උත්තම දේහ ලක්ෂණ | සිළුමිණ

උත්තම දේහ ලක්ෂණ

තමා කරන කාර්යය අනුව තම කීර්ති නාමය තම රටේ මෙන්ම වෙනත් රටවලත් ප්‍රසිද්ධියට පත්වන්නේ ද රටේ වැසියන් තමාට සලකමින් තමාව පිළිගන්නේ ද එම තැනැත්තා ත්‍රිවිස්තිණ නම් උත්තම ලක්ෂණයෙන් හෙබි තැනැත්තෙක් වන්නේ ය.

ශරීර අංග පිළිබඳ අවධානය යොමු කිරීමේදී මනුෂ්‍යා දියුණුවට ඉවහල් වන්නා වූ සැප ලැබීමටත් රාජ්‍ය බලය ලබා ගැනීම උදෙසාත් ඉවහල් වන්නා වූ යහපත් ශරීර ශක්තියෙන් හෙබි යහපත් ගතිගුණවලින් යුත් පුරුෂයෙකු සතුවන්නා වූ උත්තම ලක්ෂණ පිළිබඳව විමසා බලමු. මෙලොව උත්පත්තිය ලබන්නා වූ මනුෂ්‍යාගේ ස්වරූපයන් ද එකිනෙකට වෙනස්කම් සහිත වූ රූපයකින් ද අංග ලක්ෂණයන්ගෙන් ද යුක්ත බව හොඳින් කිහිප දෙනකු දෙස බැලීමේදී ඇහිබැම, හිසකෙස්, උරහිස් නාසය තොල් වැනි අංගයන් එකිනෙකට යම් යම් වෙනස්කම්වලින් පැහැයෙන් හෝ පිහිටි ආකාරයෙන් වෙනසක් හෝ දැකිය හැකි වේ.

මනුෂ්‍යකුගේ දැකිය හැකි උත්තම දේහ ලක්ෂණ

• ත්‍රිවිනිත උත්තම ලක්ෂණ

තමන් අදහන්නාවූ ආගමට භක්තිමත්ව කටයුතු කරයිද,ආගමික පූජ්‍ය පක්ෂයට ගරු කරයිද, සත්කාර කරයිද,එම තැනැත්තා ත්‍රිවිනිත නම් උත්තම ලක්ෂණයෙන් හෙබි අයකු වේ.

• විධවල උත්තම ලක්ෂණ

ඇසේ සුදු කොටස හා දත් දෙපල ඉතා සුදු පාටින් යුක්තව බබලයි ද එසේ වීම විධවල නම් වූ උත්තම ලක්ෂණය වේ.

• ත්‍රිවාලි උත්තම ලක්ෂණ

යම් තැනැත්තකුගේ යටි බඩෙහි රැලි තුනක් පවතී ද එසේ පවතින්නා වූ තැනැත්තා ත්‍රිවාලි නම් උත්තම ලක්ෂණයෙන් යුත් තැනැත්තකු වේ.

• ඒකාධික උත්තම ලක්ෂණ

ශරීරයේ පවතින අංග නියමිත ලෙස ස්වරූපයෙන් පැවතීමත් හොඳ සිහිකල්පනාවෙන් යුක්තවීමත් සහිත වූ තැනැත්තා එකාධික නම් උත්තම ලක්ෂණයෙන් යුතු තැනැත්තකු වේ.

• සප්ත සනින්ධ උත්තම ලක්ෂණ

හිසකෙස් මෙන්ම ඇඟේ පවතින රෝම ද සිනිඳු ව ඇඟිලි හා නිය ද සිනිඳු ව ශරීර ශක්තියෙන්ද යුක්ත වූ තැනැත්තාට සප්ත සනිග්ධ නම් වූ උත්තම ලක්ෂණය හිමි ය.

• දශපද්ම උත්තම ලක්ෂණ

දිව, දෙතොල, මුඛය, අත්ල, දෙපතුල්, ඇඟිලි නෙළුම් මල් පෙති වල වර්ණයෙන් යුක්තව පවතින්නා වූ තැනැත්තා දශපද්ම නම් වූ උත්තම ලක්ෂණයෙන් හෙබි තැනැත්තකු වේ.

• නිග්‍රෝධ පරිමණ්ඩල

උත්තම ලක්ෂණ

ශරීර ශක්තියෙන් යුක්ත වූත් හිසේ සිට දෙපතුල දක්වා වූ උස අඩි හයක් වීද එසේ උපන් තැනැත්තා නිග්‍රෝධ නම් උත්තම ලක්ෂණයෙන් යුතු අයකු වේ.

