කණ්ඩා­යම් සංගී­ත­යට පණ­දුන් ස්පාඤ්ඤ ගිටා­රය හා ලොර්කා | සිළුමිණ

කණ්ඩා­යම් සංගී­ත­යට පණ­දුන් ස්පාඤ්ඤ ගිටා­රය හා ලොර්කා

‘ස්පාඤ්ඤ ගිටාරය’ අපේ සංගීත ක්ෂේත්‍රයට අමුතුවෙන් හඳුන්වා දිය යුතු සංගීත භාණ්ඩයක් නොවේ. නුදුරු අතීතයේ පටන් කණ්ඩායම් සංගීතය අප හදවත් තුළ නොමැකෙන සංගීත සටහන් ඉතිරිකර ඇති බැවිනි.

1960 වසරේ අතිදක්ෂ ගිටාර වාදක නෙවිල් ප්‍රනාන්දු විසින් ‘LOS CABALLEROS’(අශ්වා‍‍රෝහකයෝ) යන ස්පාඤ්ඤ නාමයෙන් සංගීත කණ්ඩායමක් පිහිටුවා මුලින් ම ස්පාඤ්ඤ ගීතත් ඉන් පසුව සිංහල ගීතත් ගායනා කළ බව ‘ස්වර්ණමය පර්යේෂණ පුස්තකයක්’ වන ‘ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය’ (2002) (මහාචාර්ය සුනිල් ආරියරත්න) ග්‍රන්ථයේ මොනවට සඳහන් වී තිබේ. එසේ ගැයූ මුල් ම සිංහල ගීත අතර, පුන්සඳ හිනැහෙන්නේ - වනමල් පිබිදෙන්නේ... ගීතයත් උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ... ගීතයත් එදා මෙදා තුර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඒවා බව අපි කවුරුත් දනිමු.

අපේ රටේ මතු නොව අද ලොව පුරා ගීත, කාව්‍ය මෙන් ම රුම්බා (RUMBA), ටන්ගෝ (TANGO), ඔපෙරා (OPERA), ජෑස් (JAZZ), ප්ලමෙන්කෝ විලාසිතා (FLAMENCO) ආදී කලාංගවලට ස්පාඤ්ඤ සම්භාව්‍ය ගිටාරයෙන් සංගීතය සැපයෙන අවස්ථා බහුලය. ලෝක ප්‍රසිද්ධ ස්පාඤ්ඤ ගායක ජුලියෝ ඉග්ලේසියාස් (JULIO IGLESIAS) ස්පාඤ්ඤ ගිටාරයේ සත්සර රාව මුසුව ගයන ගීත වාර්තා පිට වාර්තා තබමින් ලොව පුරා ප්‍රේක්ෂක හදවත් මෝහනය කරගනිමින් තිබේ. ලතින් ඇමෙරිකාවට ද ස්පාඤ්ඤ ගිටාරය නැතිවම බැරි සංගීත භාණ්ඩයක් වී හමාර ය.

මේ සා විශාල ඉල්ලුමක් හා වටිනාකමක් ඇති ස්පාඤ්ඤ ගිටාරයේ සුලමුල සහ ස්පාඤ්ඤ සාහිත්‍යය පෝෂණයෙහිලා එයින් සිදුවී ඇති ‍මෙහෙයය පිළිබඳ මෙම ලිපිය සැකසේ.

ගිටාරයේ ආරම්භය යු‍රෝපයේ බව කියවෙතත් ස්පාඤ්ඤ ගිටාරය නොහොත් සම්භාව්‍ය ස්පාඤ්ඤ ගිටාරයේ ආරම්භය දහ හතර වැනි ශත වර්ෂය දක්වා දිවයයි. 1492 පටන් ක්‍රමයෙන් ‍‍‍රෝම මුස්ලිම්, යුදෙව්, සංස්කෘතියක් පහළොස් වැනි ශත වර්ෂයේ නොයෙක් රටවල සිට ස්පාඤ්ඤයේ දකුණු පළාතට නොහොත් අන්දලුසියාවට (ANDALUCIA) පැමිණි අභිගුණ්ඨික වර්ගයාගේ සංස්කෘතියත් එවක අන්දලුසියාවේ පදිංචිව සිටි ධනවත් ප්‍රජාවගේ සංස්කෘතියත් සම්මිශ්‍රණයෙන් ආදිවාසී අහිගුණ්ඨික වැසියන්ගේ ගායන වාදන රංගන කලාව නොහොත් ප්ලමෙන්කෝ (FLAMENCO) කලාව දියුණු විය. දකුණු පළාතේ ස්පාඤ්ඤ ගම්වල ජනයාගේ අභිමානය, අරගල, බලාපොරොත්තු, පෙළීම් ආදිය පිළිබඳ ගායනා, නටමින් රිද්මයානුකූලව අත්පොඩි ගසමින් මුලින් ම ගිටාර වැයීමට පටන්ගෙන තිබේ. ඉන්පසු මධ්‍යතන යුගයේදි පල්ලිවල ගීතිකා හා ස්ත්‍රෝත්‍ර ආදිය සඳහා ගිටාර වාදන යොදා ගැනිණ.

