යහ­පා­ල­නය රැක­ගත යුතු ඇයි? | Page 3 | සිළුමිණ

යහ­පා­ල­නය රැක­ගත යුතු ඇයි?

ප්‍රමිතියෙන් තොර බාල පොහොර වෙනුවට ගොවියාට අවශ්‍ය පරිදි පොහොර ගැනීමට මඟ පෑදුවේ වත්මන් ආණ්ඩුවයි. බලයට පත් විගස භාණ්ඩ රාශියක මිල පහත හෙළමින් කරන ලද පෙරළිය අති මහත් ය. ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් සැපයීමෙන් නූපන් දරුවන්ට පවා සැලසූ සෙත වැනීමට වදන් නැත. දූෂිතයන් පවුල් පිටින් අප රටේ සාර සම්පත් සූරා කෑ යුගයට තිත තබා ඇරඹි යහ පාලන ආණ්ඩුව පාසල් දරුවන්ට ‘සුරක්ෂා’ රක්ෂණය ඇරඹීමෙන් සිදු කළේ විසල් පෙරළියකි.

පසුගිය පළාත් පාලන මැතිවරණය පිළිබඳ මේ වන විට බොහෝ අදහස් පළව ඇත. ඇතමෙකුට මේ මැතිවරණය ‍පළාත් පාලන මැතිවරණයක් බව අමතකව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවත්, අගමැති, ජනාධිපති ඉවත්විය යුතු බවත් කියනු ඇසේ. මේවා හරි ම බොළඳ තර්කයෝ ය. අසල්වැසි ඉන්දියාවේ පවා ප්‍රාන්ත මැතිවරණ පරාජය වී රජය පවත්වාගෙන යයි.

2015 ජනාධිපතිවරණයෙන් පසුව ඒ මොහොතේ ම මැතිවරණයකට ගියේ නම් අද වහසි බස් දොඩන අය සිටින තැන් සොයා ගැනීමට අංජනම් යැවීමට පවා සිදු විය හැක.

නමුත් ඔවුන් අතුරුදන් වන්නේ නම් නැත. එක්නැලිගොඩලාට සිදු වූ දේ නම් ඔවුන්ට සිදුවන්නේ නැත. මහින්ද රාජපක්ෂ මහතා පරාජය වී හෙලිකොප්ටරයෙන් මැදමුලනට ගියේ ය. ඉතාම පැහැදිලි වෙනස එයයි. ලසන්ත වික්‍රමතුංගලාට, තාජුදීන්ලාට අත්වූ ඉරණම මේ පාලකයන් වෙතින් කිසිවකුට අත්වන්නේ නැත. ජනාධිපතිතුමා ගේ වචනයෙන් ම කියතොත් අද ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලා යයි.

අපට මෙවැනි කෙටි ලියුමකින් සුවිසල් වෙනසක් ගැන ලිවිය නොහැකිය. ඒත් එකක් දෙකක් ගැන කිව යුතුය.

බහුජාතික සමාගම් විසින් අඩ සියවසකට වැඩි කලක් තිස්සේ වැරදි කෘෂිරසායන යොදන මහපොළොව මරණයට පත් කිරීමට කටයුතු යෙදී තිබියදී විස රසායන නතර කිරීමට එඩිතරව ක්‍රියා කළේ මේ ආණ්ඩුවයි.

අපේ භූමිය වනසන පොලිතීන්වලට තිත තැබීමට කටයුතු කළේ ද වත්මන් ආණ්ඩුවයි.

වසර තුනක් ඇතුළත වන ගහනය 3% කින් වත් වැඩි කළ යුතු බවට ප්‍රකාශයක් කළ එකම ජනාධිපතිවරයා වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතා පමණි. මොරගහකන්ද සිහිනයක් වීමට ඉඩ නො තබා සැබෑ කළේ එතුමා ය. ඇතැම් රාජ්‍ය නායකයන් මහජන මුදල් යොදා බැලූ බැලූ හැම තැනම තම නම කොටා ගත් නමුදු එතුමා එසේ කළේ නැත. ඒ එතුමා දූෂිතයන් මෙන් අතිගරු නොවූ නිසාදැයි නො දනිමි.