• චතුර්දශ වන්ද උත්තම

ලක්ෂණය

පුද්ගලයකුගේ දෙතොල එක සමානව ද කන් දෙක ද එක ලෙසට පිහිටා පපුව දෙපසම එකම සමානව පිහිටා කකුල් දෙකත් එක සමානව පිහිටා ඇලපත් ද තට්ටම් ද එක සමානව පිහිටා ඇති තැනැත්තා චතුර්දශ වන්ද නම් වූ උත්තම ලක්ෂණයෙන් යුක්ත වේ.

• ෂට් උන්නත උත්තම ලක්ෂණය

පුද්ගලයකුගේ නළල් කෙලවර ද නාසය කෙලවර ද උස්වී පපුව ද තරමක් උස්ව පිහිටීයේ නම් ෂට් උන්නත නම් උත්තම ලක්ෂණයෙන් බිහි වු තැනැත්තකු වේ.

• ත්‍රිකාලඥාන උත්තම ලක්ෂණය

තමන්ගේ ආගම පිළිබඳව නිසි අවබෝධයත් සියල්ල අනිත්‍ය බවත් තේරුම් ගත හැකි අවබෝධයෙන් අර්ථකාම මෝක්ෂාදියට සිත යොමුකර කටයුතු කළ හැකි තැනැත්තා ත්‍රිකාලඥාන උත්තම ලක්ෂණයෙන් යුතු තැනැත්තකු වේ.

• බ්‍රිගම්භිර උත්තම ලක්ෂණය

පුද්ගලයකුගේ කන් සිදුරු මනා ලෙස ගැඹුරුව පවතී ද පෙකනිය ද ගැඹුරුවීද එවැනි තැනැත්තා සෑම කරුණකදීම කලබල ‍නොවී ඉවසීමෙන් යුක්තව කටයුතු කරයි ද හෙතෙම බ්‍රිගම්භිර නම් වූ උත්තම ලක්ෂණයෙන් යුත් තැනැත්තකු වේ.

• ත්‍රිතිකම් උත්තම ලක්ෂණය

තමන් මෙන්ම තමන් අඳින පළඳින ඇඳුම් පැළඳුම් ද පිරිසිදුව නිසි පිළිවෙළකට තබා ගන්නා අතරම සාධාරණව ,මහන්සියෙන්,උත්සාහයෙන් කටයුතු කරමින් තම ආශාවන් වෙනුවෙන් ක්‍රියා නොකර ඉවසීමෙන් යුක්තව කටයුතු කරයි ද වැඩිහිටියන්ට ගුරුවරුන්ට පූජ්‍ය පක්ෂයේ අයට ගරු කරයි ද එසේ කටයුතු කරන්නාවූ තැනැත්තා ත්‍රිකම් උත්තම ලක්ෂණයෙන් යුත් තැනැත්තකු වේ.

• ත්‍රිවිස්තිණ උත්තම ලක්ෂණය

තමන් කරන කාර්ය අනුව තම කීර්ති නාමය තම රටේ මෙන්ම වෙනත් රටවලත් ප්‍රසිද්ධියට පත්වන්නේ ද රටේ වැසියන් තමාට සලකමින් තමාව පිළිගන්නේ ද එම තැනැත්තා ත්‍රිවිස්තිණ නම් උත්තම ලක්ෂණයෙන් හෙබි තැනැත්තකු වන්නේ ය.

• සිතවානුග්‍රහ උත්තම ලක්ෂණය

පපුව, පිට මෙන්ම අනෙකුත් අඟ පසඟ නිසි ලෙස පිරිපුන් ශක්තිමත් බවකින් යුත් මනා දේහයකින් යුක්ත වී ද එසේ පවතින්නා වූ තැනැත්තා සිතවානුග්‍රහ නම් වූ උත්තම ලක්ෂණයෙන් හෙබි තැනැත්තකු වන්නේ ය.

• ත්‍රිලම්භ උත්තම ලක්ෂණය

පාද යුග්මය දිගින් යුක්ත වී යහපත් අයුරින් පතුල් පිහිටි තැනැත්තා ත්‍රිලම්භ නම් වූ උත්තම ලක්ෂණයෙන් යුතු වේ.

ක්‍රියාකලාපයත් ශරීර ස්වභාවයත් මත පදනම් වූ උත්තම ලක්ෂණ වලට ඔබත් හිමිකරුවෙක් ‍වේ නම් සමාජයේ උසස් ,වාසනාවන්ත, යහපත් වූ ජීවිතයක් ගතකිරීමේ පෙර පිනකින් යුතු තැනැත්තකු වන්නේ ය.

 

 

Comments