ප්ලමෙන්කෝ විලාසිතාවේ යොදා ගන්නා ලද එකම වාද්‍ය භාණ්ඩය වූයේ ස්පාඤ්ඤ ගිටාරය යි. එතැන් සිට පිළිවෙළින් ස්පාඤ්ඤ සාහිත්‍යයේ පුනරුද, බැරැක් හා ස්වර්ණ යුගය උදා වූ අතර ප්ලමෙන්කෝ කලාව ද වැඩි දියුණු වීමත් සමඟ ස්පාඤ්ඤ ගිටාරය, ස්පාඤ්ඤ සම්භාව්‍ය ගිටාරය ලෙස හඳුන්වන්නට පටන් ගැනිණ.

පුනරුද යුගයේ දී දොන් කිහෝතේ (DON QUIJOTE) විශිෂ්ටතම පරිපූර්ණ නවකථාවේ නිර්මාතෘ මිගෙල් දෙ සෙර්වන්තෙස් (MIGUEL DE CERVANTES) ගේ කළණ මිතුරකු වූ එස්පිනාල් (VICENTE ESPINAL) නම් සංගීතඥයා විසින් ගිටාර වාදනය පිළිබඳ අධ්‍යයනය පාඨමාලා සකස් කරන ලදී. 1555 දී සංගීත භාණ්ඩ පිළිබඳ සරල ග්‍රන්ථ සම්පාදනය විය. 1596 දී කතලානු (Katalan යනු ස්පාඤ්ඤයේ කතලුඤ්ඤ ප්‍රාන්තයේ ජනතාවයි ) ජාතිකයෙක් වූ ජොආන් (JOAN CARLES) එවකට හොඳම ගිටාර වාදකයා ලෙස ප්‍රසිද්ධියට පත් විය‍. 1774 දී ප්‍ලමෙන්කෝ කලාව පිළිබඳ ග්‍රන්ථ රාශියක් සම්පාදනය වීමෙන් පසු සියලුම යුරෝපා රටවලට පොදුවේ බලපාන පරිදි ඔපෙරා නැටුම් සංදර්ශනවලදී ස්පාඤ්ඤ සම්භාව්‍ය ගිටාරය භාවිතා විය. බැරැක් සමයේදී සංස්කෘතියේ උපාංග තේමාකොට නව සංගීත නිර්මාණ නිෂ්පාදනය කර ඇත්තේ ගස් පාර් (GASPAR SANZ) නමැති ගිටාර් වාදකයා විසිනි. තවද ඔහු ස්පාඤ්ඤ ගිටාරයක් අරාබි සංගීත භාණ්ඩයක් වූ වීණාවක් භාවිතා කොට සම්මිශ්‍ර අපූර්ව සංගීත සටහන් නිර්මාණය කිරීමට සමත් විය. එකල විශේෂයෙන් කෝපි හල්වල සංගීත සාද ඉතා ජනප්‍රිය විය.

19 වැනි සියවසේ උදාවූ ප්‍රාග් රොමෑන්තික කලා යුගයේ හොඳම ඔපෙරා (OPERA) සංගීතය මෙහෙයවා ඇත්තේ පර්නන්දෝ සෝර් (FERNANDO SOR) නමැති අතිදක්ෂ ගිටාර වාදකයා විසිනි. ඔහු එංගලන්තය, රුසියාව, ප්‍රංශය ආදී රටවල්වල වාසය කරමින් ඔපෙරා සංදර්ශක පැවැත්වීය.

සෝර්ගේ මිතුරකු වූ දියෝනිසියෝ (DIONISIO) මැඩ්රිඩ් නගරයේදී සෝර් හා එකමුතුව ප්ලමෙන්කෝ කලාවට නව ගිතාර වාදන ක්‍රම නිර්මාණය කළේ ය. බීතෝවන්, මොසාට්, බැචි ආදී ලෝ පතළ සංගීතඥයින්ගේ සමය ලෝකයේ ගිතාර් වාදන ක්ෂේත්‍රයේ රන් සමය විය.