ප්‍රමිතියෙන් තොර බාල පොහොර වෙනුවට ගොවියාට අවශ්‍ය පරිදි පොහොර ගැනීමට මඟ පෑදුවේ වත්මන් ආණ්ඩුවයි. බලයට පත් විගස භාණ්ඩ රාශියක මිල පහත හෙළමින් කරන ලද පෙරළිය අති මහත් ය. ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් සැපයීමෙන් නූපන් දරුවන්ට පවා සැලසූ සෙත වැනීමට වදන් නැත.

දූෂිතයන් පවුල් පිටින් අප රටේ සාර සම්පත් සූරා කෑ යුගයට තිත තබා ඇරඹි යහ පාලන ආණ්ඩුව පාසල් දරුවන්ට ‘සුරක්ෂා’ රක්ෂණය ඇරඹීමෙන් සිදු කළේ විසල් පෙරළියකි.

‘ළඟම පාසල හොඳම පාසල’ යන සංකල්ප මතින් ගමේ පාසල් අට දහසක් පමණ ශීඝ්‍රයෙන් දියුණු කර යමින් පවතින යුගයක අප පළාත් පාලන මැතිවරණයකින් හකුළා ගත යුතු නැත.

1970 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩරනායක මැතිනියගේ පාලන සමයේ ලෝකයේ බිහිසුණු ආහාර හිඟයක් තිබුණි. ඊට පිළියම් වශයෙන් එතුමිය දේශීය අල බතල ජනප්‍රිය කිරීමට යත්න දරද්දී මඤ්ඤොක්කා කා දහස් ගණනින් මැරුණු බැව් පැවසු කුමන්ත්‍රණ පැවතුණි. සාර්ථක අයුරින් රට පාලනය කිරීමේදී හැමදාමත් විරුද්ධ බලවේගවලට ඉවසුම් නැති විය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව පැත්තෙන් සිල් රෙදි දුන්නේ නැත. ඔරලෝසු බෙදුවේ නැත. මූණත් තහඩු මුද්‍රිත කෝප්ප බෙදුවේ ද නැත. මැතිවරණය කළේ මැතිවරණ කොමිසමයි. පොලිසිය රාජකාරි කළේ රජුට අවශ්‍ය පරිදි නොවේ. රාජපාක්ෂිකයන්ට අවශ්‍ය පරිදි ද නොවේ. රාජපක්ෂලාට අවශ්‍ය විදියටත් නොවේ.

බලන් සිටිය දී කරන ලද දූෂණ වහ ගැනීමට පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල ගැන නන් දොඩවන්නන් ගණන් ගත යුතු නැත. ලැබූ ප්‍රතිඵල මගින් පාඩම් උගෙන යහපාලනය ඉදිරියට ද තිබිය යුතු ය.

අද වැරැදි කරන ඇමැතිවරුන්ට ද තනතුරු හැර යාමට සිදුවේ. එහෙත් පසු ගිය කාලයේ දූෂණ චෝදනාවකට ලක්ව සිටි එක් ඇමතිවරයෙකු උසාවි යාමට තිබූ දිනයේ ම නයෙක් කෑවේය. එම රංගන කරලියෙන් සදහට ම අතු ගා දැමිය යුතු ය.

සමහර හැකර කටවල් තිබිච්ච හිටපු ඇමතිවරු කීවේ ලක්ෂ 58 බලවේගයක් ගැනය. දැන් එය ලක්ෂ 49 දක්වා පහත බැස ඇත. ඒ අය දැන් ඉතින් සටන් පාඨය ලෙසින් ගත යුත්තේ ලක්ෂ 49 රැක ගත යුතුය කියා ය.

අවසන් වශයෙන් එකක් කියමි. රජය පැත්තෙන් සිදු වූ අඩු පාඩු වහාම හදාගෙන ඉදිරියට ක්‍රියා කළ යුතුය. හොරුන්ට වහා දඬුවම් දිය යුතු ය. යහපාලනය ඉදිරියට ම යා යුතුය. එසේ නො වුවහොත් යළි හොරුන් දූෂිතයන් හිස එසවිය හැකිය.

වරක් එක් රැළියක දී ජනාධිපතිතුමාගෙන් කෙනෙකු ප්‍රශ්නයක් නැගීය.

“ඔබතුමා ගේ දේශපාලන අනාගතය කොහොමද” එවිට ජනාධිපතිතුමා කීවේ “මං මගේ අනාගතය නෙවෙයි හොයන්නෙ රට ගැන” කියා ය. පවුලේ අය සහෝදර සමාගම රජ පැටව් ගැන එතුමාට සෙවීමට කාලයක් නැත.

 

Comments