මඟුල් නැකැත් සෑදීම | සිළුමිණ

මඟුල් නැකැත් සෑදීම

'මකර' ලග්න හිමියකුගේ විවාහස්ථානය (7 වැන්න) කටකයයි. විවාහ කේන්ද්‍රයේ බාධක ස්ථානය ජන්ම කේන්ද්‍රයේ දෙවැන්නයි.පොරොන්දම් බැලීමේ දී ලග්නයෙන් දෙවැන්නේ පාපීන් සිටී ද කියා සැලකිළිමත් වන්නේ මේ කරුණ නිසාය.මකර ලග්න හිමියාගේ විවාහ බාධක ස්ථානය වන්නේ කුම්භ රාශියයි.යුවති පති දෙදෙනාගේම සත්වැන්න අධිපති ග්‍රහයා දෙවැන්නේ සිටින කාලයත්,දෙවැන්නේ අධිපති ග්‍රහයා‍ගේ අන්තර් දශා කාලයත් විවාහ ජීවිතය ඇරඹීමට සුදුසු නැත.

අපේ පැරැණි චාරිත්‍ර විධි අනුව පති පක්ෂයෙන් මඟුල් නැකැත් සාදවා නැකැත් පත්‍රය යුවති පක්ෂයට භාරදිය යුතුය.එය චාරිත්‍රයක් මිස නීතියක් නොවේ.

යෙදෙන පහසුකම් අනුව දෙපක්ෂයම සාකච්ඡා කොට කවර පක්ෂයකින් හෝ වඩා හොඳට මඟුල් නැකැත සාදවා ගත හැකි නම් එසේ කළයුතුය.

ඇතැම් අය පවුලේ ජ්‍යොතිෂවේදියා වෙත යන්නේ මඟුලට පහසු දිනයක් ඔවුන්ම තීරණය කරගෙන ය. එහෙත් අවශ්‍ය කාල වකවානු සලකා බලා හඳහන් දෙකටම සීහෙන සුබ දිනයක මඟුල් නැකැත සාදා දීම ‍ජ්‍යොතිෂවේදියාගේ යුතුකමය.සේවාදායකයා කියන දිනය පිළිබඳ විශේෂ සැළකිල්ලක් දැක්වුවද හඳහන් දෙකටම ගැලපෙන දිනයක් වෙලාවක් අනිවාර්යයෙන්ම බලා නැකැත් සාදා දිය යුතු වන්නේය.

සුදුසු වයස එළඹුනත් සෑම හඳහනකම විවාහ කටයුතු නොසිදුවිය යුතු අශුභ කාල පරාසයක් ඇත.ඒවා දැන හැඳින විවාහයට නුසුදුසු දෝෂ සහිත කාලය අත්හැර මඟුල් නැකැත සෑදිය යුතුය.

හඳහනක එක් එක් භාවයන්ගෙන් හෙළි කෙරෙන කරුණු ඇත.යම් කෙනෙකුගේ ජීවිත තත්ත්වය ගති ගුණ පෞරුෂය යන කරුණු හෙළිවන්නේ පළමු වැනි භාවයෙනි (ලග්නයයෙනි).

විවාහය පිළිබඳ කරුණු හෙළිවන්නේ සත් වැනි භාවයෙනි.විවාහයට පත්වීම කෙනෙකුගේ දෙවැනි උප්පත්තිය ලෙස සැලකේ.එබැවින් විවාහයේ සාර්ථක භාවය හෝ අසාර්ථක භාවය සෙවීම සඳහා හත් වැන්න ලග්නය සේ සලකා 'විවාහ කේන්දරය' විමසිය යුතුය.

විවාහ කේන්ද්‍රයේ අට වැන්න විවාහ බාධක ස්ථානයයි.මේ අනුව ජන්ම කේන්ද්‍රයේ දෙවැන්න 8 වැන්න සේ සැළකේ.

