙව්වා.
පළමුවෙන්ම රජු ඉදිරියට පැමිණියේ වැඩිමල් දියණියයි.
“ඔබ මට කෙතරම් ආදරය කරනවාද?” රජු දියණියගෙන් විමසුවා.
“මං ඔබතුමාට සීනිවලට තරම් ආදරෙයි” රජ කුමරිය පැවසුවා.
රජු දෙවැනි දුවගෙනුත් තමාට දක්වන ආදරය ගැන ඇසුවා.
“පැණිවලට තරම් මං ඔබතුමාට ආදරෙයි” ඒ දියණිය කිව්වා.
අවසානයටම රජු ඉදිරියට පැමිණියේ බාලම දියණියයි.
“මං ඔබතුමාට ලුණුවලට මෙන් ආදරෙයි ”
මේ කියමන ඇසූ ගමන් රජුට තරහ ගියා. අනෙක් දූවරුන් මෙතරම් රසවත් දේ ගැන කියමින් තම ආදරය ඒවාට සමාන කරද්දී බාල දියණිය ලුණු රසට ඇගේ ආදරය සමාන කිරීම ගැන කිපුණු රජු බාල දියණිය කැලයට පිටමං කර හරින මෙන් රාජ සේවකයනට අණ කළා.
කැලයේ අතරමං කරනු ලැබූ කුමරිය කැලය පුරා ඇවිද මහන්සි වී බැරිම තැන විශාල ගසක් යට වාඩි වුණා. කුමරිය
ගස යටට වී හඬමින් සිටියදී එතැනට අසු පිටින් පැමිණි කුමාරයකුගේ නෙත ගැටුණා. දුටු සැණින් කුමරිය ගැන පැහැදුණු කුමරා ඇය සිය රජ මාලිගය වෙත කැටුව ගොස් විවාහ කර ගත්තා.
මෙහෙම කලක් ගත වෙද්දී දිනක් පිය රජු කැලයේ ඇවිද යද්දී පිරිවරෙන් මඟ හැරී අතරමංව සිටියදී මේ කුමාරයාට මුණ ගැහුණා. දුටු ගමන් රජු සිය කුමරියගේ පිය රජු බව දැන කුමරා රජු මාලිගාවට කැටුව ගියා.
“පිය රජතුමාට සංග්‍රහ කිරීමට හැකිතාක් ප්‍රණීතව ආහාර සකසන්න” පියරජුට ආගන්තුක සත්කාර පිරිනැමූ කුමරු කුමරියට පැවසුවා.
කුමරිය සියලු දැසි දස්සන් ඉවත යවා සිය දෑතින්ම පිය රජුට ආහාර සකස් කර මේසයට පිරිනැමුවා. රජු වෙත මුලින්ම පිරිනැමුණේ පැණි යොදා සැකසූ ආහාරයක්. දැඩි කුසගින්නේ සිටි රජු එය යන්තම් රස බලා ඉවත් කළා. රජුට මීළඟට දුන්නේ සීනි යෙදු අහරක්. මේ කිසිවකින්වත් රජුගේ කුසගිනි නිවුණේ නැහැ. රජුට මේ වෙලාවේ අවශ්‍ය වුණේ හොඳට පදමට ලුණු මිරිස් යෙදූ රස අහරක්. කෑම මේසයට අන්තිමට යැවුණේ ලුණු දමා පදම් කර සැකසූ ආහාරයක්. රජු ඉතා සතුටින් යුතුව කුස පිරෙනතුරු එය අනුභව කළා. රජු ආහාර අනුභවයෙන් පසු වටපිට බලද්දී මෙතෙක් සැඟව සිට සංග්‍රහ කළ කුමරිය එළියට ආවා.
“පියරජතුමනි, සීනි හා පැණි මිශ්‍ර ආහාරවලට වඩා ඔබේ කුස පිරුණේ පදමට ලුණු යෙදූ අහරින් නේද?”යනුවෙන් කුමරිය විමසුවා.
ඒ ඇසූ සැණින් පියරජු සිය දූ කුමරිය හැඳින ගත්තා.
“රජතුමනි, මං ඔබට ලුණු තරම් ආදරේ යැයි පැවසුවේ එය සදහටම පවතින ආදරයක් නිසයි.”
කුමරියගේ කීමෙන් තමා කළ වැරැද්ද තේරුම් ගත් රජු සිය දූ කුමරියට ආශිර්වාද කර දෙදෙනාටම තම දේශයට එන මෙන් ආරාධනා කළා.
(පාකිස්තානු ජනකතාවකි. මේ ජනකතාවම වෙනත් ආරකින් ඉන්දීය ජනකතාවක් ලෙසද වෙයි.)
සේමාලි නැන්දා
චිත්‍ර - කුමුදු මාමා