
පළාත් පාලන මැතිවරණය පක්ෂ දේශපාලනයට ගොදුරු වීමෙන් එහි අරමුණ දූෂණය වී, මතු වී ඇති අනිටු පලවිපාක දැන් ඇස් පනා පිට පෙනේ. ගමේ ඡන්ද ගරා ගැනීම සඳහා එක් පක්ෂයක් තම ආණ්ඩු බලය නොමැතිව ගම දියුණු කළ නොහැකි බව සපත කළහ. තව පක්ෂයක් තම දේශපාලන නායකයාගේ ප්‍රතිරූපය පමණක් යොදා ගත්තේය. තවත් පක්ෂයක් රටෙහි විධායක ජනපතිවරයා රට වටා ගෙන ගියහ. තවත් එක් පක්ෂයක් ප්‍රධාන පක්‍ෂවල සිටින්නේ හොරු යයි පවසමින් තම සුදුසුකම කියා පෑහ. ගම සංවර්ධනය කරන සැලැසුම් ඉදිරිපත් නොකර ඔවුන් සියල්ලෝම රට අල්ලන බල අරගලයක නිරත වූහ. අවසාන මැතිවරණ ප්‍රථිපලය වූයේ ජනතා බදු මුදල් රුපියල් බිලියන ගණනක් නැති කරමින් පවතින රජයට ‘රතු එළියක්’එල්ල කර, රටෙහි ආර්ථිකය අඩාල කරන මාධ්‍ය සංදර්ශන හරහා ජනතාව අන්ද මන්ද වීමය. මේ ව්‍යයාමයේ අරමුණ වූයේ ජනතාවගේ ‘නාඩි‘පරීක්ෂා කිරීම නම්, ලෝකයේ වෙනත් රටවල පවත්වන ආකාරයට, අඩු පිරිවැයකින් පිළිගත් ආයතන මඟින් ‘ජන මත සමීක්ෂණ’ (opinion polls) පැවැත්වුවා නම් වඩාත් සුදුසු නොවේද ? කාලයාගේ ඇවෑමෙන් එම සමීක්ෂණ වෙනත් රටවල මෙන් අප රටෙහිද තීරණාත්මක වනු ඇත.
කොරේ පිටට මරේ කියන්නාක් මෙන් ‘මිශ්‍ර මැතිවරණ’ පරීක්ෂණයද ‘Overhang’ තත්වයන් හා කාන්තා නියෝජන ප්‍රතිශත ප්‍රශ්න නිසා අසාර්ථක වී ඇත. අවසාන නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට කාලයක් ගත වී ඇති අතර ඒවාද අභියෝගයට ලක්වීම සිදුවේ.
මේ සංකීර්ණ තත්වය නිසා දැනටමත් 4,000කින් පමණ වැඩි කර ඇති දේශපාලන සභිකයන් සංඛ්‍යාව තවත් 200 කට වැඩි ගණනකින් ඉහල යන බව වාර්තාවේ . 9,000 කට ආසන්න මෙම දේශපාලන නියෝජිතයන්ට, අමතර යටිතල පහසුකම් හා පඩිනඩි ඇතුළු විවිධ පහසුකම් සැපයීමට වියදම් කළ යුත්තේ ජනතාවගේ වරිපනම් හා අනිකුත් බදු වැඩි කිරීමෙනි. එම අමතර ආයෝජනයෙන් බදු ගෙවන්නාට ලැබෙන ප්‍රතිලාභ කෙසේ වෙතත් ජනතා නියෝජිතයන් තරගයට පුෂ්ටිමත්වීම නම් වැළැක්විය නොහැකිය. මේ මාධ්‍ය නිදහස ඉහ වහා ගිය රටක අසරණ චන්ද දායකයාට අත්වී ඇති ඉරණම අතිශයින් ඛේදජනකය.
මෙම තත්වය මඟ හැරවීමට නම් පළාත් පාලන ඡන්ද විමසීම නිර්දේශපාලනය කළ යුතු බව අප කිහිප විටක් මාධ්‍ය මඟින් පෙන්නා දුන්නත් එය බිහිරි අලීන්ට වීණා වැයීමක් විය. එහි අනිටු ඵල විපාක අපි දැන් අත් විඳිමින් සිටිමු.
අලුතින් සීමා නිර්නයට ලක්වූ කොට්ඨාස 441 සඳහා ස්වෙච්ඡාවෙන් කොට්ඨාස මට්ටමින් ඉදිරිපත්වන ස්වාධීන අයදුම්කරුවන් බහුතර ඡන්දයෙන් තෝරා ගැනීමට මැතිවරණ කොමිසම ඉදිරියෙහිදී කටයුතු කළහොත් පහත සඳහන් අමතර වාසි අත්වනු ඇත.
1) පළාත් පාලන මැතිවරණයෙන් අපේක්ෂා කරන අරමුණ නිශ්චිතවම ඉටුවේ.
2) ඉතා සරල ක්‍රියාවලියක් බැවින් බදු ගෙවන්නාගේ බර බොහෝ සේ අඩුවේ.
3) මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් එක් එක් සභාවට පත් කරන නියෝ ජිත සංඛ්‍යාව‘OVERHANG’ නොමැතිව පූර්ව නිශ්චය කළ හැකිය.
4) මැතිවරණය දීප ව්‍යාප්තව හෝ කොටස් වශයෙන් හෝ පැවැත්විය හැකිය.
5) මැතිවරණ ප්‍රථිපල කඩිනමින් නිකුත් කළ හැකිය.
6) පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම අනවශ්‍ය සම්භාෂණ හා රතිඥ්ඥ පත්තු කිරීම වැනි නිෂ්ඵල ක්‍රියා වැලක්වේ .
7) දේශපාලන අස්ථාවරවීම් සිදුනොවන බැවින් රටේ ආර්ථික ක්‍රියාවලියට බාධා සිදු නොවේ.
පළාත් සභා හා මහා මැතිවරණය ‘මිශ්‍ර’ ක්‍රමය යටතේ පැවත් වුව හොත් නොයෙක් සංකූලතා ඇතිවිය හැකි බැවින්, ඒවා ‘මනාප ක්‍රමය’ අහෝසිකර ‘දිස්ත්‍රික් කුසලතා අපේක්ෂක ලැයිස්තු ක්‍රමය’ යටතේ පැවැත්වීමට යෝජනා කරමු. එවිට ඇති වන අනේක වාසි පිළිබඳව අප විසින් මීට පෙර කිහිප වතාවක මාධ්‍ය මඟින් පෙන්වා දී ඇත .
ණය බරින් එරී ඇති මේ මඩ ගොහොරුවෙන් අප රට ගොඩ ගැනීමට නම්, සන්නිවේදනය ,පරිගණක තාක්ෂණය හා අනෙකුත් පහසුකම් ශීඝ්‍රයෙන් දියුණුවන සමාජයක් තුළ, පලදායිතාවය මුල් කරගත් රට පාලනය කරන ක්‍රම සහ විධි පිළිබඳව අලුතින් සිතා කටයුතු කළ යුතුය. ඒ සඳහා කැපවුණු රජයක්, දේශපාලන හා මාධ්‍ය සංස්කෘතියක් ඇතුළු ඡන්ද දායකයන් පිරිසක් බිහිවේවා යි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.