කිසිදා සිනා නොවූ මිනිසා | Page 3 | සිළුමිණ

කිසිදා සිනා නොවූ මිනිසා

සාලෙම් කුමරියගේ අත ගෙන බොහෝ කලක් සතුටින් දිවි ගෙව්වා. මේ කාලයේදී ඔහුට අර රහස් දොර ගැන කිසිවක් මතක් වූයේවත් නැහැ. එලෙස කාලය ගතවෙද්දී සාලෙම්ට දිනක් රහස් දොර ගැන සිහිපත් වුණා.

“වයසක මහත්මයා මට අර රහස් දොර අරින්න එපා කිව්වා. ඒත් මං ඒක ඇරියා. එනිසා මං මේ දූපතට ඇවිත් කුමරි‍යගේ අත අරන් දැන් සතුටින් ඉන්නවා. මේ දොර මා කොතැනට අරන් යාවිද? ” සාලෙම් එලෙස සිතුවා.

මෙලෙස සිතූ ඔහු දිනක් ඒ රහස් දොර ඇරියා. පෙරසේම ඒ දොරෙන් ඔහු ඇතු‍ළු වූ‍යේ දැඩි අඳුරකටයි. එහෙත් අඳුර අතරින් ඔහු දුටුවේ දිළිසෙන ඇස් දෙකක්. ඉන්පසු හිසක් දුටුවා. ඉන්පසු පිහාටු සහිත සිරුරක්. මේ ඉන්නේ ඔහු හොටෙන් ඩැහැ ගෙනැවිත් දූපතට අත්හළ විශාල කුරුල්ලායි. සාලෙම් දුටු ගමන් කුරුල්ලා ඉස්සරහට පැන්නා. මැණික් එබ්බවූ පුටුව පිටුපසට වී සැඟවෙන්න උත්සාහ කළත් කුරුල්ලා සාලෙම් හොටෙන් ඩැහැගෙන මන්දිරයේ මිදුලට ගෙනැවිත් නිය පහුරෙන් ඔහු ඔසවා ගෙන අහසට නැඟුණා.

දැන් කුරුල්ලා සාලෙම් අරන් ඈතට ඈතට පියාඹනවා. මන්දිරයත් දූපතත් නොපෙනී ගියා. කුරුල්ලා මෙලෙස දිවා රාත්‍රී පියඹා ගොස් ඔහු මුහුදු වෙරළකට අත්හැරියා. මේ වසර ගණනාවකට පෙර කුරුල්ලා ඔහු ඩැහැගත් මුහුදු වෙරළයි. මාස ගණනක් තිස්සේ සාලෙම් මුහුදු වෙරළ දිගේ ඇවිද්දා. මඟ දිගට මුණ ගැසෙන අයගෙන් හා ‍නැවියන්ගෙන් ඔහු විමසුවේ තමා නැවතත් දූපතට රැගෙන යා හැකිද යන්නයි. එහෙත් කිසි කෙනෙක් එවන් දූපතක් ගැන දැන සිටියේ නැහැ. සාලෙම්ට තේරුණා තමාට කිසි දිනක යළිත් කුමාරිකාව දැකීමට හෝ දූපතට යෑමට හෝ හැකි නොවන බව.

පෙර කී නිවෙසේ සිටි මහලු මිනිසුන්ගේ දුකට හේතුව කුමක්දැයි අවසානයේ සාලෙම් වටහා ගත්තා. යළිත් නිවෙසට ගිය සාලෙම් ඔහු‍ගේ ඉතිරි ජීවිත කාලයම ගත කළේ ඒ නිවෙසේයි. ඔහු යාච්ඤා කළා. හඬා වැලපුණා. එහෙත් කිසිදා යළි සිනාසුණේනම් නැහැ.

අරාබි නිසොල්ලාසයේ කතාවකි.

සේමාලි නැන්දා
සිතුවම - කුමුදු පීරිස් මාමා

Comments