නිදසුනක් ලෙස මෙසේ ගනිමු.'මකර' ලග්න හිමියකුගේ විවාහස්ථානය (7 වැන්න) කටකයයි.විවාහ කේන්ද්‍රයේ බාධක ස්ථානය ජන්ම කේන්ද්‍රයේ දෙවැන්නයි.පොරොන්දම් බැලීමේ දී ලග්නයෙන් දෙවැන්නේ පාපීන් සිටී ද කියා සැලකිළිමත් වන්නේ මේ කරුණ නිසාය.මකර ලග්න හිමියාගේ විවාහ බාධක ස්ථානය වන්නේ කුම්භ රාශියයි.යුවති පති දෙදෙනාගේම සත්වැන්න අධිපති ග්‍රහයා දෙවැන්නේ සිටින කාලයත්,දෙවැන්නේ අධිපති ග්‍රහයා‍ගේ අන්තර් දශා කාලයත් විවාහ ජීවිතය ඇරඹීමට සුදුසු නැත. එම කාලසීමාවන් ඉක්මවා හෝ ඊට ප්‍රථම විවාහ කටයුතු යෙදීම මැනවි.

දෝෂ සහිත කාල සීමාවල යුග දිවි ඇරැඹීම නිසා හදිසි තීරණ ගැනීම,සිත් තැවුල්,පවුල් ආරවුල් ,දරු සම්පත් අහිමි වීම ආදී අනිටු විපාක ඇති විය හැක.

විවාහය සඳහා සුදුසු කාල සීමාවන් තීරණයකර ගැනීම පහසුවනු පිණිස එක් එක් ලග්න හිමියාට අශුභ කාල සීමාවන් මෙහි දක්වමු.

මේෂ - සිකුරු වෘෂභ රාශි ගතව සිටින කාලය හා සිකුරු මහ දශාවේ සිකුරුගේ අන්තර් දශා කාලය අශුභය.

වෘෂභ - කුජ මිථුන රාශිගතව සිටින කාලයත් බුධ මහ දශාවේ බුධ අන්තර් දශා කාලයත් අශුභය.

මිථුන - ගුරු කටක රාශියේ සිටින කාලය හා සඳු මහදශාවේ සඳු අන්තර් දශා කාලය අශුභය.

කටක - ශනි සිංහ රාශියේ සිටින කාලයත් රවි මහ දශාවේ රවි අන්තර් දශා කාලයත් අශුභය.

සිංහ - ශනි කන්‍යා රාශියේ සිටින කාලයත් බුධ මහ දශාවේ බුධ අන්තර් දශා කාලයත් අශුභ වෙයි.

කන්‍යා - ගුරු තුලා රාශියේ සිටින කාලයත් සිකුරු මහ දශාවේ සිකුරු අන්තර් දශා කාලයත් අශුබය.

තුලා - කුජ වෘශ්චික රාශියේ සිටින කාලයත් කුජ මහ දශාවේ කුජ අන්තර් දශා කාලයත් අශුභය.

වෘශ්චික - සිකුරු ධනු රාශියේ සිටින කාලයත් ගුරු මහ දශාවේ ගුරු අන්තර් දශාවත් අශුභය.

ධනු - බුධ මකර රාශියේ සිටින කාලයත් ශනි මහ දශාවේ ශනි අන්තර් දශා කාලයත් අශුභය.

මකර - සඳු කුම්භ රාශි ගතව සිටින කාලයත් ශනි මහ දශාවේ ශනි අන්තර් දශා කාලයත් අශුභය.

කුම්භ - රවි මීන රාශි ගතව හැසිරෙන කාලයත් ගුරු මහ දශාවේ ගුරු අන්තරු දශා කාලයත් ශුභ නැත.

මීන - බුධ මේෂ රාශියේ හැසිරෙන කාලයත් කුජ මහ දශාවේ කුජ අන්තර් දශා කාලයත් අශුභය.

මේ අශුභ වකවානු දැන ඒවායින් මිදී මඟුල් නැකැත් සාදවා ගැනීමෙන් යුගදිවිය වාසනාවන්ත වේ.

 

Comments