ස්පාඤ්ඤයේ අන්දලුසියානු ජනගායනා මූලාශ්‍රවලින් උගෙන ගිතාර් සංගීත නිර්මාණය කළ අය අතර ඉසාක් අල්බෙනිස් (ISAC ALBENIZ) සුවිශේෂි වාදකයෙක් විය. ඔහු එම පළාතේ අහිගුණ්ඨික පරම්පරාවලින් පැවත ආ කලාකරුවන්, සංගීතඥයින්, ගිටාර් වාදකයින් හා ගීත රචකයින්, කවීන් ආදී උගතුන් හා එක්ව ප්ලමෙන්කෝ කලාව තව තවත් පුළුල් කර ගැනීමේ දායක විය. මෙකී උගතුන් අතර මනුඑල් පල්ලා (MANUEL FALLA) නමැති දක්ෂ සංගීතඥයා වඩාත් කැපී පෙනුණි. ඔහු ඉපැරැණි කලාවට සංගීත පාර්ශ්වයෙන් පුනර්ජීවයක් ලබා දුන්නේ ය. ඔහු අගනා කළණ මිතුරන් කීප දෙනෙක් ඇසුරු කළේ ය. මහා කවි අන්තෝනියෝ මචාඩෝ හා මචාඩෝ ගේ සොයුරු මනුඑල් මචාඩෝ මෙම සංගීතඥයාට සහයෝගය දෙමින් ප්ලමෙන්කෝ කලාව පිළිබඳ ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළහ. මේ අතර ග්‍රනාඩා (GRANADA) නගරයේ සිටි ලේඛකයකු වූ පෙදෙරිකෝ ගර්සියා ලොර්කා සෙවියා (SEVILLA) නගරයට පැමිණ 1898 ජූනි මස පස් වැනිදා ස්පාඤ්ඤයේ අන්දලුසියා පළාතේ පිහිටි ග්‍රනාඩා (GRANADA) නගරයේදී උපත ලැබූ පෙදෙරිකෝ ගර්සියා ලොර්කා ස්පාඤ්ඤ ජනරජයට විරුද්ධව පැවැති සිවිල් යුද සමයේ, 1936 අගෝස්තු 19 වැනිදා පැසිස්ට්වාදීන් අතින් ඝාතනය විය. ජීවත්වූ වසර 38 න් වසර 15 ක් ම සාහිත්‍ය නිර්මාණ විශාල ප්‍රමාණයක් ශීඝ්‍රයෙන් දියත් කළේ අකල් මරණය ගැන කල් ඇතිව දැන සිටියාක් මෙනි.

ලොර්කා තමා උපන් අන්දලුසියා පළාතේ ආදිවාසී අහිගුණ්ඨිකයන්ගේ ගායන වාදන රංගන කලාව වූ ප්ලමෙන්කෝ කලාවට ස්වර්ණමය යුගයක් උදා කළේ ය.

ප්‍ලමෙන්කෝ විලාසිතාවේ ‘සිගිරියා’ (SIGUIRIYA) නමින් හැඳින්වෙන සංගීතයේ මුල්ම හා ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වූයේ සම්භාව්‍ය ගිටාරය’ යි. ලොර්කා ගිටාරයට කොපමණ ආදරය කළා දැයි කිවහොත් ‘ගිටාරය’ මැයෙන් දේශන පවා පැවැත්වීය. එක්තරා දේශනයකදී ඔහු මෙසේ පැවැසීය.

‘ස්පාඤ්ඤයට සංගීතය හඳුන්වා දුන්නේ, ගිට‍ාරයයි. සංගීතය ඔප් නංවා හදවත් තුළට කා වැද්දුවේ ගිටාරය යි.’ එවකට ස්පාඤ්ඤයේ ප්‍රසිද්ධ ලේඛකයකු ව‍ූ මාර්ටිනේස් නදාල් (MARTINEZ NADAL) ලොර්කාගේ ලේඛනයක තිබී වටිනා ප්‍රකාශයක් ‍උපුටා දැක්වීය.

CAMINOS INFINITOS

SIN ENCRUSIJADAS

NOS LLEVAN

A LAS FUENTES

PERDIDAS DE ROSAS

‘ගිටාරය,

හරස් මාර්ගයක් හමු නොවන්නාවූ ද

අනන්තය තෙක් විහිදෙන්නා වූ ද

මාවත් දිගේ

අප කැටුව ගොස් දිය උල්පත් දෙසට,

‍රෝස උයනක අප අතරමං කරයි.’

ළදරු වියේ සිටම ගිටාරය තම අතට හුරු ව‍ු බව ලොර්කා පවසයි.

‘මා කුඩා කල අවට ඇඳිරි වැටීගෙන එනවිට නිවස ඉදිරිපස පඩි පෙළේ වාඩි වී තෙරක් නොපෙනෙන ගොවි පළ දෙස බලා ඉන්නවා. වසන්ත කාලයේ තිරුඟු රන් පැහැ ගැන්විලා. සන්ධ්‍යාවේ නෙළන ලද අස්වනු කමත පුරවලා’ හොඳටෝම කළුවර වුණාම ගම්මු කමත වටා පන්දම් පත්තු කරන වෙලාවට මා පියා සමඟින් ඒ පැත්තට යනවා. ගම්මු රාත්‍රිය පුරා ම කමතේ ප්ලමෙන්කෝ රංගන පවත්වනවා. ගිටාර් වාදකයෝ මගේ පියාගේ ගජ මිතුරෝ. මා පැය ගණන් ඒ නැටුම් දිහා බලාගෙන සිටිනවා‍. ගායනාවලට සවන් දෙනවා. ඒ ගිටාර් හඬ මට තවමත් ඇසෙනවා වගේ. ඒ මනරංජන රංගන තවමත් මට පේනවා වගේ.

ළමා විය මා සිහිනෙන් දකිනවා. කෙත් වතුවල ජන ගී මා ප්‍රබෝධමත් කළා. කවි ලියන්ට පටන්ගන්ටත් පෙර මා නෙත ගැටුණේ ගිටාරය යි. සෞභාග්‍යවත් අවධියක සිටි ස්පාඤ්ඤ ජනතාවට 1936 දී අවාසනාවන්ත ලෙස ස්පාඤ්ඤ සිවිල් යුද්ධය බලපෑවේ ය. සියවස් ගණනාවක් දිගේ ගෙන ආ කලාව, සංගීතය, සාහිත්‍යය මෙන් ම සමස්තයක් වශයෙන් ගතහොත් ස්පාඤ්ඤ සංස්කෘතිය ජනරජ ආණ්ඩුව පැහැරගත් ආඥාදායක ප්රන්සිස්කෝ ‍ෆර්න්කෝ (Francisco Franco) විසින් අතිබිහිසුණු ලෙස විනාශ කර දමන ලදී.

එසේම ශ්‍රේෂ්ඨ ලේඛකයන් කලාකරුවන් සංගීතඥයන් ආදීහු අමු අමුවේ මරා දමන ලදහ.

ඇතැම්හු රටින් පිටුවහල් කරන ලදහ. ඇතැම්හු සිරගත කරන ලදහ‍. ඒ දෙනෝ දාහක් අතර වූ ශ්‍රේෂ්ඨ මහා කවි ගර්සියා ලොර්කා ඝාතනය කරන ලද පසු ඔහුගේ මළකඳවත් අද වනතුරුත් සොයාගත නොහැකි තරමට ඒ සිවිල් යුද සමය දරුණු විය.

වාසනාවකට මෙන් රටින් පිටුවහල් කරනු ලැබූ නිර්මාණකරුවන් විදේශවල සිට නිර්මාණකරණයේ යෙදීම නිසා ස්පාඤ්ඤ සාහිත්‍ය මුළු ගන්වා ලීමට පැසිස්ට්වාදීහු අසමත් වූහ. ගර්සියා‍ ලොර්කා වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන්ගේ ප්‍රශස්ත නිර්මාණ යුරෝපය, ඇමෙරිකා ආදී රටවල වඩාත් ජයග්‍රාහී ලෙස එළිදැක්වූහ.

ස්පාඤ්ඤ ජාතිකයන් සිවිල් යුද්ධය වැනි ඛේදවාචකයන්ට මුහුණ දෙමින් අමාරුවෙන් රැකගෙන ආ ස්පාඤ්ඤ සංගීතය ප්ලෙමෙන්කෝ කලාව ආදිය ගැඹුරින් හැදෑරීමෙන් දැනීමක් ලබා ගතහොත් අපේ රටේ සංගීතය කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රය තව තවත් පුළුල් කරගත හැකිවනු නො අනුමාන ය.

 

Comments